සංසාරය වනාහී අති දීර්ඝය. ස්කන්ධ-ධාතු-ආයතනයන්හි පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් කිවහොත් සත්වයන්ගේ ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින්, නැවත මැරෙමින් පවත්නා වූ අඛණ්ඩ භව ගමන සංසාරය නම් වේ. සංසාරයේ දීර්ඝත්වය කොතෙක්ද යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥානයටම මිස අනෙකෙකුගේ ඥානයකින් නොදත හැක්කේය. එහි මුලක්-මැදක්-අගක් පනවන්නට නොහැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති’ යනුවෙන් වදාළ සේක.
මෙසේ අනන්ත, අප්‍රමාණ භව කාන්තාරයේ සැරිසරන සත්වයා විසින් අති මහත් දුක්ඛසකන්ධයක් අනුභව කරන ලද්දේය. ජාති-ජරා-ව්‍යාධි-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස-ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්-අප්‍රියයන් හා එක්වීමේ දුක්-කැමැති දෑ නොලැබීමේ දුක්-පංච උපාදානස්කන්ධයන් හි පෑවැත්මේ දුක් යනාදී අනේකාකාර දුක්ඛයන්ට සංසාරයේ සැරිසරන්නා වූ සත්වයන්ට මුහුණ පෑමට සිදුවන්නේය. ඒ දුක් රැස දුරු කරගැනීමට කල හැකි එකම උපාය නිර්වාණය අවබෝධ කරගැනීමය. ඒ දුක් රැස දුරු කරගැනීමට කල හැකි අන් දෙයක් නැත්තේය. එනිසා සංසාරයේ සැරිසරන සත්වයා විසින් ක්ෂණ සම්පත්තියක් උදා වූ මොහොතකදී අන් කාර්යයන් පසෙක තබා හෝ නිර්වාණය අවබෝධ කරගැනීමට වටනේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඇඳිවත ගිනිගත් අයෙක් එගිනි නිවන්නට වෙර දරන්නාක් මෙන්ද, හිස ගිනි ගත්තෙක් එගිනි නිවන්නට වෙර දරන්නාක් මෙන්ද, සංසාරයෙන් එතෙර වීමට බලවත් වූ කැමැත්තකින් යුතුව, බලවත් වූ වීර්යයකින් යුතුව, සිහිය ද නුවණ ද පැවැත්විය යුතු බව වදාරා ඇත්තේය.
නිවන් ලබන මාර්ගය අනෙකක් නොව ආර්ය අෂ්ඨාංගික මාර්ගයම බව ‘ඒසොව මග්ගො නත්තඤ්ඤො දස්සනස්ස විශුද්ධියා’ යන ගය වදාරමින් උන්වහන්සේ අවධාරණය කල සේක. සංසාරයේ සැරිසරන්නා වූ සත්වයා විසින් දුක නැති කර ගැනුමට විවිධාකාර මාර්ගයෝ අනුගමනය කල මුත් ඒ හැම මගකින්ම සංසාරයම දීර්ඝව වැඩුනා මිස වූ යහපතක් ද නැත. යම් හෙයකින් ඒ වඩන ලද ප්‍රතිපදාවකින් වරෙක දිව්‍ය තලයකද උප්පත්තිය ලබන සත්වයා එයින් පිරිහී ගොස් සතර අපායෙහි වැටෙන්නේය. එහි දීර්ඝ කාලයක් වාසය කොට නැවත මනුලොව පැමිණිය හොත් ධ්‍යාන වඩා රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්නේය. එහිද දීර්ඝ කාලයක් වාසය කොට නැවත පුරුදු කාම සුගති භූමින්ටම පැමිණෙන්නේය. නැවත රූපය කෙරෙහි කලකිරී අරූපාවචර ධ්‍යාන උපදවා අරූපාවචර