ප්‍රශ්නය :
ගෞරවණීය ස්වාමීන් වහන්ස, එදා අලුත් අවුරුදු දිනයේ දී කිරිවෙහෙරෙන් කිරි පැහැති දියරයක් ගලා යනවා එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා. තවත් එවැනි ම ආශ්චර්යවත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමීන් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමීන් වහන්ස, අපි කොහොම ද පැහැදිලි කරන්නේ…? එවැන්නක් විය නොහැකි ද ස්වාමීන් වහන්ස…?
පිළිතුරු :
නෑ, මෙහෙමයි. ඒවා සිදුවෙන්නේ හේතුඵල ධර්මයන් මත. අපි ඊට ඉස්සෙල්ලා ධාතූන් වහන්සේලා ගැන කතා කරමුකෝ. දැන් සමාජය තුළ මතයක් තියෙනවා, ධාතූන් වහන්සේලා එක තැනක ඉඳගෙන තව තැනකට වඩිනවා කියලා. දැන් සමහරු කියනවා, “මගේ ධාතු කරඬුවේ හිටිය ධාතූන් වහන්සේලා අතුරුදහන් වෙලා” කියලා. සමහරු කියනවා “මගේ ධාතු කරඬුන් වහන්සේ එක ධාතූන් වහන්සේයි හිටියේ. දැන් තුන් නමක් ඉන්නවා” කියලා. ධාතූන් වහන්සේලා දෙනමක් වැඩම කරලා තියෙනවා. ඒ නිසා මේ ධාතූන් වහන්සේලා තැනින් තැනට වඩිනවා කියලා පින්වතුන්ලාගේ මතයක් තියෙනවා.
නමුත්, ධාතූන් වහන්සේලාට කවදාක්වත් තැනින් තැනට වැඩම කරන්න බැහැ. ධාතූන් වහන්සේ නමක් කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපයක් පමණයි. තේරුණාද..? ඒ ධාතූන් වහන්සේ තුළ විඤ්ඤාණයක් බැසගෙන නැහැ. විඤ්ඤාණයක් බැසගෙන නැති නිසා පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ; නාම ධර්මයන් සකස් වීමක් නැහැ. එතන රූපයක් පමණයි තියෙන්නේ. එතකොට, රූපයක් පමණක් තියෙනවා නම් කවදාක්වත් ඒ රූපයට ඍද්ධියක් සකස් වෙන්නේ නැහැ. එයාට එක තැනක ඉඳලා තව තැනකට වඩින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ධාතූන් වහන්සේලා වඩිනවා කියන කාරණය ධර්මයට එකඟ නැහැ. නමුත් ධාතූන් වහන්සේලාට මේ දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ, ඒ ධාතූන් වහන්සේලාගේ වැඩීමක් නෙවෙයි. මේවා මේ දෙවියන් තමයි එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ. තේරුණාද..?
මොකද, දැන් මේ ලෝකයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කොහේ හරි වැඩ ඉන්නවා නම්, නිවසක හෝ පන්සලක මේ මොහොතේ, සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ගිහි පින්වතුන්ලා, දසදහස් ගණන් දෙවිවරු වෙලා දිව්‍ය තලවල ඉන්නවා. මුගලන් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍ය තලවල සෝවාන්, සකෘදාගාමී, නැත්නම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා. එතකොට මේ දෙවිවරුන්ට දිවැස් තියෙනවා. ඒ දෙවියා දන්නවා, තමාගේ ගුරුවරයාගේ ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ කොතැනද කියලා.
මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ. මෙතන සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහ මූලිකයා ඒ ධාතූන් වහන්සේලා උදෙසා කිසි ම වත්පිළිවෙතක් කරන්නේ නැත්නම්, අර උඩ ඉන්න දෙවියෝ දිවැසින් දකිනවා. දිව්‍ය ශ්‍රෝත තියෙනවා ඒගොල්ලන්ට. ඒ දිව්‍ය ශ්‍රෝතවලින් දකින දෙවිවරු මේ ධාතූන් වහන්සේ ගෙනැල්ලා සුදුසු තැනක තියනවා. ඒකයි මේ ධාතූන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ. එහෙම නැතුව ධාතූන් වහන්සේලාට ඍද්ධියක් නැහැ. ධාතූන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි. නාම ධර්මයන් සකස්වීමක් නැහැ. මොකද, ධාතූන් වහන්සේ තුළ විඤ්ඤාණයක් බැසගෙන නැහැ. ඒ නිසා ධාතූන් වහන්සේ කෙනෙක් කියන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒ සතර මහා ධාතුවට කවදාක්වත් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තියක් නැහැ. එහෙනම් මෙතන සකස් වෙන්නේ, මේ දෙවියන් තමයි මේ සිද්ධීන් සිද්ධ කරන්නේ.
