හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත් කොට දමන්න.

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල අකුසලයක්‌ මතකයට පැමිණීමේ ප්‍රවණතාව වැඩි නිසා. භික්‍ෂුව එම වයෝවෘද්ධ දෙපළට ප්‍රකාශ කළේ, ඔබ දෙපළ වර්තමානයේ හොඳින් තෙරුවන් සරණ පිහිටා ශිල්පද ආරක්‍ෂාකරගෙන ජීවත්වන නිසා, එම ශක්‌තිය උපයෝගී කරගෙන අතීත අකුසලය යටපත්කොට දමන ලෙසයි.

එහෙත් එම යුවල ප්‍රකාශ කරනවා, කොතෙක්‌ අමතක කරන්න උත්සාහ කළත් එය මතකයට එනවා කියලා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එසේනම් ඔබලා එම අකුසලය යටපත් කිරීම සඳහා ඊට වඩා ශක්‌තිමත් කුසලයක්‌ සිදුකරගන්නා ලෙසයි. ඔබ දෙදෙනා ළමා රෝහලට ගොස්‌ එහි නේවාසිකව ප්‍රතිකාරගන්නා මරණාසන්න තත්ත්වයේ දරුවන් කිහිපදෙනෙක්‌ වරින් වර තෝරාගෙන, එම දරුවන් මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බෙහෙත්, ප්‍රතිකාර, සියලු වියහියදම් දරන්න කියලා. ඔබේ උත්සාහයෙන් එම දරුවන් මරණයෙන් බේරාගත්තාට පසුව, තමන් මරණයට පත්වීමට ගිය දරුවෙක්‌ බේරාගත්තාය කියලා ඔබ තුළ ඇතිවන ශක්‌තිමත් කුසල් සිත ප්‍රයෝජනයට ගෙන, දරුවෙක්‌ ගබ්සා කළාය කියලා ඔබේ මතකයට නැගෙන අතීතයේ සිදුවූ කර්මය යටපත් කර අමතක කර දමන්නය කියලා.

චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එවැනි මරණාසන්න දරුවන් මරණයෙන් බේරාගෙන ඔබ අදාළ පිංකම කළාට පස්‌සෙත්, ඔබලා අතින් සිදුවූ එම අකුසලය නැවත, නැවත මතකයට ගන්නවා නම් ඒ ඔබේ අදක්‍ෂභාවයයි. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ.

සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න.