අඩ්ඩකාසිය, දිව්‍යංගනාවක් මෙන් විශිෂ්ට රූප සම්පත්තියක් ලැබිමට හා ගණිකාවක් වීමට හේතුව.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මැය කුලගෙයක උපත ලබා තරුණ වියට එළැඹි කල්හි උතුම් පැවිද්ද ලැබීය. ප්‍රාතිමෝක්ෂ සීලයෙහි සංවරභාවයට පැමිණියා ය. පංචේන්ද්‍රියන් පිනවීමෙන් ද දුරුවූහ. භෝජනයෙහි පමණ දැන වළඳා නිදි වරා භික්ෂුණීත්වය ආරක්ෂා කළාය. මනාව බඹසර ආරක්ෂා කළාය.
එක් දිනක් පිළිසිඹියාපත් රහත් තෙරණියකට ද්වේශ සිතින් “ගණිකාව” යැයි බැන වැදීය. ඒ පවින් නිරයෙහි ඉපිද අනන්ත අප්‍රමාණ දුක් වින්දාය.

නිරයෙහි උපත ලබා අනතුරුව කර්ම විපාක ශේෂව පැවත මිනිස් ලොව ගණිකා පවුලක උපත ලද්දීය.
අන්තිම ආත්ම භවයේදී අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි කසීරට මහා සම්පත් ඇති සිටුකුලයක උපත ලැබීය.

කාශ්‍යප බුදුසසුනේ බඹසර රැකීමේ පිනෙන් දෙවියන් අතර සිටින දිව්‍යාංගනාවක මෙන් විශිෂ්ඨ රූප සම්පත්තියක් ලැබුවා ය.
ඇයගේ මේ විශිෂ්ඨ රූප සෝභාව නිසාම ඇය සියළු රජ දරුවන්ට පරිභෝගයට ගැනීමට ගණිකාවක් කොට තබන ලදි.
එකල්හි කාසි ජනපදයෙන් රජුට ලැබුණු ආදායම දහසක් පමණ විය. මැයට පුරුෂයන්ගෙන් දිනකට ඒ හා සමාන ආදායමක් ලැබුණි. මෙසේ කාසිවලින් අය නිමාව කළ බැවින් “කාසි” නම් විය. මිනිසුන්ට දහසක් දීමට නොහැකි වූ කළ අඩක් ගෙවා දවසෙන් භාගයක් ඇය සමඟ ගත කළහ. එහෙයින් “අඩ්ඪකාසි” නම් විය.

ඇය මෙසේ සමාජයෙන් අධික ලෙස නින්දා විදිමින් බෙහෙවින් ම පරාදීන වූ ජීවිත වෘත්තියක නියළීමට හේතුව පෙර ආත්ම භවයක රහත් භික්ෂුණියකට ගණිකාව යැයි බැන ගර්හා කිරීමේ ප්‍රතිඵලය යි.

පෙර කරන ලද පින් බලයෙන් සියලු දෙයෙහි කළකිරි අප බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පෙර වාසනා සම්පත්තිය නිසා පැවිදි විය. පසුව උත්තරීතර වූ උපසම්පදාව ලබා විදර්ශනා වඩමින් ලොවෙහි යථා ස්වභාවය දැක නොබෝ කලකින්ම උතුම් වූ අරහත්ඵලයට පත්විය.

සියලු සංසාරගත කර්මයන් නිමා කරන ලදී. පින් පව් දෙකම එසේම නිමා කරන ලදී. ඝෝරතර සංසාර සාගරයෙන් එතෙර විය.
සෘද්ධිවිධ ඥානයෙන් චෙතොපරිය ඥානයෙන් සමන්නාගත වූ සේක.
සියලු කෙලෙස් දැවීම්වලින් මිදි බුද්ධ අවවාදය ඉටු කළ අඩ්ඪකාසි මහරහත් තෙරණින් වහන්සේ නිරාමිස සිතින් නැඟෙන්නාවූ පී‍්‍රතිය ප්‍රකාශ කළේ ලෝ සතට මහත් වූ අපූර්වත්වයක් ගෙන දෙමිනි.
සුවිශාල ධන උපර්ජනයක් යෙදී රූපයෙන්ම දිවිගෙවූ ඇය ඒ රූපයෙහිම අසාර බව දුටුවේ, සාරවත් නොවන බව දුටුවේ, කිසිදු වටිනාකමක් නොමැති බව දුටුවේ ලොව්තුරා බුදුදහමින් සැනසුනු නිසාවෙනි.

(අඩ්ඪකාසී අපදානය ඇසුරින්)

තෙරුවන් සරණයි !!!

(උපුටාගැනීම – maha_rahathun instagram පිටුවෙන්)