එතකොට ඒ විදියට බලද්දි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා. එයා මුළු ප්‍රදේශය ම කහපාටින් ආලෝකවත් කරගෙන ආවේ කියනවා. ඒ දෙවියා ම හෙට දවසෙත් එනවා. එදාට මුළු ප්‍රදේශය ම නිල්පාටින් ආලෝකවත් කරගෙන එන්නේ කියනවා. ඒ දෙවියන් ඊට පහුවදාත් එනවා. එදාට එයා රතුපාටින් ප්‍රදේශය ම ආලෝකවත් කරගෙන එන්නේ කියනවා. ඒ වගේ, මේ ආලෝකවත් දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. එක දවසක් අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රි 11.00ට විතර තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා. පැය 3 ක් 4 ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ, ඒ ස්වාමීන් වහන්සේ අහස දෙස බලද්දි මුළු අහස ම එක එක පැහැයන්ගෙන්… මම හිතන්නේ ලක්ෂ ගාණක් පැහැයන්. නිල්පාට, කහපාට, දම්පාට, රතුපාට…. හරියට වෙසක් තොරන් අහසේ පායලා වගේ. ඒ සා ආලෝකවත් දෙවිවරු පින්වතුනි. දසදහස් ගණන් දෙවිවරු. එය අපිට මෙච්චරයි කියලා කියන්න බැහැ.
එතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ, එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය, කිරිවෙහෙර මහා සෑය වගේ තැන්වලදී ශක්තිමත් පින්කම් කරන කොට සමහර පින්වතුන්ලා කියනවා, “අන්න බුදුරැස් දැක්කා. අන්න බුදුරැස් දැක්කා” කියලා. බුදුරැස් නැවත අපිට ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. ඒ බුදුරැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක. තේරුණාද..? අර පින්කමට සම්බන්ධ වෙච්ච, අර පින්කම දැකලා සාධුකාර දුන්න, අර පින්කම දිව්‍ය සෝතවලින් අහන් හිටපු දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාසය තුළ සැරිසරන කොට අපිට බුදුරැස් හැටියට පේනවා. නැතුව බුදුරැස් නෙවෙයි ඒ. බුදුරැස් ආයෙමත් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ බුදුරැස් ලෝකයේ තියෙනවා කියනවා නම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයට එකඟ නැහැ.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව සූත්‍රයකින් දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකයේ කිසි ම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මනුස්සයෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා. සූත්‍රයකින් දේශනා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකයේ කොහෙවත් සැඟවිලා තියෙන්න බැහැ. එහෙනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ආලෝකවත් ස්වභාවයෙන් දසදහස් ගණනක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ළංවෙලා දකිද්දි අපි ඒවා දකින්නේ බුදුරැස් විදිහට.
ඒ වගේ, කිරිවෙහෙර තුළ ඔවැනි දෙයක් සිද්ධ වුණා නම්, මම නම් දැක්කේ නැහැ. ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. ඒ නිසා අපි කිරිවෙහෙර දිහා දකින්නත් ඕන ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට ම යි. ඒ වගේ ම කිරිවෙහෙරට අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා, මහසෙන් දෙවියෝ කියලා. ඒ මහසෙන් දෙවියෝ ශ්‍රද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියො අරමුණු වෙලා තියෙනවා. ඒ මහසෙන් දෙවියො කිරි ම කිරි පාට… කිරිවෙහෙර වහන්සේ අලුතෙන් තීන්ත ආලේප කරපු වෙලාවට බැබළෙන්නා වූ කිරි ම කිරි පාට වර්ණයක් තියෙනවානේ. ඒ පාට වර්ණයකින් යුක්ත අර උඩරට මනමාලයෝ අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටය වගේ එක ඇඳපු, කිරි ම කිරි පාට, ශ්‍රද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිගෘහිතවයි ඉන්නේ.
එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. ඒ අය පින් ගන්නවා. පින් දැකලා සතුටු වෙනවා. අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක දෙවියන් සිය ගණන්, දහස් ගණන් ඒ කොත ආශ්‍රිතව වැඩ ඉන්න පුළුවන්. තේරුණාද..? ඒ දෙවිවරු, කිරි පාට ආලෝකවත් දෙවිවරු සිය ගණන්, දහස් ගණන් ඒ කොත අසල වැඩ සිටින කොට අපිට ඒ ආලෝකය වැගිරෙන කිරක් වගේ තමයි පෙනෙන්නේ. තේරුණාද..? එහෙම නැතුව මම දන්න ධර්මය තුළ…. මොකද, අපි අන්තයන්ට බර වෙලා නෙවෙයි ධර්මය දකින්න ඕන. අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරි වැගිරෙනවාය කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ. මම ඒ දේ දකින්නේ දෙවිවරු සිය ගාණක් එකතු වෙච්ච වෙලාවක දෙවියන්ගේ ප්‍රභාශ්වර කිරි ආලෝකය, කිරි දියරයක් හැටියට පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියන්ට පුළුවන් උතුරන කිරි දෝතින් අරගෙන වගුරුවන්න. එහෙම වගුරුවන්න පුළුවන්.
දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කැලේ වැඩ ඉන්නකොට, ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේට ආහාර පිළිබඳ හුඟක් හිඟ පාඩුවක් තිබිලා තියෙනවා. නමුත් කොහෙවත් ඒ ගමේ අයට ස්වාමීන් වහන්සේලාට මේ පැණිරසක්, අතුරුපසක්, පලතුරක් දීලා පුරුද්දක් නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත්, අපිට විනයක් තියෙනවා, අපිට කෙනෙක්ගෙන් කටින් යමක් ඉල්ලන්න බැහැ. නමුත් ඉල්ලන්න බැරිවුණත්, යමක් ගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සති දෙකක් විතර, දීර්ඝව ඒ දානෙ වළඳමින් ඉන්න කොට එක හවසක මේ ස්වාමීන් වහන්සේට දැඩි ක්ලාන්තයක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා, මේ ක්ලාන්තය ආවේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩුවෙලා කියලා. නමුත් ඒ ගමේ කිසි ම කෙනෙක් කවදාක්වත් සීනි පූජා කරලා නැහැ.
නමුත් මේ කුටියේ දැන් රෑ හත, අට වෙනකොට ස්වාමීන් වහන්සේට දැන් හොඳට ම ක්ලාන්තෙයි. එයා හොඳට ම දන්නවා දැන් සීනි නැහැ කියලා. මේ කුටියේ තිබිලා තියෙනවා පරණ සීනි බෝතලයක්. ඒ වෙලාවේ ඒ සීනි බෝතලේ ඇලිච්ච සීනි තිබිලා තියෙනවා. එයා ඒ සීනි බෝතලේට වතුර දාලා ඒක කලවම් කරලා ඒක වළඳලා තියෙනවා. නමුත් ඒත් ඒක දැනිලා නැහැ. තවත් උන්වහන්සේට ක්ලාන්තේ වැඩිවෙන කොට උන්වහන්සේ දෙවෙනි පාරත්, “අනේ..! අරක තවත් පොඩ්ඩක් හරි සීනි ඇති”යි කියලා ඒකත් දාලා වළඳලා තියෙනවා. දැන් ඒත් ස්වාමීන් වහන්සේට බැහැ. දැන් රෑ 10, 11 වෙනකොට උන්වහන්සේගේ දැන් සම්පූර්ණයෙන් ම ඔළුව උන්වහන්සේගේ පාලනයෙන් බැහැර වෙලා. සීනි අඩු වුණාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. උන්වහන්සේ දැන් හොඳට ම දන්නවා, එළිවෙන කොට උන්වහන්සේ අපවත් වෙයි කියලා. ඉතින් අපවත් වුණොත් මිනිස්සු හොයාගෙන එයි, හෙට උදේට පිණ්ඩපාතේ වැඩියෙ නැත්තේ ඇයි කියලා. උන්වහන්සේ ඉස්සෙල්ලා ම අර දොරේ තියෙන ලොක් එක අයින් කරලා තියනවා. අයින් කරලා උන්වහන්සේ කොට්ටෙට හිස තියලා, උන්වහන්සේ “සිතත්, කයත් දෙක මගේ නෙවෙයි” කියලා අතහැරලා තියනවා.
