ඉන් පසු පෙන්වනවා කුසලඤ‍්ච පජානාති, කුසලමූලඤ‍්ච පජානාති – කුසලයත් දන්නවා, කුසල මූලයත් දන්නවා. කුසලය කියලා කියන්නේ කුමක් ද? කයින් කරන වැරදි තුනකින් වළකිනවා. එනම් සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් කුසල්. යම් කෙනෙක් බොරු කියන්නෙ නැත්නම්, කේලාම් පරුෂ වචන හිස් වචන කියන්නෙ නැත්නම්, වචනයෙන් කරන වැරදි හතරෙන් වළකිනවා නම්, ඒක කුසලයක්. යම් කිසි කෙනෙකුගේ මනසේ අනභිධ්‍යා නැතහොත් අභිධ්‍යා නැති බව, අව්‍යාපාද නැතහොත් ව්‍යාපාද නැති බව, නැතහොත් තරහව නැසීමේ කල්පනාව නැති බව, තිබෙනවා නම් ඒක කුසලයක්. සම්මාදිට්ඨි නැතහොත් නිවැරදි දැකීමක් තිබෙනවා නම් ඒක කුසලයක් කියලා පෙන්වනවා. මෙලෙස මේ කුසල කර්ම දහයට කියනවා දස කුසල කර්ම පථය කියලා. මේ කුසල කර්මය ද දෙකට බෙදෙනවා, චේතනා කර්ම සහ චෛතසික කර්ම කියලා. යම් කෙනෙකුගේ සිතේ අනභිධ්‍යා හෙවත් දැඩි ලෝභය නැති බව යෙදෙනවා නම් ඒක සිතේ යෙදෙන කුසල ස්වභාවයක්. නැසීමේ කල්පනාවක් නැත්නම් එයත් කුසල් ස්වභාවයක්. මෙලෙස යම් කෙනෙකුගේ මානසික මට්ටම සකස් වෙලා තියෙන්නේ කුසලයේ නම් එයින් ඇතිවෙන්නේ කයින් නිවැරදි බවත් වචනයෙන් නිවැරදි බවත්. කයින් වචනයෙන් කරන වැරදි කෙරෙන්නෙ නැහැ. ලෝභය නැති වන විට ලෝභයෙන් කරන වැරදි කෙරෙන්නෙ නැහැ. මෝහය නැති වෙන විට මෝහයෙන් කරන වැරදි කෙරෙන්නෙ නැහැ.
එතකොට කුසලඤ‍්ච පජානාති කියන විට කයින් කරන වැරදි තුන නැති බව, වචනයෙන් කරන වැරදි හතර නැති බව, සිතින් කරන වැරදි තුන නැති බව, කුසල් කියලා එයා දන්නවා. කුසලය ද චේතනා කර්ම, චෛතසික කර්ම, කියලා ධර්මතා දෙකයි. සිතේ කුසල් යෙදීම නිසා කය වචනය දෙක උපකාරයෙන් කුසල් වෙන්නේ කියලා දන්නවා. මෙලොව වේවා, පරලොව වේවා යම් සැපයක් සැනසිල්ලක් හෝ නිදුක් බවක් තියෙනවා නම් එයට හේතුව කුසලය යි. එතකොට සැප සැනසිල්ල කියද්දී අනුක්‍රමයෙන් බෙදිලා නිවනට සාපේක්ෂව ලෝකෙ තුළ සැප සැනසිල්ල යම් මට්ටමක තියෙනවා. නමුත් යථාර්ථ වශයෙන් අජරාමර නිවන ම දකිනවා සැප සැනසිල්ල හැටියට. ඒ අජරාමර සැපයට හේතුව කුසලය හැටියට දකිනවා. කුසලමූලඤ‍්ච පජානාති – මේ නිවනට හේතු වූ, නිවනට මග වූ, සැපයට හේතු වූ, සැපයට මග වූ, කුසලය ඇති කර ගන්නේ කොහොමද කියලා දකිනවා, ඒ කුසල මුල් නිසයි කුසලය ඇතිවෙන්නෙ කියලා. කුසලයට හේතුව දකිනවා කුසල මූලය හැටියට, කුසලය නිසයි ජරා මරණ නැති වන්නේ. එතකොට දුක්ඛ නිරෝධයත්, ඒකට තියෙන මගත් කියන කාරණා දෙක කම්මපථ වාරය තුළ තියෙනවා – චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ වීමට තව ක්‍රමයක්.
