වස්කාලය ආරම්භයේදීම භික්ෂුව මුණ ගැසෙන්න තරුණ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩියා. වස් කාලයේ ඔබ වහන්සේලා කොහේ වඩින ගමන්ද කියලා භික්ෂුව එම ස්වාමීන් වහන්සේලාගෙන් ඇසුවා. උන්වහන්සේලා දෙනම ප‍්‍රකාශ කළේ, අපි වස් සමාදන් වුනේ නැති බවයි. උන්වහන්සේලා දෙනම වස් එකක් සහිත උපසම්පදා හිමිවරුන් දෙපළක්. භික්ෂුව විමසුවා, ඇයි වස් සමාදන් වුනේ නැත්තේ කියලා. එතකොට උන් වහන්සේලා ප‍්‍රකාශ කරනවා වැස්ස තවම නැති නිසා, වස් සමාදන් වුනේ නැහැය කියලා. ඇසල පොහොයට වැස්ස නැති නිසා මේ ස්වාමීන් වහන්සේලා දෙනම වස් සමාදන් වෙලා නැහැ. භික්ෂුව ඒ වේලාවේ විමසුවා ලබන පසළොස්වක පොහොයටත් වැස්සේ නැත්නම් පසුවස් සමාදන් වෙන්නේ නැද්ද කියලා. ඊට පිළිතුරක් ලැබුනේ නැහැ. භික්ෂුව ඒ වේලාවේ විමසුවා ඔබ වහන්සේලාගේ ගුරුවරයා කවුද කියලා. උපසම්පදා වෙලා ගුරුවරයාගෙන් බැහැරව තනිපංගලමේ යන ස්වාමීන් වහන්සේලා දෙනමක්. මේ ගමන අනතුරු දායක නිසාමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක් පනවන්නේ පස්වැනි වස දක්වා ගුරුවරකේ ඇසුරේ වැඩ සිටින්න කියලා.
මාරයා අපේ ඔළුවට නානාප‍්‍රකාර මතවාද පටවනවා. අප දක්ෂ වෙන්න ඕනේ විනයධර, ධර්මධර, ගුරු ඇසුරක් තුලින් එම මතවාද පරාජය කොට දමන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ නම් ඇසළ මාසයේ පසළොස්වක පොහොයට වස් සමාදන් වෙන්න කියලා අපි එම ඇසළ පොහොයට වස් සමාදන් වෙන්න ඕනේ. කාලයත් සමඟ වෙනස් වන දෙයක් නොවේ, සද්ධර්මය. කාලය වෙනස් වන බව අවබෝධකොට දෙන ධර්මයක්, සද්ධර්මය. පිංවත් ඔබ දකිනවානම් වර්තමානයේ වස් කාලයේ වහින්නේ නැහැ කියලා. ඒ දැක්ම තුල තිබෙන්නේ ධර්මයේ අර්ථය වන අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වීම. මේ වෙනස් වීම නුවණින් දැකලා අපි තව තව ධර්මයට සමීපවෙන්න ඕනේ. වෙනස් වන කාලයත් සමඟ අපිත් දුවන්නේ නැතිව එසේ නොමැතිව වෙනස්වීම උදෙසා වෙනස් වීම් කරලා ධර්මය අධර්මය කිරිම, විනය, අවිනය කිරිම අපි කලයුතු නැහැ. වැස්ස, නියඟය වෙනස් වෙනවා. මේ වෙනස් වීම තමයි ධර්මය කියන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් විනය නීති පනවන්නේ, මේ වෙනස් වීම දැකලා. වෙනස් වන ලෝකය තුළ නොවෙනස් වන අවබෝධයෙන් පරිපූර්ණ වීමට අවශ්‍ය පරිසරය සකස් කොට දීමට. වැස්ස කියන කාරණය නොවේ අපි අදාල කරගත යුත්තේ ඇසළ පොහොය කියන කාරණයයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් පැනවීමයි. හෙට දවසේ මුළු ලෝකයම මහ වැසි වැහැල ගංවතුරෙන් යට වෙන්න පුළුවන්. සතර මහා ධාතුවේ කිපීමේ ස්වභාවය අපට වෙනස් කරන්න බැහැ. සතර මහා ධාතුවේ වෙනස් වීම, වෙනස් වීම තුල සිටිමින්ම අවබෝධ කර ගැනීමයි අපි කළ යුත්තේ. එසේ නොවුන හොත් වෙනස් වන සෘතු නියාම ධර්මයන් සමඟ සැමදාම අපිට දුවන්න වේවි. සතර මහා ධාතුව ඔහේ අනිත්‍යභාවයට පත්වෙමින් දුවපුදෙන්. පිංවත් ඔබ ධර්ම විනය ළඟ නවතින්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. සද්ධර්මය අතුරුදහන් වෙනවා නම් ඒ පුද්ගලයා ඇති වන්නේ මේ ශාසනය තුලමයි කියලා. මුහුදේ යාත‍්‍රා කරන නැවක් බඩු වැඞ් වීමෙන් ගිලී යන්නේ යම් සේද, ඒ ආකාරයට සද්ධර්මය අතුරුදන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සද්ධර්මයට, සංඝරත්නයට අකීකරුව, ගෞරවයෙන් තොරව, ශික්ෂා පදවලට අගෞරව කිරිම සමාධිය කෙරෙහි අගෞරව කිරිම කියන කාරණා ශාසනය අතුරුදහන් වීමට හේතුවෙනවා කියලා. යම් දවසක සද්ධර්මය වේශයෙන් අසද්ධර්මය පහළවුනොත් එදාට ශාසනය අතුරුදහන් වෙනවාය කියලා. ඒ නිසාමයි ධර්මදායාද සූත‍්‍රයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයට දායාද වෙන්න, අධර්මයට දායාද වෙන්න එපාය කියලා. විනයට දායාද වෙන්න අවිනයට දායාද වෙන්න එපාය කියලා. ඔබලා ධර්මයට දායාද නොවී අසද්ධර්මයට ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා වලට දායාද වුනොත් ඔබලාට පමණක් නොවේ ශාස්තෘන්වහන්සේ වන මටත් මිනිසුන් අගෞරව කරාවි, චෝදනා කරාවි කියලා. එම නිසා අපි ගෞරවයෙන් ආරක්ෂාකර ගත්තා වූ විනය ශික්ෂාවන් සිහිකරමින් ආවර්ජනය කරමින් රාත‍්‍රී නින්දට ගියොත් එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!