නිදා ගැනීමට පෙර නිදාගැනීමේ ඉරියව්ව ගැන සිතන්න.

යහපත් රාත්‍රීයක ලබන යහපත් නින්ද නිරෝගි ජීවිතයකට ගොඩාක් වටිනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් උතුම් පැවිදිභාවයට පත්වූ අළුත අරහත් ඵල අවබෝධයට ලැබීමට පෙරාතුව නිරතුරුවම නිදි කිරාවැටීමේ පුරුද්දක් තිබුනා. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අනාගත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගැන දිවැසින් විමසා බලන කොට මුගලන් ස්වාමීන් වහන්සේ කැලයේ ගසක් මුල භාවනා ඉරියව්වකින් නිදි කිරා වැටෙනවා. රාත්‍රී නින්දත්, රාත්‍රී නොනින්දත් දෙකම ප්‍රශ්නයක් වූ සමාජයට නින්දත්, නොනින්දත් දෙකෙන්ම මිදීමේ මාවත උතුම් ශ්‍රී සද්ධර්මය තුළින්මයි පින්වත් ඔබ මතුකොට ගත යුත්තේ.

නින්ද ප්‍රශ්නයක් කොටගත් පින්වතුන්ලා සමාජයේ ජීවත් වෙනවා. සමහරු නින්දෙන් කෑගසනවා, බියවෙනවා, ඇවිදිනවා, නින්දෙන් ගෙදර දොරවල් අරිනවා. තමන් ළග නිදා සිටින අයට පහර දෙනවා. තම සැමියා රාත්‍රීයට නිදා ගන්නා ඉරියව්වල සහ නිදි ඉරියව්වෙන් කරන ශබ්දවල විකෘතිභාවයන් නිසා සැමියාගෙන් දික්කසාද වෙච්ච බිරින්දෑවරු සිටිනවා. කෙනෙකුගේ දුර්වල නිදි ඉරියව්වක් නිසා තව කෙනෙක් නොනිදා දුක් විඳිනවා. පුද්ගලයෙකුගේ නිදි ඉරියව්වල ඇති අස්වාභාවිකභාවයට අතීත ජීවිතවල පුරුදු සහ සිදුවීම් හේතුවෙන්න පුළුවන්. පෙර ජීවිතයේදී බිය ජනක හැගීම් ඇතිකොට ගෙන මැරෙන සහ මරා දමන පින්වතුන් නැවත මනුෂ්‍යය ජීවිතයක් ලැබුවොත් කුඩා වයසේ සිටම නින්දෙන් බියවී කෑගැසීම ඇතිවෙන්න පුළුවන්. වර්තමානයේ ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය තුළ අතීත සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණය බැසගෙන සිටින නිසායි ඉහත අතීත සංසාරික දැනීම්, නින්දෙදි මතුකොට දෙන්නේ.

පින්වත් ඔබට යහපත් සුව නින්දක් උදෙසා නිදාගන්නා නිදි ඉරියව් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පළමුවැනි නිදි ඉරියව්ව තමයි, ප්‍රේතසෙයියාව, යම් පුද්ගලයෙක් මළ මිනියක් හොවා තිඛෙන ආකාරයට උඩු අතට දෑත් දෙපා විහිදුවා නිදා ගන්නාව නම් එය ප්‍රේතසෙයියාව වෙනවා. පින්වත් ඔබ දැකලා ඇති අධික ලෙස මත් වතුර පානය කරපු ඇත්තෝ අධික ලෙස ආහාර අනුභව කරන ඇත්තෝ දෑත් දෙපා දෙපසට විහිදුවා උදරය උඩු අතට සිටින සේ නිදාසිටිනවා. මෙය මනුෂ්‍යයාට අදාල නිදි ඉරියව්වක් නොව, ප්‍රේතයින්ට අදාල නිදි ඉරියව්වක් නිසා බුදුරජාණන් වහනසේ ප්‍රේතසෙයියාවෙන් කරන නින්ද ප්‍රතික්ෂේප කරනවා.

දෙවැනි නිදාගැනීමේ ඉරියව්ව තමයි, කාමභෝගි සෙයියාව, කාමභෝගී සෙයියාව කියන්නේ යම් පුද්ගලයෙක් වම් ලයට හැරී නිදාගන්නවා නම් එම නිදි ඉරියව්ව කාමභෝගි සෙයියාව වෙනවා. ගිහිජීවිත ගත කරන කාමයන්ට ලැදි පින්වතුන් කාමභෝගි සෙයියාවෙන් නිදා ගැනීමට ප්‍රියතාවයක් දක්වනවා. මෙම කාමභෝගි සෙයියාවද රාත්‍රීයේ ධර්ම මනසිකාරයන් නොවැඩෙන නිදි ඉරියව්වක් නිසා බුදුරජාණන් වහන්සේ කාමභෝගී සෙයියාව කියන නිදාගැනීමේ ඉරියව්ව ප්‍රතික්ෂේප කරනවා.