දැන් උන්වහන්සේට මේ දැනෙන්නා වූ වේදනාව මට අයිති දෙයක් නෙවෙයි කියලා එයා පංච උපාදානස්කන්ධය අතහැරලා ඇස් දෙක පියාගෙන තියෙනවා. එතකොට එයාට එහෙම ම නින්ද ගිහිල්ලා තියෙනවා. නින්ද ගියාට පස්සේ… ඒක සමාධිමත් නින්දක්. එක පාරට එයාට සමාධියෙන් එයාගේ අත මෙහෙම ඉස්සිලා තියෙනවා. මේක සමාධියෙන් වෙන දෙයක්. මෙහෙම ඉස්සෙද්දි මේ අතට රත්තරන් පාට සීනි අහුරක් හම්බවෙලා තියෙනවා. ඒ රත්තරන් පාට සීනි අහුර ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන් ම තොලගාලා තියෙනවා. එතනින් ඒක ඉවරයි. දැන් උදේ පාන්දර තුනහමාරට විතර ස්වාමීන් වහන්සේ අවදි වෙලා. අවදි වෙද්දි අර ඊයේ රාත්‍රියේ තිබුණ කිසි ම අමාරුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ උදේ හයට නැගිටලා හැතැප්ම දෙකක් පිණ්ඩපාතෙත් වැඩලා පිණ්ඩපාතෙත් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ රෑ මොකක් ද වුණේ සමාධියෙන්..? දෙවියන් දිව්‍ය ඕජාව දුන්නා. ඒ රත්තරන් පාට සීනි කියන්නේ දිව්‍ය ඕජාව. එතකොට ඒ දෙවියන් දිව්‍ය ඕජාව තමයි දුන්නේ. තේරුණාද..? දෙවියන්ගේ ආහාර එහෙම තමයි. දෙවියන්ට යම් පැණි රසක් වළඳන්න හිතනකොට අර වගේ ම ඒක පහළවෙලා ඉවරයි. එතකොට ඒ දිව්‍ය ඕජාව තමයි ඒ රත්තරන් පාට සීනි අහුර හැටියට දෙවියන් දුන්නේ.
මොකද, මෙතන භික්ෂුවක් සිත, කය අතහරින කොට, පංච උපාදානස්කන්ධය අත්හරින කොට, ඒක මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ම අතහැරීමක්. ඒ ශ්‍රේෂ්ඨ ම අතහැරීම අතහැරෙද්දි දිව්‍ය ලෝකවලට ඒක දැනෙනවා. දෙවියෝ බලනවා, මොකක් ද වුණේ කියලා. එතකොට එතනදි තමයි දෙවියන් ඒ දිව්‍ය ඕජාව දෙන්නේ. ඒ වගේ දෙවියන්ට පුළුවන් නම් ඒ ජීවිතයේ අතහැරපු භික්ෂුවක් උදෙසා ඒ රත්තරන් සීනි අහුරක් දිව්‍ය ඕජාව හැටියට දෙන්න, දෙවියන්ට කවදාහරි කිරිවෙහෙරේ කොත ළඟට අර පල්ලෙහා උතුරන කිරිවලින් දෝතක් අරන් පල්ලෙහාට දාන්න බැරිකමක් නැහැ එහෙනම් ඒවා අපි ධර්මානුකූලව ගළප ගන්න ඕන. එහෙම නැත්නම් අපි හිතනවා නම් කිරි වෙහෙර සෑ සමිඳුන්ගෙ ඇතුළෙන් කිරි ගලාගෙන ආවා කියලා ඒවා ධර්මානුකූලව අපි ගළපා ගනිද්දි අවබෝධාත්මක පැත්තට අපිට බාධා සිද්ධ වෙනවා. ඒවා අන්තයකටයි යන්නේ. ඒනිසා මේවා දෙවියන්ගේ ආශ්චර්යයන්…!!!
තෙරුවන් සරණයි ….!!!
උපුටා ගැනීම :- සිරස ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූ ‘‘පන්සිල් මළුව’’ වැඩ සටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප‍්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන හසිත චන්දන වීරසිංහ මහතා විසින් සකස් කළ “පන්සිල් මළුව ධර්ම සාකච්ඡා 01” නම් දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා පිළිගන්වමු…!
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…