කුසල මූලය (කුසලය ඇතිවෙන්න හේතුව) කියලා කියන්නේ කුමක් ද? අලෝභ අද්වේශ අමෝහ කියන ධර්මතා තුන. ඒවා දකින්න බාහිර ධර්මතා ඇසුරෙන් – ඇසට රූපයක් පෙනෙන අවස්ථාවක එම රූපය ප්‍රියයි මනාපයි නම් එම ප්‍රිය වූ මනාප වූ රූපය පිළිබඳ නුවණක් ඇති කර ගන්න පුළුවන් නම් එතකොට ඇතිවෙනවා අලෝභය. එතකොට ඇසට හමු වෙනවා අප්‍රිය අමනාප රූපයක්, එම අප්‍රිය අමනාප බව ඇති කර නො ගෙන ඉන්න පුළුවන් නම් අපට ඇතිවෙනවා අද්වේශය. ඇසට පෙනෙන රූපය උපේක්ෂා සහගතයි, එහි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් නම් අපට ඇතිවෙනවා අමෝහය. මෙලෙස ඇසට සැප දුක් උපේක්ෂා කියන තුන් ප්‍රභේදයෙන් යුත් රූපයක් හමු වන විට ඒ ධර්මතා පිරිසිඳ නො දැකීම නිසා අපට ලෝභ ද්වේශ මෝහ ඇති වුනා. එනිසා අකුසල කර්ම ඇතිවුනා, ඒ නිසා දුකට පත් වුනා. දැන් අපට තියෙන්නේ ඇසට රූපයක් හමු වන අවස්ථාවේ දී ඇසට හමු වන රූපය අරබයා යෝනිසෝමනසිකාරය පවත්වන්නට, සිහි නුවණ පවත්වන්නට. ඇසට පෙනෙන රූපයේ සැප දුක් උපේක්ෂා තුන් අරමුණු එද්දී සැපයේ දී සතුටු වෙන්න යන්නේ නැතිව, දුකේ දී ගැටෙන්න යන්නේ නැතිව, ඇත්ත ඇති සැටියෙන් දැකලා උපේක්ෂා වෙන්න ඕන. නිකම්ම උපේක්ෂා වෙලා මදි. ඇයි එම උපේක්ෂා සහගත බවේ මෝහය තියෙනවා. එනිසා ඇත්ත ඇති සැටියෙන් දැකලා උපේක්ෂා වෙන්න ඕන. එවිට එහි ලෝභ ද්වේශ මෝහ නැහැ.
කනින් ශබ්ද අහලා අහන අරමුණේ නො ඇලී නො ගැටී ඇත්ත ඇති සැටියෙන් දැකලා උපේක්ෂා වෙන්න පුළුවන් නම් ලෝභ ද්වේශ මෝහ නැහැ. මේ විදියට ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳත්, දිවට රසත්, ශරීරයට ස්පර්ශයත්, මනසට ධර්ම ආරම්මණත්, කියලා බාහිර අරමුණු අපට හමු වන විට සිහි නුවණ යොදලා ලෝභ ද්වේශ මෝහ යන ධර්මතා තුන ඉපදෙන ගතිය නවතන්න ඕන. මෙම අකුසල මූලයන් නැවැත්තුවොත්, එනම් අලෝභ අද්වේශ අමෝහ කියන කුසල මූලයන් උපදින විදියට ආයතන හය පරිහරණය කළොත්, ඉබේටම එයාගේ මනස තුළ චෛතසික කර්ම හිටින්නේ නැහැ. එනම් අභිධ්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි ඇතිවෙන්නේ නැහැ. එනිසා කයින් කරන වැරදි නැහැ. එනිසා ඉබේම දුකට යන හේතු ටික නැහැ. ඉබේමයි සැප තියෙන්නෙ. කුසල කර්ම දකින්න ඕන තමන් තුලින් උපදින ධර්මතා හැටියට. අලෝභ අද්වේශ අමෝහ කියන ධර්මතා තුන තියෙන්නෙ විපාක එනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අපට හමු වෙන විට, බාහිර අරමුණු පැත්ත යොමු වී විනිශ්චය නො ගැනීම තුළයි. අලෝභ අද්වේශ අමෝහ ධර්මතා ඇති කර ගැනීමට ඒ විපාක තමාගේ සන්තානයෙන් තමා තුලින් ඉපදෙන බව දත යුතුයි. අනභිධ්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි යන කුසල ධර්මතා ඇති කර ගන්නට නම් අලෝභ අද්වේශ අමෝහ කියන කුසල මූල ඇති කර ගන්න ඕන.
