ඊයෙ දවසෙ කේන්තියක්‌ ආවෙ කුමක්‌ නිසාද කියල දැන් ඔබ දුක්‌වෙනව නේද?

ඊයෙ දවසෙ කේන්තියක්‌ ආවෙ කුමක්‌ නිසාද කියල දැන් ඔබ දුක්‌වෙනව නේද? නමුත් ඒ කේන්තිය ඊයෙ ඔබේ කරගත්ත. අද වෙද්දි තේරෙනව ඒ කේන්තිය ඔබට අයිති නෑ කියල. කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය පිටිපස්‌සෙ ඇතිකරගත්ත අකුසලය ඔබ පිටිපස්‌සෙ තියෙනව.

අද දවසේ ඔබට කේන්තියක්‌ ආව නම් ඔබට ඒ කේන්තියත් අයිති නෑ. කේන්තියක්‌ ආවෙ ඇයි? බාහිර රූපයක්‌ ඵස්‌සය වුණ නිසා. අපි ගැටෙන රූපයක්‌ පස්‌සය වුණා. අපි ගැටෙන සිතුවිල්ල ඇතිවුණා. ඔන්න කේන්තිය ඇතිවුණා. ඉතින් ඒ කේන්තිය අපිට අයිති නෑ කියල දකින්න ඕන. ඵස්‌සය නිසා ඇති වුණ දෙයක්‌. අපිට අයිති නැති දෙයක්‌ අපි අපේ කරගන්න යන්න ඕන නෑ. ඒ නිසා සෝවාන් කෙනා තුළත් කේන්තිය තියෙනව. නමුත් ධර්මානුකූලව එයා සිතන නිසා ක්‍රමානුකූලව එයා ඒක ඉවත් කරගන්නව. අපිට කේන්තියක්‌ ඇතිවුණත් ඇති වෙන්නෙ පසුගිය ආත්මෙක අපි කාවහරි කේන්ති ගස්‌සපු නිසාමයි. ඒ හේතුඵල ධර්මය. සමහරුන්ගේ ජීවිතයේ ගැටීම් ගොඩක්‌ වැඩියි. ඔබ මේ මොහොතෙ කඳුළක්‌ හෙළනව නම් සංසාරයෙ කාට හරි කඳුළක්‌ දීල තියෙනව. මේ මොහොතෙ හිනාවෙනව නම් සංසාරයෙ ඔබ කාව හරි සතුටුකරල තියෙනව. මේක තමයි ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව කියන්නෙ. මේ අචල ශ්‍රද්ධාවට ආවට පස්‌සෙ එයා ගැටෙන්නෙ නෑ. එයා සංස්‌කාරයට අනුව ජීවිතය දකිනව. ධර්මානුකූලව හිතද්දි කවදාවත් අපි ගැටීමකට යන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණාව සකස්‌ වෙන්නේ කොහොමද? ධර්මානුකූලව ලෝකය ගැන සිතනව. බුදුරජාණන් වහන්සේ දකිනව මේ ලෝකෙ හැම සතෙක්‌ම මට අම්ම වෙලා තාත්ත වෙලා තියෙනව කියල. බුදුරජාණන් වහන්සේ දකිනව මේ ලෝකයේ හැම දෙවියෙක්‌ම, මනුෂ්‍යයෙක්‌ම, තිරිසන් සතෙක්‌ම, ප්‍රේතයෙක්‌ම මට සංසාරයෙ ඥතියෙක්‌ වෙලා තියෙනව කියල. ඒක දකින්නෙ ධර්මය තුළ. ධර්මය තුළ දකිද්දි කොතැනකවත් ගැටෙන්නෙ නෑ. ඔබට යම් තරහකාරයෙක්‌ ඉන්නව නම් ඒ කෙනා සංසාරයෙ මගෙ අම්මා හෝ තාත්ත හෝ වෙලා හිටිය කියල හිතන්න. එතකොට තරහ එන්නෙ නෑ. මේ විදියට ධර්මය තුළින් දකිද්දි පේනවා මේ මුළු ලෝකයම මගේ ඥතීන් කියල. එතැනින් තමයි මහා කරුණාව ආරම්භ වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ රාහුල දිහා බලපු ඇහෙන්ම සුනීත දිහා බලන්නෙත් අන්න ඒ දැක්‌ම නිසා.