උදේනි රජතුමාගේ මාගන්දියා බිසව.

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා ඊයේ රාත‍්‍රියේ උදේනි රජුගේ සාමාවති බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක්දෙනා මාළිඟාව ගිනිගෙන මිය ගියාය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මතක් කරනවා සාමාවතිය ඇතුළු මිය ගිය සෑම කාන්තාවක්ම තෙරුවන් සරණ පිහිටිය නිසාම සුගතියේ උපත ලැබුවේ කියලා. කාන්තාවන් පන්සියක දෙනාගෙන් සමහරු අනාගාමී ඵලයට පත් වී සකෘදාගාමි ඵලයන්ට පත්වී, සෝවාන් ඵලයන්ටද පත්වී දිව්‍යතලවලම උපත ලැබුවාය කියලා. ද්වේෂයෙන් මුලාවට පත්වෙච්ච මාගන්දියා බිසව දැක්කේ පිච්චි මිය ගිය සාමාවතිය ඇතුළු කාන්තාවන් පන්සියයක් දෙනාගේ අඟුරු ගොඩාක්. මාගන්දියා බිසවගේ ද්වේෂ සිතුවිල්ල ක‍්‍රියාත්මක කිරිම තුළින් පන්සියයක් තෙරුවන් සරණ පිහිටිය සාමාවතිය ඇතුළු කුල කතුන් සුගතියට මාර්ගය සකස් කොට ගත්තා. මාගන්දියා බිසවට අත්වූයේ ද්වේශයයි. එම ද්වේෂයට හසුවී පිච්චි මිය ගිය බිසෝවරුනට සුගතිය හිමිවුණා. අවසානයේදී මාගන්දියා බිසවටත් අකුසල් සංස්කාර විසින් බොහොම සාධාරණ විපාකයක් සලස්වලා දෙනවා.

එක්තරා භික්ෂුවක් උතුම් සමාධියේ අරමුණු කොට බලනවා මාගන්දියා බිසව මේ මොහොතේ සිටින්නේ කොතනද කියලා. භික්ෂුවට දර්ශනය වෙන්නේ පිච්චි අගුරු වෙච්ච මුහුණක්. පිංවත් ඔබ ඔබේ හිස ප‍්‍රමාණයේ අඟුරු කැබැල්ලක් අරගෙන එම අඟුරු කැබැල්ලේ මනුෂ්‍යය මුහුණක් කැටයම් කරන්න. හිසකෙස් නැති තට්ට හිසක් සහිත අඟුරු කැබැල්ලක් වැනි පිච්චි ගිය මුහුණක් සහිත නිරයේ දුක් විඳින වර්තමාන මාගන්දිය බිසව භික්ෂුවට අරමුණු වෙනවා. එම නිරිසතාගේ මුහුණ බොහෝම තියුණු වේදනාවකින් පෙළෙන පිච්චිගිය අඟුරු කැබැල්ලක්මයි. මනුෂ්‍යයෙක් පණ පිටින් ගිනි ගන්නා විට ඔබ මෙනෙහි කරන්න එම පිච්චෙන මනුෂ්‍යයාගේ මුහුණේ ඇති වේදනාත්මක ඉරියව්. අන්න ඒ ඉරියව්වේ ස්වභාවයෙන් වේදනාත්මක මුහුණක් මෙම නිරිසතාට තිබෙන්නේ. පේනවා නේද මාගන්ධියා බිසවගේ ද්වේෂ සිත මාගන්දියාට ලබලා දුන්න දඩුවම.