අපට මෙහි දී හමු වෙනවා, දුකයි, දුකට හේතුවයි, දුක නැති බවයි, දුක නැති බවට තියෙන හේතු ටිකයි. ඒ නිසයි අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත් කුසල මූලයත්, දැක්කොත් සම්මාදිට්ඨිය ඇතිවෙනවා කියන්නේ, සෝතාපන්න පුද්ගලයෙක් වුනා කියන්නේ. වෙන මොකුත් නොවේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ වෙනවා. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ වීමයි කම්මපථ වාරය තුළ තියෙන්නෙ. ඇස කන නාසය දිව ශරීරය මනස යන ආයතන හයට අරමුණු හමු වන විට එම අරමුණු අරබයා ලෝභ ද්වේශ මෝහ ඇති වන විදියට කටයුතු කළ විට අකුසල මූලය ඇතිවෙනවා. එනිසා සිත වරදිනවා. ඉන් පසු කය වචන දෙක වරදිනවා. අකුසලය පිරෙනවා. එම අකුසලය නිසා සතර අපායේ දුක් විඳින්නට වෙනවා. දුක් ඇතිවෙනවා. මෙය දුකයි දුක්ඛ සමුදයයි. ඇසට රූපයක් හමුවන විට අලෝභ අද්වේශ අමෝහ කියන කුසල මූල ඇති කර ගන්න පුළුවන් නම් ඒ තුලින් සිතේ අනභිධ්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන කුසල ධර්මතා ඇතිවෙනවා. එනිසා කය වචනයෙන් වැරදි වෙන්නෙ නැහැ. එනිසා අපට අජරාමර නිවන කරා යන්න පුළුවන්. නිදුක් බවක් ලැබෙනවා, නිදුක් බවක් ලැබෙනවා අපට කුසලය නිසා. කුසලය ලැබෙනවා කුසල මූලය නිසා.
මෙන්න මේ කාරණාව අපට ජීවිතයෙන් දැන ගන්න පුළුවන් නම්, මේ කාරණය දැන ගෙන ඇස කන නාසය දිව ශරීරය මනස පරිහරණය කරන්න පුළුවන් නම් ඒකාන්තයෙන් ම එයාට සම්මාදිට්ඨිය තියෙනවා. ඇස කියන කාරණාව පිරිහීම පිණිස හෝ වැඩීම පිණිස පවතින එකක් නොවේ. රූපය කියන කාරණාව පිරිහීම පිණිස හෝ වැඩීම පිණිස පවතින එකක් නොවේ. ඇස හා රූපය නිසා පවතින චක්ඛු විඥානය පිරිහීම පිණිස හෝ වැඩීම පිණිස පවතින එකක් නොවේ. මේ ධර්මතා කුසල සහගත හෝ අකුසල සහගත නොවේ. කෙනෙකුට මේ ධර්මතා අරබයා අකුසල ස්වභාවයක් ඇති කර ගෙන දුකට යන්නත් පුළුවන්, කුසල ස්වභාවයක් ඇති කර ගෙන දුක් නැති තැනට යන්නත් පුළුවන්. ඒ නිසා මේ ආයතන හයට අරමුණු හමු වන අවස්ථාවට අනුවයි තියෙන්නේ ‘තමන් ආයෙත් ජරා මරණ දුකට යනවා ද? අජරාමර නිවනට යනවා ද?’ කියන කාරණාව. අන්න ඒ කාරණාව එයාට පැහැදිලි වෙනවා. එයා දන්නවා ඇසට පෙනෙන රූපයේ ලෝභ ද්වේශ මෝහ ඇතිවුනොත් කුමන ක්‍රමයකට වත් සිතේ දැඩි ලෝභය ද්වේශය මිච්ඡාදිට්ඨිය කියන එක නවතන්න බැහැ කියලා. එවිට කය වචන දෙකේ වැරැද්ද නවත්වන්න බැහැ කියලා එයා දන්නවා. ඇස ඉදිරිපිටට යමක් එන විට දකිනවා නම් ඒකට කැමති වුනොත් දුකට නේද කැමති වන්නේ කියලා – ඒ අරමුණේ දුක නැහැ නමුත් පරියාය පිහිටල තියෙනවා දුක දක්වා ම – ඒ අරමුණට කැමති වුනොත් සිතේ අභිධ්‍යා, දැඩිලෝභය පිහිටනවා. දැඩිලෝභය පිහිටියොත්, කය වචන දෙකේ වැරැද්ද වුනොත්, කර්ම රැස් වෙනවා, ජරා මරණ දුක එනවා මයි කියලා දන්නවා. එතකොට ඇසට පෙනෙන දෙයට ලෝභය නැති වුනොත්, ද්වේශය නැති වුනොත්, මෝහය නැති වුනොත්, මනස තුළ අභිධ්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන තුන නැහැ. එවිට කය වචන දෙකෙන් වන වැරැද්ද පිහිටන්නේ නැහැ. එනිසා දුක ඇති වන්නේ නැහැ කියලාත් දන්නවා.
ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇස වත් රූපය වත් චක්ඛු විඥානය වත් තමන්ට යහපත පිණිස පවතින දෙයක් කියලා දකින්නේ නැහැ. මෙය අයහපත පිණිස පවතින දෙයක් කියලා එයා දන්නවා. මේ ටික පරිහරණය කරන විට තමන් පවත්වන මානසික මට්ටම මතයි පිරිහීම ද දියුණුව ද කියන එක තීරණය වෙන්නේ. ඇසට රූපයක් පෙනෙන විට එය සැප දුක් උපේක්ෂා වෙන්න පුළුවන්, එනිසා එය පිරිසිඳ දකින්න උත්සාහවත් වෙනවා.
මේ ඇස රූපය චක්ඛු විඥානය කියන එකේ ඇලෙන්නෙ නැතිව ගැටෙන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් දැකලා උපේක්ෂා වෙන්නේ කොහොමද? මෙයට උපමාවක් කියන්නම්. අපට යම් කිසි වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තොත් එය අපට පෙනෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්‍ධ පහක උපකාරයෙන්. ප්‍රත්‍ය ටික නැති වෙන විට ඒ ස්කන්‍ධ ටික නැති වෙලා යනවා. එතකොට පෙනෙන දේ පෙර නො තිබීම හට ගෙන ඉතුරු නැතිව නැති වෙනවා. මේ කාරණය අපි ටික ටික හරි භාවිතා කරන්න ඕන. අපි තේ කෝප්පයක් ගත්තොත්, තේ නොවන දේවල් ටිකක් – සීනි, තේ කොල, ඉඟුරු, උණු වතුර ටිකක් – එකට එකතු කරන විට පෙර නො තිබීමයි තේ එකක් හැදෙන්නෙ. කලින් හැදෙන්නෙ ඉස්සෙල්ලා තේ එකක් තිබුනත් නොවේ. හැදීමෙන් පසුව තේ එකක් තියෙනවාත් නොවේ. තේ නොවන දේවල් රාශියක් එකට එකතු කරලා තේ කියන එක හැදුණේ. ඒ නිසා දැන් තේ කියලා අපට ලැබුණේ ධර්මතා රාශියක එකතුවක් පමණයි.
