පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත් ඔබ ඉහත කඩයිම් සියල්ල ම ජය ගත්තේ ඔබේ අතීත කුසල් සංස්කාර ධර්මයන් නිසාමයි. එමනිසා පින්වත් ඔබ ලබන මාසික වැටුප ආශ්වාදයක් බවට නොව ආදීනවයන්ගෙන් මිදීම උදෙසා ප්‍රයෝජනයට ගැනීමට දක්ෂ වෙන්න.

අපගේ යුතුකම්, වගකීම් පැහැර හැරීමෙන් අපේ ජීවිතවලට එකතු වන සාංසාරික ණයකාරීත්වය පටිච්චසමුප්පන්නව අපිට විපාක දෙන්නේ අනාගත සාංසාරික ජීවිතයේදී කම්කරුවන්, මෙහෙකරුවන්, පුලන්නන්, යදින්නන් බවට, බර අදින සතුන් බවට, පස්ගෝරස, බිත්තර ලබාදෙන සතුන් බවට පත් කරලා. පින්වත් ඔබ ලබන වැටුපට අදාළව ඔබේ යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්, ඔබ පින් කරලා දිව්‍ය තලයක ඉපදුනත් මාතලීගේ අශ්ව රථයේ බර අදින අජානීය අශ්වයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. පින්වත් ඔබ ලබන මාසික වැටුප අනාගත බරපතළ ආදීනවයන්ගෙන් මිදීම උදෙසා ම ඔබ කළමනාකරණය කොට ගත යුතුයි.

පින්වත් ඔබ රාජකාරිය ඉටු කොට මාසය අවසානයේ රුපියල් පනස්දාහක වැටුපක් අතට ගන්නවා නම්, එම වැටුප අතට ගන්න මොහොතේ ඔබ තුළ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මම රුපියල් පනස්දාහකට වැඩි සේවයක් සිදු කළාය කියලා. පින්වත් ඔබ වැටුප් දිනයට ඔබේ හෘද සාක්ෂියත් සමග සංවාදයේ යෙදෙන්න. පංචඋපාදානස්කන්ධ ලෝකයේ අධිකරණ ස්ථාපිත වී තිබෙන්නේ තමා තුළමයි. හේතුඵල ධර්මයන්ට අදාළව ⁣ලෝකයේ සාධාරණ ම තීන්දු ලබාදෙන සංස්කාර නැමැති විනිශ්චයකරුවා ලබාදෙන තීන්දුව ක්‍රියාත්මක කරන දැනීම්කරුවා වෙන්නේ විඥානයයි. තමා තමාට බොරු කළ නොහැකි, බොරු කළොත් බොරුවත් විපාකයට ම පැමිණෙන ලෝකයේ අසමසම නීති පද්ධතිය සංස්කාර නැමැති විනිශ්චයකරු ලබාදෙන විඥානය නැමැති තීන්දුවයි. පින්වත් ඔබ පංච උපාදානස්කන්ධ ලෝකයට බොරු කළත්, වගකීම් යුතුකම් පැහැර හැරියත් ඔබ තුළ තෘෂ්ණාවේ සැඩ පහර හේතුවෙන් සකස්වෙන පංච උපාදානස්කන්ධ ලෝකය වගකීම් යුතුකම් පැහැර හරින්නේ නැහැ. මේ ජීවිතයේ පින්වත් ගුරුවරයෙක් තම යුතුකම් පැහැර හැරියොත් ඊළඟ ජීවිතයේදී බර ඔසවන නාටාමි කෙනෙක් කරන්න පුළුවන්.