පිංවත් ඔබ වැරැද්දට දඩුවම හැටියට දකින මනුෂ්‍යලෝකයේ සිරදඩුවම, මරණ දඩුවම, කස පහර වගේද මෝහයෙන් මිදී අකුසල් සංස්කාරයන්ගේ බියකරු රුදුරු බවම දකින්න. වැරදි කරන ලෝකයා වැරදි කරපුදෙන්, ඔබ දඩුවම් දෙන්න යන්න එපා. පොලිසිය, උසාවිය ගානේ ඔබ රස්තියාදු වෙන්න යන්න එපා. අනුන් කරපු වරදක් නිසා ඔබ පොලිසිය උසාවිය ගානේ ඔබ රස්තියාදු වෙනවා කියන්නේ ඔබ ඔබට දඩුවම් කරගන්නවාය කියන කාරණයයි. එය වැරදිකරුවා කෙරෙහි ඔබ තුල ඇති කරගන්නා ද්වේෂයේ දිට්ඨධම්මවේදනීය අකුසල් විපාකයයි. පිංවත් ඔබ අකුසලය දැක කුසලයෙන් ශක්තිමත් වෙන්න. ඔබ තව තව නිවැරදි වෙන්න. මාගන්දියා බිසවගේ සිතේ ඇවිළුනු ගින්නෙන් පන්සියයක් සාමාවතිය ඇතුළු බිසෝවරු පණපිටින් ගිනිගනිද්දීත්, එම වේදනාව දරාගනිමින් සියළු සත්වයෝ සුවපත් වෙත්වා කියලා සිතක් සකස් කොට ගන්්න දක්ෂ වෙච්ච ඒ සුවපත් වේවායි කියලා සකස් කොට ගත් සිතත් අනිත්‍යයි කියා දකින්න දක්ෂ වෙච්ච සාමාවතිය ඇතුළු තෙරුවන් සරණ පිහිටිය කුල කතුන් පන්සියය දෙනාගේ සිතේ ඇතිවුණ සිතුවිල්ලත් ඔබ ඔබේ සිතේ ඇති කරගන්න. නීතිය කෙරෙහි නොවේ ධර්මය කෙරෙහි විශ්වාසය තබන්න. රජවරු පනවන නීතියටත් අනිවාර්යෙන් ගරු කරන්න. වැරදි කරන අයට දඩුවම් කරන්න ගිහිල්ලා ඔබ ද්වේෂය සකස් කොට ගන්න එපා. මාරයා ලෝකය පටවලා තිබෙන්නේ. පිංවත් ඔබ පැටලෙන්න එපා. සාමාවතිය ඇතුළු බිසෝවරු පණපිටින් ගිනිගනිද්දීත් මාරයා පටලවපු පැටලිල්ලේ පැටළුනේ නැහැ. පංචඋපාදානස්කන්ධය නැමැති මාරයා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් විඳීම නැමැති පඹගාලේ සාමාවතිය ඇතුළු බිසෝවරු පටලවන්න උත්සහ ගත්තද විදර්ශනා නුවණින් විඳිමේ අනිත්‍යභාවය දැකීමට එම බිසෝවරු දක්ෂ වුනා. නමුත් තෙරුවන් සරණ පිහිටිය සාමාවති බිසවට තිබු දක්ෂභාවය, සාමාවති බිසවට මහත් සේ ඇලූම් කල උදේනි රජුට තිබුණේ නැහැ. සාමාවතිය ඇතුළු කුලකතුන් මරා දැමීම දරාගැනීමට නොහැකි වූ උදේනි රජතුමා මාගන්දියා බිසව ඇතුළු ඇයගේ සියළුම ඥාතී පිරිස අමු අමුවේම පිදුරු දමා ගිනිතබා රාජ දඩුවම් දුන්නා. සුගතියේ මාර්ගඵල ලාභී දිව්‍යාංගනාවන් ලෙස උපත ලැබූ සාමාවතිය ඇතුළු කුලකතුන් නිසා අනුවණ උදේනි රජතුමා මාරයාගේ පඹගාලේ පැටලී මහ අකුසල් කන්දරාවක් සිදුකර ගත්තා. මාරයා ඔබව පටලාවි, පිංවත් ඔබ පැටලෙන්න එපා.

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!