ඒවගේ අපට රූපයක් පෙනෙන විට මේ වර්තමානයේ රූපයක් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්‍ධ පංචකයට එකතු වූ නිසයි අපට යම් වස්තුවක් පෙනෙන්නේ. එතකොට අපට පේනවා කියලා කියන එකට එක ධර්මතාවයක් බලන්න බැහැ. මේ ස්කන්‍ධ පංචකයේ පැවැත්ම තමයි අපට පෙනෙනවා කියන ධර්මතාවය. එතකොට රූපයෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික රූපයෙන් කෙරෙන නිසා, වේදනාවෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික වේදනාවෙන් කෙරෙන නිසා, සංඥාවෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික සංඥාවෙන් කෙරෙන නිසා, සංඛාරයෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික සංඛාරයෙන් කෙරෙන නිසා, විඥානයෙන් කෙරෙන්න ඕන කෘත්‍ය ටික විඥානයෙන් කෙරෙන නිසයි අපට මේ පේන්නේ. පේනවා කියන සිද්ධිය ප්‍රත්‍ය ටිකක් හේතු ටිකක් එක් වීම නිසා ඇතිවෙලා. ඒ ප්‍රත්‍ය නැති වෙන විට ‘පෙනෙන දේ’ නැති වෙනවා. පෙනෙන දේ ‘දැන ගන්න’ විට හැම වෙලාවෙ ම තේරුම් ගන්න එය මානසික ව උපදින ධර්මයක්. ‘පෙනෙන දේ’ සහ ‘දැන ගන්න දේ’ ලෙස දෙකට බෙදා ගෙන තේරුම් ගත්තොත් මේ ලෝභ ද්වේශ මෝහ පවතින්නේ නැහැ. පෙනෙනවා කියන මට්ටම චක්ඛු විඥානය කියන අවස්ථාවයි. දැනගන්නවා කියන මට්ටම මනෝ විඥානය කියන අවස්ථාව.
එතකොට අපි මේ ධර්මතා දෙක දෙකක් හැටියට ගත්තොත් සහ පෙනෙන දේ කියලා දැන ගන්නේ අපේ මනසෙන් කියලා තේරුම් ගත්තොත්, අපි දැන ගන්නේ පෙනෙන දේ නොවේ කියලා නුවණ එනවා. එක ම වස්තුවක් අපි ඉස්සරහ තිබුනත් වෙනස් භාෂා දන්න තුන් දෙනෙක් ඒ වස්තුව දැන ගන්නේ තුන් විදියකට. පෙනෙන්නේ එක ම විදියකට, දැනගන්නේ තම තමන්ගේ භාෂාවෙන්. ඒ ඒ අයගේ මනස හුරු කරපු විදියටයි දැනෙන්නේ. මේකෙන් තේරුම් ගන්න පෙනෙන දේ අනිකක්, දැනගන්න දේ අනිකක්. මේ දෙක දෙකක් හැටියට බෙදලා තේරුම් ගත්තොත් අපි දැනගන්න දේ සහ පෙනෙන දේ ගැන ඇලෙන්නෙ නැතිව ඉන්නවා. අවබෝධය උදව් කර ගෙන පෙනෙන දෙයට බැඳෙන්නෙ නැතිව ඉන්නවා, රැවටෙන්නේ නැතිව ඉන්නවා, ‘පෙනෙන දේ අනිකක්, දැන ගන්න දේ අනිකක්’ කියන කාරණාව අවබෝධ උනොත්. අද අපට පෙනෙන දේ නිසා නොවේ ඇලීම් ගැටීම් ඇතිවෙලා තියෙන්නේ, පෙනෙන දේ අරබයා දැන ගන්න එකේ වැරැද්ද නිසයි. ‘පෙනෙන දේ’ පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් උපන් දෙයක්. එබඳු ප්‍රත්‍යයෙන් උපන් දේ ප්‍රත්‍ය නැති වෙන විටම නැති වෙනවා. ඒ අරබයා අපේ මනස තුලින් උපදින ධර්මතාවයයි ‘දැන ගන්නේ’ කියන නුවණ අපට තියෙන්න ඕන.
