පංචඋපාදානස්කන්ධයේ බියකුරු බව.

කෙනෙකුට ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන් පෘථිවියේ තිබෙන්නේ එක ඉරයි කොහොමද ඉරවල් හතක් පායන්නේ කියලා. ඒවා හේතුඵල ධර්මයන්. පළමු ඉර පායලා තිබී අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට ඇතිවන පෘථිවියේ උෂ්ණත්වය විසින් දෙවැනි ඉර ඇති වෙනවා. දෙවැනි ඉර පායලා අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවෙන උෂ්ණත්වය විසින් තුන් වැනි ඉර ඇතිවෙනවා. මේ විදියට පෘථිවියේ උෂ්ණත්වය වැඩිවෙන්න වැඩිවෙන්න එම පෘථිවියේ උෂ්ණත්වය විසින් ඉරවල් ඇතිවෙන්නේ. මේ ආකාරයට හත්වැනි ඉර පෑයුවාට පසුව ඊටත් වඩා උෂ්ණත්වයක් පෘථිවියට දරාගන්න බැහැ. පෘථිවියට එම උෂ්ණත්වය දරාගන්න පුළුවන් නම් අටවැනි ඉරකුත් පායාවී. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දකිනවා හත්වැනි ඉරට වඩා උෂ්ණත්වයක් පෘථිවියට දරාගන්න බැහැය කියලා. හේතුඵල ධර්මයන් විසින් මේ විනාශය සකස්කරන්නේ.

ඉහත සූත‍්‍රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්‍යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත‍්‍රයේ සඳහන් වෙනවා, දිව්‍යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්‍යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්‍යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත‍්‍රයේදී සත්වෙනි ඉර පායලා මහාමේරුව ගිනිගැනීමේදී මුළු පෘථිවියම ගිනිජාලාවක් බවට පත්වෙමින් පවතින විට දිව්‍යතලයත් පීඩාවට පත්වෙන්න ඕනේ. මෙතැනදී සුරක්ෂිත භාවයට පත්වෙන්නේ මාර්ගඵලලාභී දෙවියා දිව්‍යාංගනාව පමණයි. ආභස්සර බ‍්‍රහ්මතලය සුරැකිව පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සූත‍්‍රය ආරම්භයේදීම සටහන් කළ පළමු ඉර පායලා තිබී, අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට කියන අවස්ථාවේදී පටන් සත්වැනි ඉර පායා පෘථිවිය ගිනිගෙන දැවෙන මොහොත දක්වා ඇති කාලය අවුරුදු දස දහස් ගණනක් වෙන්න පුළුවන්. මේ කාලවකවානුව තුල පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු සියළුම මාර්ගඵලලාභී දිව්‍ය දිව්‍යාංගනාවන් මේ පෘථිවියේ වෙන්නාවූ විනාශය දැකලා එම විනාශය නුවණින් මෙනෙහි කරලා අනිත්‍යසංඥාවන් වැඩිලා නිවන් අවබෝධකොට ගන්නවා. මේ සා විනාශයක් පෘථිවිය මත තම දෑස් ඉදිරිපිට සිද්ධවෙන කොට අවම තරමින් සද්ධානුසාරී ධම්මානුසාරී දෙවි කෙනෙකුවත් මේ ලෝකයට සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. මේ විනාශය කමටහන් කොට ගෙන නිවන් අවබෝධය ලබනවා. ඉන් මෙහා සියළුම දෙවියන් මේ අනතුරේ ගොදුරු බවට පත්වෙනවා. මේසා දරුණු විනාශයක් සිද්ධවෙනකොටත් මාර්ගඵලලාභී දෙවියන්, දිව්‍යාංගනාව සුරක්ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉහත හේතුව නිසා විය යුතුයි.

එම නිසා පිංවත් ඔබ මේ උතුම් අවස්ථාවේදී ධර්ම මාර්ගයේ ගමන් කරමින් කල්ප විනාශයකදීවත් පීඩාවට පත් නොවන මාර්ගඵල ලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වීමට උත්සහ ගන්න. එසේ නොවුනහොත් ඉරවල් හතක උෂ්ණත්වය විසින් ඇතිකරන කර්කශ පරිසරයේ මනුෂ්‍ය ලෝකය තුල නිර්මාණය වන ගිනිගත් නිරයේදී මැරෙමින් ඉපදෙන කෘමීන්, ප්‍රේතයින්, නිරිසතුන් වශයෙන් ද්වේශය, වෛරය, වේදනාව, පිච්චීම ජිවිතය කොට ගත් අවාසනාවන්තයෙක් වීමට ඔබට සිදුවනු ඇත.

මෙම සූත‍්‍රය මෙනෙහි කරන කොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත්භාවය ඔබට වැටහෙනවා, වගේම හේතුඵල ධර්මයන්ට අනූව අනාගතය දැකීමේ තියුණු ප‍්‍රඥාව හොඳින් පැහැදිලි වෙනවා. මුලින්ම අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙනවා. එම උෂ්ණත්වය හේතුවෙන්ම හිම දියවෙලා මහාමේරුව පේන්න පටන් ගන්නවා. දෙවැනිව දිය උල්පත් සිඳි යනවා. ක‍්‍රමානුකූලව පංචමහා ගංගා, පංචමහාවිල්, මහා සාගරය සිඳි යනවා. මීළඟට උණුසුම වැඩිනිසාම මහාමේරුව දුම් දමනවා. අවසානයේදී ගිනිගෙන විනාශ වෙනවා. එකින් එක ඉරවල් පායන කොට ඇතිවන ලෝක ස්වභායන් පිංවත් ඔබ නුවණින් දකින්න. ඉහත කල්ප විනාශය ඔබේ ජිවිතය කිට්ටුවට ගෙන සංසාරබිය ඇති කරගන්න. මේ මුළු මහ පොළවම ගස්කොළන්, තණපත්, වියළි මුඩු බිමක් වෙනවා මනසින් දකින්න. ගංගා ඇළ දොළ වියළී මහා සාගරය සිඳි ගොස් මුළු පෘථිවියම වැලි තලාවක් වෙනවා මනසින් දකින්න. මුළු පෘථිවියම දුමෙන් වැසී තිබෙනවා මනසින් දකින්න. මුළු පෘථිවියම ගිනිගෙන දැවෙනවා මනසින් දකින්න. එම කාශ්ඨක උෂ්ණත්වයට හසුවී සත්වයා පිච්චි පිච්චි මැරෙනවා, නැවත උපදිනවා මනසින් දකින්න. ඔබ මනසින් සැලසුම් කරන්නා වූ අනාගත පංචඋපාදානස්කන්ධයේ බියකරු බව, විෂම බව, දුක්බව කුසල් අකුසල් සංස්කාරයන්ගේ ආශ්වාද රහිත බව දකිමින් ඉහත ලෝක ධර්මයන් සම්මා සම්බුද්ධ ඥාණයෙන් අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සෙගේ අයෝමය ගුණයන් ඥාණයන් පිළිබඳව මෙනෙහි කරමින් රාත‍්‍රී නින්දට යන්න එවිට එම රාත‍්‍රීය යහපත් රාත‍්‍රියක් වේවි.

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!