ඔබ දුකෙන් මිදී යන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ ඒ පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට ඕනේ. යම් පිංවතෙක් තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල නම්, දෙමව්පියන්ගේ ගුණයන් කෙරෙහි විශ්වාසයක් නැතිනම්, දන් පුජා කිරීමට ලෝභ සිත් ඇත්නම්, කේන්තිය, හිංසාව තිබෙනවා නම්, ආජීව අට්ඨමක ශීලය දුර්වල නම්, ඔහුගේ සම්මා වායාමයන් දුර්වලවෙලා යන්නේ, වතුර නැති ගසක් මළානික වෙලා යනවා වගේමයි.

අද උදෑසන භික්ෂුවට එවැනි වතුර නැති වූ ගසක් මුණ ගැසුනා. ඒ පිංවත් මහත්මයා භික්ෂුවට කියනවා, තමන් බුදුරජාණන් වහන්සේට ලක්ෂ ගණන් වැය කරලා බුද්ධ පූජාවන් පූජා කරනවා, හැබැයි වර්තමානයේ සංඝයාට දන් පූජාකරන්නේ නැහැය කියලා. උතුම් සම්මා දිට්ඨියේ වතුර අහිමි වූ මෙවන් සම්මා වායාමයන්, අවංකව අයිතිවෙන්නේ, මිච්ඡුා වායාමයන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය අහිමි වූ කල නිවන් මාර්ගයම අපිට අහිමි වෙනවාය කියලා.

වර්තමානයේ කොරෝනා අනතුරේ පීඩාවෙන් තෙරපෙන, අපේ සමාජය දෙස බැලූවත්, ජාත්‍යන්තරය දෙස බැලූවත්, බලවත් මානසික පීඩාවන්ට පත් වී ඇති පිංවත් ජනතාව දෙස, සද්ධර්මයේ ඇසෙන් බැලූවත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් සහ ශීලයට අදාළව ආජීව අට්ඨමක ශීලයේ දුර්වලභාවයන් තුළ සිදුකරගන්නා වූ, පිනේ කටුක ඛේදවාචකය හොඳින් පෙනෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග පහේ දුර්වලභාවයන් තුළ සිදුකොටගන්නා පින විපාකයට පැමිණෙන්නේ බලවත් වූ අභියෝගයන් මධ්‍යයේමයි. ජීවිතයේ ලැබූ ජයග‍්‍රහණයන් නිදහසේ භුක්ති විඳින්න දෙන්නේ නැහැ. පිංවත් ඔබ වර්තමානයේ ඔබේ ජීවිත වලට ඉහත ධර්මය ගලපා බලන්න. වර්තමානයේ හුඟාක් පිංකම් සිද්ධවෙන්නේ, ලෞකික ප‍්‍රඥාවට අදාළ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තමාගේ සක්කායදිට්ඨිය තුළ සිරගත කරලා. සම්මා ආජීවයන් විත්තිකූඩුවට නග්ගලා.

භික්ෂුව ප‍්‍රඥාවේ ඇසින් දැකලා තිබෙනවා, ලොකු සහ කුඩා පිංකම් වලදී, සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් සහ සම්මා ආජීවයන් හඬා වැටෙනවා. මේ උතුම් ධර්මයන්ට කියාගන්න කෙනෙක් නැහැ. පැහැදිලි කොට දෙන්න කෙනෙක් නැහැ. ඒ උත්තරීතර ලෞකික ප‍්‍රඥාවේ දෑස්වලින් කඳුළු රූටා වැටෙන කොට, ඒ කඳුලින් තෙමීයන පින, මිච්ඡා වායාමයන් බවටමයි පත්වෙන්නේ. පිංවත් ඔබ සුන්දර පින සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ කඳුලින් තෙමන්න එපා. පිංවත් ඔබව දුකෙන් එතෙරටම ඇරලවන, ඒ උතුම් ධර්මථාවයන්ට ඔබ කඳුළු දුන්නොත්, ඔබේ ජීවිතය කඳුළු සාගරයක්ම වේවි, හැබැයි ඉතින් පින නැමති ඔරුව ඔබ සන්තකයේ තිබෙනවා, ඒ කඳුළු සාගරයේ අභියෝගයන් මැද වුව ද පැද, පැද සිටින්න.

වර්තමානයේ පිංවත් ඔබ මුහුණදී සිටින්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීවයන් හඬවා ගැලූ කඳුළු සාගරයේ, ඔබේ පින නැමති ඔරුව අභියෝගයන්ගේ කරවටක් ගිලී පදිමින් සිටීමම නේද. ධර්මය එහිපස්සිකයි, විවෘතව බබලනවා. පිංවත් අන්ධ පිංවතෙකුගේ දෑස් අන්ධ වුණත්, ඔහු සද්ධර්මයේ එහිපස්සික ගුණය තම අන්ධ දෑස් තුළිනුත් දකිනවා. හැබැයි ඉතින් ඔහු කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ලබන්නට ඕනේ.

පිංවත් ඔබ ලෝකයට බොරුකලත්, සංස්කාර ලෝකය ඔබට බොරු කරන්නේ නැහැ. කරුණාකර සැබෑම සැපය ඔබට උරුමකොටදෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට එන්න. උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළු වෙන ඔබ, උතුම් සම්මා දිට්ඨියේ දොරටුවෙන්ම ඇතුල්වෙන්න. කෙටි මාර්ග, අතුරු මාර්ග තුළින් සැප සොයන්න එපා. වැරදි මාර්ගයෙන් සොයන සැපය අභියෝග කන්දක්ම වේවි.

භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට ආර්ය නමස්කාරයක්ම වේවා!, උතුම් ශ්‍රී සද්ධර්මයේ එහිපස්සික ගුණය, ජයග‍්‍රහණයන් ඉදිරියේදිත්, අභියෝගයන් ඉදිරියේදිත්, මේ නිමේෂයේදී අසරණ අපිට දැකගන්නට සැලැස්වුවාට, බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත්, ලෝක ධර්මයන් නිවීයන්නේ නැහැ. ලෝකය ලෝකයමයි. ලෝකය දුකමයි. ලෝකය ජාති, ජරා, ව්‍යාධි, මරණමයි. පිංවත් ඔබ කවදාද තීරණය කරන්නේ දුක ලෝකය තුළ ඉතිරිකොට, ඔබ දුකෙන් මිදීයනවාය කියලා. කොරෝනා අකුසලය දත් විලිස්සා නැගී සිටිද්දී, පිංවත් ඔබ දුක හෝ සැප සොයන්න එපා. අවම වශයෙන් හේතුඵල ධර්මයන් දකින, උපේක්ෂාව ජීවිතයට මතුකොට ගන්න.

අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