සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා තිබුණේ නැහැ. මෙවැනි සංසිදුණු කාලපරිච්ජේදයක එදා ජීවත් වුන ‘අර්ථ’ කියන තෙරුවන් සරණ ගිය තාපසයා, තමන්ගේ දහස් ගණනක් ශිෂ්‍යයින්ට ජිවිතය විග‍්‍රහකලේ, තණ අග රැඳුන පිණි කැටයක් වගේය කියලා. ජලයේ මතුවුන දිය බුබුලක් වගේය කියලා. ජලයේ ඇඳි රේඛාවක් වගේය කියලා. මරණයට ගෙනයන ගවයෙක් වගේය කියලා, ජිවිතය කියන්නේ එපමණ වේගයකින් මරණය කරා ගමන් කරන දෙයක් වශයෙනුයි අර්ථ තාපසය, තම ශිෂ්‍යයින්ට ඉගැන්වූයේ, ඉහත ජිවිතයේ සැබෑම අර්ථය වර්තමානයේ සියගණනාවක් රෝගාබාධවලින් පෙලෙන තමා ඉදිරියේ සිටින රෝගියා තුලින් මතුකොට ගන්න වෛද්‍ය ක්ෂේත‍්‍රයේ පිංවතුන් දක්ෂවෙන්න ඕනේ. මේ දක්ෂභාවයයි ඔබේ සුවපත් භාවය උදෙසා ඔබ කරගන්නා වටිනාම ප‍්‍රතිකාරය වෙන්නේ.

රෝගී පුද්ගලයා තුලිනුත් නිරෝගි පුද්ගලයා තුලිනුත් පිංවත් ඔබ දක්ෂනම් කුසල්, අකුසල් මූලයන්ගේ යථා ස්වභාවය මතුකොටගන්න, ඒ මතුකොට ගැනීම තුලම පිංවත් ඔබ සම්මා දිට්ඨියට පත්වීමට අවශ්‍ය කාරණා ජිවිතයට එකතුකොට ගන්නවා. ඉහත කාරණය නිසාමයි රෝගියා දේවදුතයෙක්ය කියන අර්ථය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මාර්ගයේ ගමන් කරන පිංවතා තුවාල වලට බෙහෙත් දැමීමට දැනගත යුතුය කියලා. මෙතනදී තුවාලය කියන්නේ ආයතන හයයි. මේ තුවාල ඇති කර ගන්නේ අවිද්‍යාව කියන විෂබීජයෙන්. ඇසෙන් රූප දැක කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතමින්, අකුසල් අරමුණු ඇතිකර ගැනීමෙන් නිරතුරුවම අපි තුවාල වැඩිකර ගන්නවා. සත්වයා ඵස්සය කියන තුවාලය නිරතුරුව වේදනා නැමැති කෝටුවෙන් පැහැරීමට ලක්කර ගන්නවා. අපි අනුන්ගේ තුවාල සනීප කලත්, ඇස නිසා කන, නාසය නිසා භවයට ඔඩුදුවන තුවාල අපි ඇති කරගන්නවා නම්, එය අපේ භවගමනට රිදුම් දෙන තුවාලයක් වෙනවා.

ඉහත සුත‍්‍රයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දක්ෂ නිවන් මාර්ගයේ ගමන් කරන්නා, සුදුසු හොඳ තණ බිම් දැන ගතයුතුය කියලා. මෙතනදි හොඳ තණ බිම් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ධර්මධර විනයධර මහා සංඝරත්නයයි. කල්‍යාණ මිත‍්‍ර ඇසුරයි. ඉහත හොඳ තණ බිම් ඇසුරු කිරිම තුළින්මයි, භවයට ඔඩුදුවන රිදුම් දෙන තුවාල සනීප කොට ගැනීමට හැකියාව තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මල්වලින් හමන සුවඳින් අග‍්‍රම සුවඳ, දෑසමන් මල් සුවඳයි කියලා, මුල්වලින් හමන සුවඳින් අග‍්‍රම සුවඳ, කළු අගිල් මුල් සුවඳයි කියලා, අරටුවෙන් හමන සුවඳ අතරින් අග‍්‍රම සුවඳ, රත් හඳුන් අරටුවේ සුවඳයි කියලා. ලෝකයේ ඇති අවවාදයන් අතරින් අග‍්‍රම අවවාදය වන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි කියලා, මොකක්ද අපිට බුදුරජාණන් වහන්සේ කරන උතුම්ම අවවාදය. ලෝකය යනු දැනුමෙන් සුවපත් කල හැකි දෙයක් නොව, ප‍්‍රඥාවෙන්ම අවබෝධකල යුතු දෙයක් බවයි.