මේ විදියට ඇසෙන දේ අරබයාත්, කනට ඇසෙන දේ අනිකක්, දැන ගන්න දේ අනිකක්, නාසයට දැනෙන ගන්ධය අනිකක්, දැන ගන්න දේ අනිකක් ආදී වශයෙන් ආයතනයට පෙනෙන දෙයට දැන ගන්න දේ බැඳෙන්න දෙන්න එපා. උදාහරණයක් විදියට අප ඉදිරියේ පුටුවක් තියෙනවා කියලා හිතමු. ඇස ඉදිරිපිට තියෙන වස්තුව අනිකක්, ‘පුටුව කියලා හිතන දෙය’ අනිකක්. මෙම වස්තුව ඉංග්‍රීසි භාෂාව කතා කරන කෙනෙක් දැක්කොත් කියන්නේ ‘චෙයා’ කියලා. සිංහල කෙනෙක් හිටියොත් එයා දැන ගන්නේ ‘පුටුව’ කියලා. මේ උපමාවෙන් තේරුම් ගන්න පෙනෙන මට්ටම එකක්, දැන ගන්න මට්ටම වෙනත් එකක් කියලා. එහෙම වූවේ ‘දැන ගන්න දේ’, පෙනෙන දෙයට අයිති නැති නිසා. මෙන්න මේ අවස්ථා දෙක අපට නුවණින් දකින්න පුළුවන් වුනොත් ‘පෙනෙන දෙයට’ ඇලෙන්නෙ ගැටෙන්නෙ රැවටෙන්නෙ නැතිව ඉන්න පුළුවන්. ඇසෙන දෙයට ඇලෙන්නේ ගැටෙන්නෙ රැවටෙන්නේ නැතිව ඉන්න පුළුවන්. මෙම ස්පර්ශ ආයතන හය ම ලෝභ ද්වේශ මෝහ කෙලෙස් ඇති නොවන විදියට පරිහරණය කරන්න පුළුවන්, ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්. මේ විදියට යම් කෙනෙක් ඇසට රූපයක් හමු වන විට රූපයක් හමු වෙනවා, ඊට පසුව ඒ රූපය දැන ගන්නවා කියලා දකින්න. එපමණකින් ම එයා ඇසේ බැඳිලා නැහැ ඇලිලා නැහැ රැවටිලා නැහැ. කනට ශබ්දයක් ඇසෙන කොට, ‘ඇසෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව, ඇසෙන ශබ්දය දැන ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව’ කියලා දෙකට බෙදලා දැන ගන්න.
මෙසේ යම් කෙනෙක් ස්පර්ශ ආයතන හය ගැන නුවණින් යෝනිසෝමනසිකාරය ඇති කර ගත්තොත්, ඒ හේතුවෙන් ලෝභ ද්වේශ මෝහ කියන කෙලෙස් රැස් වෙන්නෙ නැහැ. අලෝභ අද්වේශ අමෝහ කියන කුසල් රැස් වෙනවා. මෙම කුසලය තුලින් සංසාර දුක නැති කර ගන්න පුළුවන්. අන්න ඒවගේ ක්‍රමයක් තියෙන නිසයි සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ ‘යම් කෙනෙක් කුසලයත් කුසල මූලයත් දන්නවා නම්, අකුසලයත් අකුසල මූලයත් දන්නවා නම්, මෙය සම්මාදිට්ඨි වෙනවා. ඔහුගේ දැකීම සෘජු බවට පත් වුනා. ධර්මයේ ගුණ ගැන පැහැදීමෙන් යුක්තයි. මොහු සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා කියලා කියන්න පුළුවන්’ කියලා.
මේ සම්මාදිට්ඨි සූත්‍රයේ පළමුවන කම්මපථ වාරය අද මම විස්තර කරා මේ උතුම් දේශනාව සියලු දෙනාට ම නිවන් සුව පිණිස හේතු වේවා කියන අදහස ඇති කර ගන්න ඕන.
සාදු ! සාදු !! සාදු !!!
කම්මපථ වාරය නිමා විය.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!