දානය සීලය මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්ෂාව ලබන්නේ කොහොම ද?

දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්‍යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක්‌ ආරක්‍ෂා කරගන්නවා නම්, මෛත්‍රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්‍යදෘෂ්ඨික දෙවියන්, සම්‍යදෘෂ්ඨික යක්‍ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත නැවත මෙය සිදුවනකොට ඉහත දිව්‍ය බලවේග, විශේෂයෙන්ම සම්‍යදෘෂ්ඨික යක්‍ෂ බලවේග පිං අනුමෝදන්ව තම ශක්‌තිය ද වර්ධනය කරගන්නවා. සම්‍යදෘෂ්ඨික යක්‍ෂ බලවේග යනු පෙර ජීවිතවල රට ජාතිය ආගම උපාදානය කරගෙන මියගොස්‌, රට ජාතිය ආගම රැකීමට උපකාරීවන මනෝභාවයන් දරාගත් බලවේගයක්‌ බඳු කොට්‌ඨාසයකි. මේ අය පෙර ජීවිතවලදී රට, ජාතිය, ආගම උදෙසා දිවි දෙවැනිකොට කැපවුණ, සටන් කළ ගිහි පැවිදි මනුෂ්‍යයන්ය. මේ අයද ඔබට ප්‍රිය වෙති. ඔවුන් ඔබට ප්‍රියවන්නේ ඔබ තෙරුවන් සරණ ගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයෙකු නිසාය. ඔබට නොපෙනුනාට දැන් මේ බලවේග නිරතුරුවම ඔබ පසුපසින් ගමන් කරයි. ඔබ නිවසේ සිටියද, කාර්යාලයේ සිටියද, වාහනයක ගමන් කළද, යුදබිමක සිටියද මේ බලවේග ඔබ වටා ඔබට නොපෙනෙන්නට සිටියි. ඔබත් සමග ගමන් කරයි. අවදානම් අවස්‌ථාවකදී මැදිහත්ව ඔබව අනතුරුවලින් ගලවාගනියි. මේ බලවේග, ඔබ වාහනයක ගමන් කරද්දී එම වාහනය තුළ ගමන් කරයි. බෝම්බකරුවෙක්‌ වාහනයට පැන්නහොත් ඔහුගේ ඉලක්‌කය වරද්දයි. ඉලක්‌කය වරදවන පරිදි ඔහුව ඉක්‌මන් කරවයි. එක්‌කෝ ප්‍රමාද කරවයි. ඔබ නොදන්නවාට මෙම බලවේග සතුරා ඉලක්‌කය වැරැද්දීමට ඔබගේ වාහනයේ ඇක්‌සලේටරයට බරදී වේගය වැඩිකරවයි. අනතුරින් ඔබ ගැලවෙයි. එහෙත් ආරක්‍ෂාවට සිටි අය, එසේත් නැතිනම් මහමග සිටි අය අනතුරට පත්වේ. සම්‍යදෘෂ්ඨික දිව්‍ය යක්‍ෂ බලවේග මෙලෙස ඔබව ආරක්‍ෂා කරයි. මේ ආරක්‍ෂාව ඔබට ලැබුණේ ඔබ තෙරුවන් සරණගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයකු නිසාය. ඔබව ආරක්‍ෂා කළේ පිනට කැමති, පිං කරන අයට කැමැති රට, ජාතිය, ආගම උපාදානය කරගත් සම්‍යදෘෂ්ඨික දිව්‍ය යක්‍ෂ බලවේගය. ඒ නිසා ඔබත් රට, ජාතිය, ආගම උදෙසා ජීවිතය කැපකරන කෙනෙක්‌ නම්, ලෝකයේ ඇති සැබෑම ආරක්‍ෂක ක්‍රමයෙන් ආරක්‍ෂා වෙන්න දක්‍ෂ වෙන්න. මේ ආරක්‍ෂක ක්‍රමයේ ඇති සුවිශේෂී ලක්‍ෂණය වන්නේ මින් ආරක්‍ෂාවන්නේ ඔබගේ මෙලොව ජීවිතය පමණක්‌ නොව පරලොව ජීවිතය ද ඉන් ආරක්‍ෂා වන නිසාය. මරණින් මතුව සතර අපාය නමැති අණක්‌ ගුණක්‌ නොමැති ත්‍රස්‌තවාදයෙන් ද ඔබව ආරක්‍ෂා කරගැනීමට ඉහත ප්‍රතිපදාව හේතුවනු ඇත.

ඒ නිසා රට ජාතිය ආගම නාමයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආහාර හොයන පිංවත් ඔබ රට ජාතියේ නාමයෙන් සැබෑ ලෙසම ධර්මයේ හික්‌මෙන්න. ධර්මය ඔබේ සැබෑ ආරක්‍ෂකයා බව හොඳින් සිහියේ තබාගන්න. සැබැවින්ම ඔබ තෙරුවන් සරණ ගිය අයෙක්‌ නම්, රට ජාතිය සුරකින අයෙක්‌ නම් මෙලොව සේම පරලොව ද ජයගැනීම ඔබගේ අරමුණ විය යුතුය.