තරුණ තරුණියෝ ආදරය කරන කාලයේ, පෙම් හසුන් ලියන කාලයේ හදවතට නැතිනම් හෘදවස්‌තුවට මොන තරම් වටිනාකමක් දෙනවද. පෙම් හසුනක් ලියනකොට හදවතක් අඳිනවා. පෙම්වතුන්ගේ දිනයේදී හදවතක සටහනක් නැති තිළිණයක් නැති තරම්.
මොකක්‌ද මේ හෘදය වස්‌තුව කියන්නේ. ඇපල් ගෙඩියක් වගේ ලෙයින් පිරුණු මස් ගොබයක්. ඔබ මනසින් හදවත දෝතට අරගෙන එය තදින් මිරිකුවොත්, මීවදයක් මිරිකනොකට මී පැණි බේරෙනවා වගේ රතුපාටට පිළී ගඳැති රුධිරය බේරෙයි. හැකිළුණු මස් ගොබය ඔබේ අතේ ඉතිරිවේවි.
හදවත, හෘද වස්‌තුව කොයි තරම් නම් අපුළ පිළිකුල් දෙයක්‌ද. දුගඳ දෙයක්‌ද. මෙවැනි පිළිකුල්, දුගඳ හදවතක් කවදාකවත් ඔබ කාගෙන්වත් ඉල්ලන්න යන්න එපා. ඔබ අනුනට දෙන්න යන්නත් එපා. මේ වන විට ඔබේ හදවත කෙනෙකුට ලබාදී ඇතිනම් ඒ ලබාදුන්නේත්, ඒ බැඳීගියේත් දෙතිස් කුණපයකටම බව දකින්න.
හෘදය වස්‌තුව කෙරෙහි වගේම, දෙතිස් කුණපයකට ලොල්වීම නිසා බැඳෙන ආදරය කෙරෙහිත් අවබෝධයෙන් කළකිරෙන්න. ආදරය නාමයෙන් රාගයට ගොදුරු සොයාදෙන මරුවැලක් වූ දෙතිස් කුණපය කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න.