තුන්වැනි නිදාගැනීමේ ඉරියව්ව තමයි සිංහසෙයියාව, සිංහසෙයියාව කියන්නේ දකුණු ඇලයට හැරී කකුලක් මත කකුලක් තබා ගෙන දකුණු අත නමා හිස යටට තබා නිදා ගන්නා නිදි ඉරියව්ව. සිංහසෙයියාවෙන් නින්දට යන පින්වතාට නිරතුරුව ධර්ම මනසිකාරයන් තුළ සිටිමින් නින්දට යාමේ අවස්ථාව ලැබෙනවා. සිංහසෙයියාවෙන් නින්දට යන පින්වතා ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කරමින් චංචල වූ සිතුවිලි මුදවමින් සිත එකගකරවමින් ආශ්වාස, ප්‍රාශ්වාස කරනවා. ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇතිවීම, නැතිවීම දකිමින් ආශ්වාස කරනවා. ආශ්වාස, ප්‍රාශ්වාස කය කෙරෙහි සිත ඍජුව පවතින විට, නොමුලාවූ සිහිය ඔබ තුළ ඇතිවෙනවා. නොමුලාවූ සිහිය යනු සතිසම්බොජ්ජංගයයි. සතිසම්බොජ්ජංගයේ ඵලය ධම්මවිජය බොජ්ජංගයයි. පින්වත් ඔබ තුළ සතිසම්බොජ්ජංග ධර්මයන් වැඩෙන සැතපීම සිංහසෙයියාවෙන් කරන සැතපීමයි. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාව අනුමත කරන සැතපීමේ ඉරියව්ව සිංහසෙයියාවයි.

හතරවැනිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත සෙයියාව කියන නිදාගැනීමේ ඉරියව්ව. තථාගත සෙයියාව කියලා කියන්නේ සිංහසෙයියාවෙන් සැතපී, පංචනීවරණ ධර්මයන් පහවූ ධ්‍යානගත ආර්ය සමාධියෙන්, බුදුරජාණන් වහන්සේලාගේ සැතපෙන ඉරියව්වයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා සැතපෙන උතුම් තථාගත සෙයියාවෙන් සැතපෙන්නට මෙලොව වෙනත් කිසිදු ගිහි පැවිදි පින්වතෙකුට නොහැකි බවද පින්වත් ඔබ අවිවාදයෙන්ම තේරුම් ගත යුතුය. පින්වත් ඔබට රාත්‍රී නින්ද තුළිනුත් ධර්මයන් මතුකොට ගැනීමට අවශ්‍ය නම් ඔබ රාත්‍රී නින්දට පෙර කොට්ට, ඇද ඇතිරිලි, මදුරුදැල්, රාත්‍රී ඇඳුම්, සූදානම් කොට ගන්නවා වගේම ධර්ම මනසිකාරයන් සමග නින්දට යාමට අවශ්‍ය ප්‍රධානම සාධකය වන සිංහසෙයියාවෙන් නිදාගැනීමේ පුරුද්ද ඇතිකොට ගැනීම සුවදායි නින්දකට හොඳ උපකාරක ධර්මයක් වෙනවා.

පින්වත් ඔබ රාත්‍රීයට අවම ආහාරයක් ගෙන සම්බුද්ධ වන්දනාවක් සිදුකොට යම් මොහොතක් සක්මන් භාවනාවේ නිරතවී, සිංහසෙයියාවෙන් සැතපී කුසල් සිතක්, සමාධියේ සිතක්, මෛත්‍රී සිතක්, එසේත් නැතිනම් ආශ්වාස ප්‍රාශ්වාසයේ අනිත්‍යභාවය දකින සිතකින් නින්දට යාමට දක්ෂනම් රාත්‍රීයට යහපත් සුවදායී නින්දක්ද, රාත්‍රී නිදි යහනෙදි මියපරලොව ගියොත් යහපත් නැවත ප්‍රතිසන්ධියක්ද ලබාගැනීමේ භාග්‍යය ලැඛෙනවා. ඒ වගේමයි පින්වත් ඔබ සුවසේ උදෑසන පිබිදුනහොත් ඒ අළුත් උදෑසන ඇලීම් ගැටීම්වලින් තොරවූ ධර්මානුකූලව දවස අරඹන උදෑසනක්ද වෙනවා…!!!

තෙරුවන් සරණයි …!!!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් “අතහැරීම 05” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න.