උත්සාහ කරන්න…!

වෙනසක් නැතිව සැමදෙනාටම මෛත්‍රිය වඩන්න..
එවිට දැනේවි සිතේ ඇති ද්වේශයේ තරම.

අරමුණක් ඇති විටෙක විරාගී වන්නට බලන්න.
එවිට දැනේවි සිතේ ඇති රාගයේ බලය.

තමන්ට නොලැබුණු, තමන් ආස දෙයක් අන් අයට ලැබුණු විට හදවතින්ම “අනේ තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! ” සිතන්න.
එවිට දැනේවි සිතේ ඇති ඊර්ෂ්‍යාවේ මහත.

තමන්ට නරකම කරන කෙනෙකුට විපතක් වූ විට හදවතින්ම කරුණාව දක්වන්න බලන්න.
එවිට හඳුනා ගනීවී සිතේ ඇති වෛරයේ තරම.

තමන්ට ප්‍රශංසාවම දැක්වූ, අගය කෙරූ කෙනෙක්ගෙන් එන චෝදනාවක් කෙරෙහි මැදහත් වන්න.
එවිට දැනේවී සිතේ ඇති නොඉවසීමේ තරම.

පැයක් වාඩීවී සිත සමාධිමත් කරන්නට බලන්න.
එවිට දැනේවී සිතේ ඇති නොසන්සුන්කම..!

අත්හදා බලන්න.
ඔබේ කෙලෙස් සිත තුළ සැඟවී ඔබව මුලා කරවන අපූරුව..!

අරමුණක් නැති තැනක..අප සියල්ලෝම ශාන්තුවරයන්ය..

ඔබේ සිත හඳුනා ගත හැක්කේ ඔබටම පමණි.
එයට ඖෂධය ඇත්තේ…ධර්මය තුළ පමණි..!
අවුරුද්ද පුරාම පින්කම්ම කරමින් සිටියත්, දවස පුරාම බණම අසමින් සිටියත්, ඔබ ඔබට අවංකව ඔබේ කෙලෙස් හඳුනා නොගන්නා තෙක්, දහම් ඇස ඔබට වැසී ඇත…!

අවංක වන්න.
ඔබේ ගුරුවරයා ඔබේ හදවතයි..
ඔබේ ගුරුවරයා ඔබේ අත්දැකීමයි..
හද පෙළන, දවන දේ ඔබේ ගුරුවරයා කරගන්න.

රෝසමල් යහනාවක් නොවේ ධර්ම මාර්ගය හැමවිටම..
කටු කොහොල් වැසුණු, දෙපයට රිදුම් දෙන මාවතයි.

යුද්ධයක් දිනන්නට සටනට බට සෙබළා ඉදිරියට සතුරන් එන්නේ යම්සේද, එලෙසින්ම, කෙලෙස් නසන්නට යන ගමනේදී කෙලෙස් විසින් ඔබේ ගමන වසාළන්නට නොයෙක් වර උත්සාහ කරයි.
සතිය ඔබේ මාර්ගය පෙන්වාලන ආලෝකයයි.
ඔබට එන සතුරු හමුදාවන් සතිය නැමැති පහන් සිලෙන් කල් තියා හඳුනා ගන්න.
ප්‍රඥාව නැමැති අසිපතෙන් කෙලෙස් මූලයන් සිඳලාලන්න.

ඔබේ වීර්යය අත් නොහරින්න.

ඔබේම හදවත තුළ සැඟවී ඇති චිත්ත ශක්තිය අවධි කරගන්න.
කෙලෙස් යුද්ධය දිනූ මහ රහතන් වහන්සේලා , බුදුවරු මේ විශ්වයට එක් කළ අසීමිත චිත්ත ශක්තිය ඔබට ළඟා කරගත හැක්කේ ඔබේම ශක්තිය අවධි කරගැනීම තුළයි..
ලෝකයා යන මාර්ගය එක් පැත්තකි.
ලෝකයෙන් මිදෙන මාර්ගය අනෙක් පැත්තයි.
මුළු ලෝකයම ඔබට කතා කළත් පැවැත්ම දෙසට…
හිතට වීර්යය ගන්න.
.
බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වන්නේ පැවැත්මෙන් මිදෙන දිශාවයි..

බුදුරජාණන් වහන්සේ , මහ රහතන් වහන්සේලා වැඩ සිටින්නේ ඒ මහා කෙලෙස් සාගරයෙන් එගොඩයි…
කෙලෙස් සහිත සත්වයන් මෙගොඩ සිට ඔබව කෙලෙස් ලෝකය තුළට, දුක තුළට කතා කළඳ…

අසීමිත වූ මහා කරුණාවකින් යුතු බුදු පියාණන් ඔබ මේ දුක්ඛිත සාගරය තරණය කරන තෙක්…එගොඩට වී බලා සිටී..
උන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක් වේදනා වින්දේ , ඔබව මේ දුකෙන් එගොඩ කරවාලීමටයි..
ඒ මහා කාරුණාවට පිටුපා නොයන්න..

එයට කළ ගුණ දක්වන්න..
සංසාර දුකෙන් එතෙර වු සෝවාන්, සකදාගාමී, අනාගාමි, අර්හත් උත්තමයෙක් ලෙසින්
ජීවිත පූජාවෙන්…!!!!