බ්‍රහ්ම තලයක ඉපිද අති දීර්ඝ කාලයක් ක්ෂණ සම්පත්තිය ද අහිමිව වාසය කරන්නේය. මෙසේ භවයේම කරක් ගසමින් අවුත් බොහෝ දුක් අනුභව කරමින් නැවත නැවතත් මිච්ඡා ප්‍රතිපදාවන් අනුගමනය කොට සුගති-දුගති දෙක අතර දෝලනය වෙමින් කාම-රූප-අරූප භවත්‍රයේහිම සංක්‍රමණය වෙමින් කල් ගෙවන්නේය. ඒ සියළු මාර්ගයන් ගතහොත් අපට කාමසුඛල්ලිකානු යෝගයට හා අත්තකිලමථානු යෝගයට සම්පිණ්ඩනය කල හැකිය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට විවර කරනා ලද මාර්ගය වනාහී එකී අන්තයන් දෙකෙන්ම විනිර්මුක්ත වූ යථෝක්ත මාර්ගයන් ඉක්මවන්නා වූ ඒකාන්තයෙන්ම නෛර්යාණික වූ මධ්‍යම පටිපදාව නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වන්නේය. එකී නිර්වාණ මාර්ගය වනාහී විවිධාකාරයෙන් දේශනා කොට ඇත්තේය. සීල-සමාධි-ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූර්ණය කිරීම් වශයෙන්ද, සීල විශුද්ධි-චිත්ත විශුද්ධි-දිට්ඨි විශුද්ධි-කංඛා විතරණ විශුද්ධි-මග්ගාමග්ග ඥාන දස්සන විශුද්ධි-ප්‍රතිපදා ඥාන දස්සන විශුද්ධි-ඥාන දස්සන විශුද්ධි යන සප්ත විශුද්ධි සම්පාදනය කිරීම් වශයෙන්ද,දාන-සීල-නෙක්ඛම්ම-වීරිය-ප්‍රඥා-ඛන්ති-මෙත්ත-සච්ච-අධිට්ඨාන-උපේක්ඛා යන දස පාරමී සම්පූර්ණ කිරීම් වශයෙන්ද,සතිපට්ඨාන-සම්‍යක් ප්‍රධාන-ඍද්ධිපාද-ඉන්ද්‍රීය-බල-බොජ්ජංග-මාර්ගාංග යන සත් තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කිරීම් වශයෙන්ද විවිධ නයක්‍රම අනුව දේශනා කර ඇති ඒ නිර්වාණ මාර්ගය විදහා දක්වන අනේකාකාර දේශනා අතුරින් එක් ක්‍රමයක් වත් කෙනෙකු විසින් උගෙන තිබීම වටනේය.
නිර්වාණය අවබෝධ කල හැකි වන්නේ සෝවාන්-සකෘදාගාමී-අනාගාමී-අරහත් යන අවස්ථා හතරකට පැමිණීමෙනි.එම අවස්ථා හතරේදී චතුරාර්ය සත්‍යය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙන්නේය. ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදෙන ලෝකෝත්තර ඥානයන්ට ‘බෝධි’ නමින් ව්‍යාවහාර වන්නේය.’බෝධිය ලබාදීමට උපකාර වන’ යන අර්ථයෙන් ‘බෝධි පාක්ෂික ධර්ම’ නාමයෙන් හඳුන්වන ධර්ම සත් තිසක් ඉහත කී පරිදි ඇත්තේය. නිර්වාණය අවබෝධ කීරිමට නම් බෝධි පාක්ෂික ධර්ම දියුණු කිරීම හැර අන් මගක් නැත්තේය. ඒ සත් තිසට අයත් වන්නා වූ ධර්ම පසෙකි,ශ්‍රද්ධාව,වීරිය,සති,සමාධි,ප්‍රඥා. නිර්වාණය අත්දකින්නට වෙහෙස වන යෝගාවචරයන් විසින් මෙම ධර්ම පස ගැන අවබෝධයක් ඇති කරගෙන තිබීම අත්‍යවශ්‍යය. එනිසා මෙම ධර්ම පස ගැන ප්‍රාමාණික විස්තරයක් මින් ඉදිරියට කරන්නෙමු.
මතු සම්බන්ධයි.