ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක් ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම් සුළු ප්‍රමාණයක්‌ද ලෝකයාට දේශනාකර ඇත්තේ. පිංවත් ඔබට නිවීමේ මාර්ගයට පමණක් අදාළ පුංචි ධර්මයක් මේ තරම් සරළව දේශනා කරලත්, එම ධර්මය නාසා අපේ ඇත්තෝ මේ සා දෘෂ්ඨි මතවාද ශීලවෘතවල පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ ධර්මයෙන් අඩක් හෝ අපට දේශනා කළා නම් අපි සියල්ලන් මොන විනාශයක් සිදුකරගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහාකරුණා ඥානය නිසාමයි ලෝකයාට භවනිරෝධයට අවශ්‍ය කරුණු කාරණා පමණක් දේශනා කරන්නේ. ඉකුත් සටහනේ සඳහන් කළ “පව් නොකරනවා නම් පිංකරන්න අවශ්‍ය නැහැ” දෘෂ්ඨිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්‌වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක් කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක් තිබෙනවාද? මේ සා විනාශයක් තමා තමාටම කරගන්නේ “මම” කියලා ගොඩනගාගන්නා සක්‌කාය දිට්‌ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි අප්‍රමාණ ගහනයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර ජීවිතයේ අප්‍රමාණ පිංකම් කළ පිංවතුනේ…
මොහොතක් විවේකීව සිතන්න. පිංවත් ඔබ ගිය ජීවිතයේදී නතර කළ තැනක් තිබෙනවා. ඒ නතර කළ තැන බොහෝම පාරිශුද්ධ තැනක්. පාරිශුද්ධයි කීවේ දානයෙන්, ශීලයෙන්, සද්ධාවෙන් පාරිශූද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව, පිංවත් ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මනුෂ්‍යයෙක්‌ය කියලා. සිංහල බෞද්ධයෙක්‌මය කියලා. පිංවත් ඔබ මනසින් සිහිපත් කරන්න සුදු වත් දරාගෙන වයස අවුරුදු අසුපහක්, අනුවක් වෙනතුරු ශිල් සමාදන්ව සමාදන් වූ ශීලය ආරක්‍ෂාකරගත් හැටි.
පිංවත් ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ලබපු හැටි. දන් පුජාකළ හැටි. මේ කුසල් සංස්‌කාරයන් සිදුකරමින් ඔබ කුමක්‌ද ප්‍රර්ථනා කරන්න ඇත්තේ. මේ ධර්මද්වීපයේම උපත ලබන්න කියලයි. මේ ධර්මද්වීපයේම උපාසක උපාසිකාවක් වේවා කියන පැතුමයි. පිංවත් ඔබ දක්‍ෂවෙන්න, තරුණ මහලු සැවොම ඒ යටගියා වූ මතකය නැවත මතුකොටගන්න. එවිට පිංවත් ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එසේ නොවුනහොත් පිංවත් ඔබලා උත්සාහගන්නේ මුල ඉඳන් නැවත අලුතින් පටන් ගන්න. තරුණයෙක් තරුණියෙක් නම් ඔහු හෝ ඇය සිතනවා වයසට යන්න ඕනේ සිල් සමාදන් වෙන්න, දන්දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට ඉඩදෙන්න එපා. තරුණ කාලයේදීම සුදු වත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. එහෙම වුණොත් පමණයි ඔබ මේ ජීවිතයේදී ප්‍රමාදී නොවුණා වෙන්නේ. පිංවත් ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ඨි මතවාදයන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධයෙක් නොවන බව. එසේ වුවානම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි උපත ලබන්නේ. එම නිසා පිංවත් ඔබ තුළින්ම ඔබ සහතිකයක් ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්‌මය කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය අකීකරුභාවය නිසා දෘෂ්ඨිමතවාදවල, අන්‍යශීලවෘතවල සිරකොට දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගා ගත් දෙය ඔබ විසින්ම විනාශ කර දැමුවා වෙනවා.