කළණ මිතුරන් හා පාප මිතුරන් නුවණින් විමසා හඳුනා ගන්න.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ සතර දෙනා..

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ *අඤ්ඤදත්ථුහර* නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්‍ෂණයෝ ය.

ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ *වචීපරම* නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේය”යි අතීතයෙන් සංග්‍ර‍හ කිරීමය, පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍ර‍හ කිරීම ය, කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍ර‍හ කිරීම ය, කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්‍ෂණයෝ ය.

යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ *අනුප්‍රියභාණී* නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කථා කිරීමය, ඉදිරියෙහි ගුණ කීමය, නැති තැන දොස් කීමය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්‍ෂණයෝ ය.

සුරාපානාදි පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා *අපාය සහාය* නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. සුරාපානයට යහළු වීමය, නො කල්හි ඇවිදීමට යහළු වීමය, නැටුම් ආදිය දක්නට යෑමට යහළු වීමය, සූදුවට යාමට යහළු වීමය යන මේවා අපායසහායයා ගේ ලක්‍ෂණයෝ ය.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ මිත්‍ර‍යන් සේ පෙනී සිටින සතුරෝ ය. පාප මිත්‍රයෝ යයි කියනුයේ ද ඔවුනට ම ය. පාපමිත්‍ර‍ සේවනය ඉතා නපුරෙකි. එයින් නොවිය හැකි පිරිහීමක්, නොවිය හැකි විපතක් නැත. අසූ කෝටියක් ධනයට හිමි ව සිටි මහධන සිටු පුත්‍ර‍යා පාප මිත්‍ර‍ සේවනයෙන් සිඟමනට පත් විය. අජාසත් රජ සෝවාන් වූ පරම ධාර්මික රජකුගේ පුත්‍ර‍යකු ද වී, ඒ ජාතියේ ම සෝවාන් වීමට තරම් පෙර පින් ඇතියකු ද වී පාපමිත්‍ර‍ සේවනයේ වරදින් පිය රජු මරා අපායට ගියේ ය. එසේ පාපමිත්‍ර‍ සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඉතා බොහෝ ය. එබැවින් මෙලොව පරලොව වැඩ කැමති සැම දෙනා විසින් ම සර්පාදීන්ගෙන් මෙන් ම පාප මිත්‍ර‍යන්ගෙන් ද පරෙස්සම් විය යුතු ය. පාපමිත්‍ර‍යා සර්පයාට වඩා නපුරෙකි.

☀ කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනා ☀

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් වෙති.

උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා *උපකාරක* මිත්‍ර‍යා ය, ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්‍ෂා කිරීම ය, මිතුරාගේ වස්තුව ආරක්‍ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා *සමාන සුඛදුඃඛ* මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකකුට නො දැන ගන්නට ආරක්‍ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා *අර්ථඛ්‍යායි* මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීමය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා *අනුකම්පක* මිත්‍ර‍යා ය. මිතුරාගේ පිරිහීම ගැන කණගාටුවීම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම් වැළැක්වීම ය, ගුණ කියන්නවුන්ට පැසසීම ය යන මේවා අනුකම්පක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

කල්‍යාණ මිත්‍ර‍ සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකික. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීම ද කල්‍යාණ මිත්‍ර‍ සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර‍ සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කර ය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්‍යාණ මිත්‍ර‍යන් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කොට සියල්ලෝ ම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාන සම්පත්තියට පැමිණෙත්වා🏻🏻

තථාගතයන් වහන්සේගේ ධර්මය ලොවෙහි බැබළේවා!🏻🏻

උපුටා ගැනීම:- අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමිපාණන්වහන්සේ විසින් සම්පාදිත බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථය.