බුදු පිලිම නිර්මාණය හා පූජා කිරීමේ ආනිසංස.

දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

යේ ජීව ලොකේ පටිමා කරෙයිය
කිමානි සංඝං ලහෙතෙ මුනින්ද
පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං
ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි

(යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?)
එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

“මුනින්ද රාජේන සුදෙසියෙත
ධම්මේන ලෙවෙයිය
පණිතං දෙසං කිමානි සංසං ප්‍රතිමාලංච
දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං”

යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්‍රණීත ධර්මය ලියන්නේ ද, ප්‍රතිමා නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද? යනුවෙනි.

එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

භයානකා පාසික සතත සංතුලෙ
දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ
මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ
හරායරේ ලේඛක බිම්බ කාරනා

“භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්‍රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස – කෝසල බිම්බ වර්ණනාව)

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,
මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීම පූජා කිරීම විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.