පිංවත් ඔබ ඉදිරියේ සිටින රෝගියා තුළින් ඔබ ලබන දැනුම විදර්ශනා නුවණින් විමසුමට ලක් කිරිමේදී, අවබෝධය සඳහා අවශ්‍ය ප‍්‍රඥාව ඔබ තුළින් ඔබට සකස්කොට ගතහැකිවනු ඇත. රෝගී භාවය ගැන කතාකරන විට නිරෝගි භාවය ගැන සිංහනාද කරපු බක්කුල මහරහතන් වහන්සේ මතකයට නැගෙනවා. උන්වහන්සේ අවුරුදු 160 ක් දීර්ඝායුෂ ලබපු උත්තමයෙක්. උන්වහන්සේ පිරිනිවන් පෑමට පෙරාතුව සිංහනාද නාද කරනවා, මාගේ පැවිදි ජිවිතය වසර අසූවක් වෙනවා, මෙතෙක් කලකට එළදෙනකගේ තනපුඩුවකින් කිරි ස්වල්පයක් දොවනා තරමේ කාලයක්වත් අසනීපයක් හැදුන බවක් දන්නේ නැහැ කියලා. මෙතෙක් කලකට බෙහෙතක් වශයෙන් අරළු කැබැල්ලක් පාවිච්චි කලබවත් දන්නේ නැහැ කියලා. අතීත කුසල් සංස්කාර හේතුවෙන්ම බක්කුල මහරහතන් වහන්සේ අත්විදි නිරෝගිභාවය, සංස්කාරයන්ගේ ස්වභාවය තේරුම් ගන්න අපට උපකාරි වෙනවා. එසේ නම් සැබෑ සුවපත්භාවය, නිරෝගීභාවය, බෙහෙත් කරලක් තුල නොවේ, කුසල් සංස්කාරයන් තුලමයි සැඟවී තිබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනුෂ්‍යයා කාමයේ ආශ්වාදයන්ට යොමු වීම නිසා දීර්ඝ වූ ආදීනවයන් ලබනවා කියලා. කාමයේ ආශ්වාදය කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලැබෙන සැපය, එම කාමයේ ආශ්වාදයේ එක ආදීනවයක් තමයි ඔබ තුල ඇති කායික, මානසික, රෝගී තත්ත්වයන්. දියවැඞ්යාව වේවා, කොලෙස්ටරෝල් අධිකවීම වේවා, වෙනත් රෝගී තත්ත්වයන් වේවා මනුෂ්‍යයා ඉන්ද්‍රියන් පිනවීමට යාමේ අතුරුඵලයන්මයි. මනුෂ්‍යයා තුල අකුසල් වැඩිවෙන කොට එම අකුසල් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් මනුෂ්‍යයා තුලින්මයි සකස් වෙන්නේ. මනුෂ්‍ය සිතුවිලි වලම ප‍්‍රථිඵලයක් වශයෙන් තාක්ෂණය ඉදිරියට එන්නේ, මාරයාට අයත් අකුසලයේ ලෝකය තව තවත් ශක්තිමත් කොට දෙන්න. තාක්ෂණය විසින්ම අත දිගු කොට පෙන්වන නවීන ආහාර රටාවන්ට පිංවත් ඔබ යොමුවෙන කොට ඒ හේතුවෙන්ම ඔබ තුළ රෝගාබාධයන් ඇති වෙනවා. තාක්ෂණය විසින්මයි එම රෝගාබාධා සුවකිරිමට අවශ්‍ය ඖෂධයන් නිපදවා දෙන්නේ. මෙතනදී හේතුවත් ඵලයත් දෙකම ඔබට අලෙවි කරන්නේ මාරයා විසිනි.

බුදුරජාණන් වහන්සේ මාරයා වශයෙන් මෙතනදි දේශනා කරන්නේ තෘෂ්ණාවෙන් බැදුණු මනුෂ්‍යය සිතුවිලියි. මාරයාගේ මේ අසාධාරණ වෙලඳාම මෙතනින් නවතින්නේ නැහැ. තවත් හේතුඵල ධර්මයන් සකස් කොට දෙමින් ඉදිරියට යනවා. කය පිනවීමට යාම නිසා රෝගාබාධයන්ට ගොදුරු වෙන කොට එම රෝගාබාධයන්ට ගන්නා ඖෂධ හේතුවෙන්ම මනුෂ්‍යයා අතුරු ආබාධයන්ට යොමු වෙනවා. දැන් මුළු සමාජයම රෝගීන්, සමාජයම රෝගීන් වෙනකොට වෛද්‍ය ක්ෂේත‍්‍රය උදෙසා මුදල් ආයෝජන ගලාගෙන එනවා. එම සම්පත් ගලා ඒම මනුෂ්‍යයා තව තවත් තෘෂ්ණාව දෙසටමයි යොමුකරන්නේ. තෘෂ්ණාව වැඩිවෙන කොට ලාභයමයි පරමාර්ථය වෙන්නේ. රෝගයක් සුව කර ගැනීමට වැයවන මුදල එම රෝගියාටත්, රෝගියාගේ භාරකරුවන්ටත් කායික රෝගාබාධායන් ඉක්මවාගිය මනසින් සිදුවන බලවත්ම අකුසලක් වන ද්වේශය කියන කාරණය ඇතිකොට දෙනවා. අවසානයේ රෝගියාත් රෝග සුවකිරිමත් කියන අංශ දෙකම මාරයා පටලවන නූල් බෝලයේ තවතවත් පැටවෙනවා. පැටලෙන ප‍්‍රමාණයට අස්වැන්න වැඩියි. මෙතනදී අස්වැන්න හැටියට ලැබෙන්නේ අකුසලයයි. රෝගියාත් රෝගයට ඖෂධයත්, අතුරු ආබාධයන් තුලින්, පිරියන රෝහල් පද්ධතිය, මනුෂ්‍ය සිතක සකස් වෙන තෘෂ්ණාව නිසාම ඇති වූවාක් බව මනසින් දකිමින් නින්දට යන්න. එම රාත‍්‍රිය ඔබට යහපත් රාත‍්‍රියක් වේවි. ආශ්වාදයට නොබැදෙන ආදීනවය තුනීකරගන්නා, සිහිනුවණින් පමණ දැන ආහාර ගන්නා හෙට දවසක ආරම්භයක් වේවි.

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

සියලූම ලිපි : www.maharahathunwadimagaosse.org