සතර සංවර ශීලය කොටස් හතරකින් තියෙනවා . ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ,ඉන්ද්‍රිය සංවර ශීලය ,ආජීව පාරිශුද්ධ ශීලය , ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය කියලා . අපි සමාදන් වෙන පන්සිල්,අටසිල් අයිති වෙන්නෙ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ට. එහෙනම් මේ ශීලයේ පිහිටලා ඉන්ද්‍රිය සංවර ශීලය ඇති කරගන්නත් ඕන. ඇහැ දෙකට බෙදාගන්න ඕන .කන දෙකට බෙදා ගන්න ඕන. නාසය ,දිව ,ශරීරය දෙකට බෙදාගන්න ඕන.සේවනය කටයුතු සහ නොකටයුතු කියලා .
ඇහෙන් යම් රූපයක් බලනකොට නූපන් අකුසල ධර්මයෝ උපදියි නම් ,උපන් අකුසල ධර්මයෝ වැඩෙයි නම් එබඳු රූප නොබැලිය යුතුය . ඇහෙන් රූපයක් බලනවිට නූපන් අකුසල ධර්මයෝ නූපදියි නම් උපන් අකුසල ධර්මයෝ ප්‍රහීන වෙයි නම් එබඳු රූප බැලීම වරදක් නෑ. මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය කියන්නෙ ඇස් වසාගෙන සිටීම නෙවෙයි . බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වුනොත් ඇහැ නොපෙනෙන කෙනාත් හොඳින් වැඩුනු ඉන්ද්‍රිය තියෙන කෙනෙක් . ඒ කියන්නෙ මේ ඇහැ හොඳ දේට උදව් කරගන්න .නරක දේට අතහරින්න . එහෙමයි ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නෙ.සංවරය කියන එකෙන් එපා කියන එකක් කියන්නෙ නෑ. බලන්න කියනවා අවශ්‍යදේ විතරක්. ඒක හොඳට තේරුම් ගන්න.
කන සංවර කරගන්න කියන එකෙන් ශබ්ද අහන්න එපා කියන්නෙ නෑ. යම් ශබ්දයක් අහනකොට නූපන් අකුසල ධර්ම උපදීනම්,උපන් අකුසල ධර්ම වැඩෙයි නම් එබඳු ශබ්ද අහන්න එපා.යම් ශබ්දයක් අහනකොට උපන් අකුසලය දුරුවෙයි නම්,නූපන් අකුසලය නූපදී නම් එබඳු ශබ්ද අහන්න .ඒ වගේ ඇහැ ,කන ,දිව,නාසය ,ශරීරය දෙකට බෙදාගන්න .
යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරන කොට නූපන් අකුසලය උපදියි නම්, උපන් අකුසලය වැඩෙයි නම්, එබඳු ගන්ධ ආඝ්‍රාණය කරන්න එපා . යම් ගන්ධයක් ඇසුරු කරන කොට නූපන් කුසලය උපදී නම් උපන් කුසලය වැඩේ නම් එබඳු ගන්ධ ඇසුරු කරන්න.
යම් රසයක් වළඳන කොට නූපන් අකුසලය උපදී නම් උපන් අකුසලය වැඩේ නම් එබඳු රසය අතහරින්න . යම් රසයක් වළඳනකොට නූපන් කුසල ධර්ම උපදී නම් උපන් කුසල ධර්ම වැඩේ නම් එබඳු රසය ඇසුරු කරන්න.
කයටත් එහෙමයි ,බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නෙ නෑ ආරණ්‍යගත වෙන්න,පාංශුකූලික වෙන්න, කැලේකට යන්න,මහා දුක් විඳින්න කියලා කියන්නෙ නෑ.සුඛෝපභෝගී වෙන්න කියලා කියන්නෙත් නෑ. මෙහෙම දේශනා කරනවා “යම් සැප වේදනාවක් ඇසුරු කරන කොට නූපන් අකුසල ධර්ම උපදී නම් උපන් අකුසල ධර්ම වැඩේ නම් ඒ සැප වේදනාව අතහරින්න . යම් සැපයක් විඳිනකොට නූපන් කුසලය උපදීනම් උපන් කුසලය වැඩේ නම් ඒ සැපය බය නැතුව ඇසුරු කරන්න . කෙනෙකුට රූක්ෂ ප්‍රතිපත්තියෙ හිත රැඳෙන්නේ නෑ. හැබැයි පහසුව තියෙන තැනක හිටියොත් ,කෙලේසයකට නොගිහින් ඒ සැපය විඳිමින් තමන්ට හිත හදාගන්න පුළුවන් නම් ඒ සැපය විඳීම වරදක් නෑ.
දුතිය චෙතනා සුත්ත — ග්‍රන්ථයෙන් උපුටාගැනීමකි .
පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