විතර්කයේ සිරකරුවෙක් නොවෙන්න.

භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාර අද්දර තිබෙන සුසානභූමිය, අද වෙනදාට වඩා එළිපෙහෙළි කරලා. සුසාන භූමියේ අඩක් දිරාගිය ගේට්ටු කණු දෙකේ ළපටි කෙසෙල් කැන් දෙකක් සහිත කෙසෙල් ගස් දෙකක් බැඳලා. අපේම බෞද්ධ පින්වතුන්ගේ ළපටි ඉන්ද්‍රිය ධර්මයන්ට ඔච්චම් කරන්නට වගේ, ගේට්ටු කණු දෙකේ බැඳ දමා තිබූ කෙසෙල් ගස් දෙකේ තිබෙන කෙසෙල් කැන් දෙක පාළු ගුරුපාර දෙස බලාගෙන සිටියේ හරිම ගුප්ත ස්වභාවයකින්.
ගමේ මියගිය පිංවතෙකුගේ දේහයක් දර සෑයක ආදාහනය කරලා. මේ උදෑසන සියල්ලම පිළිස්සුන අළු ගොඩක් පමණක් සුසාන භූමිය මැද ඉතිරිවී තිබෙනවා. ජීවිතයෙන් සමුගත් තවත් පිංවතෙකුගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව, බාහිර සතර මහා ධාතුවට මුහුවෙලා, සුන්දර අර්ථවත් ධර්මයක් අපිට කියලා දෙනවා. ඒත් ඒ ධර්මය කවුරුවත්ම දකින්නේ නැහැ. ඒ ධර්මය කවුරුවත්ම නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. මේ සුන්දර වස්සානයේ ගමේ හැමෝම මල්, පහන්, සුවඳ දුම් අරගෙන සවස බෝධි පූජාවට ගමේ පන්සලට යනවා. බෝධි පූජාව අහවරවෙලා ඇඳිරිවැටිලා ගෙදර යද්දී සුසාන භූමිය දෙස බලන්නෙත් නැහැ. කනත්තේ හරියට අමනුෂ්‍යයෝ සිටිනවාලු. භික්ෂුවට මේ රාත‍්‍රියේ සිහිපත් වෙනවා, උදෑසන සුසාන භූමිය මත ඉතිරිවී තිබුණ තවමත් නැවුම් මිනී අළු ගොඩ. සුන්දර මනුෂ්‍ය ජීවිතයක ධර්මානුකූල අවසානය. මේ රාත‍්‍රියේ මිනී අළු ගොඬේ උණුසුම මත ගමේ බල්ලන් හොඳටෝම නිදි ඇති.
පින්වත් ඔබත් අවසානයේ ඉතිරි කොට යන, මිනී අළු ගොඩක් වෙනුවෙන්, දුකෙන් පිරුණ භවාත‍්‍රය අස්වද්දන භව නියමුවෙක් ද? එසේත් නැතිනම්, අපි කාලා, බීලා, විනෝදයෙන් ජීවත්වෙමු. මේ ජීවිතයෙන් පසුව නැවත පටිච්චසමුප්පන්න උපතක් නැතැයි සිතන, විභව නියමුවෙක් ද? එසේත් නැතිනම් මම පරලොවදී අජරාමර වෙනවා. මම පරලොවදී නිත්‍ය, ස්ථිර වෙනවා. අනේ මම ඉපදුනේ නැතිනම් මේ මුකුත් නැහැ. නැවත ඉපදීමක් නැති නම් මේ මුකුත් ප‍්‍රශ්න නැහැ. ආදී සද්ධර්මය තුළ ස්ථාවරභාවයක් නොලැබූ පෘථග්ජන පුද්ගලයෙක් ද? එසේත් නැතිනම්, සුසාන භූමියේ ඉතිරිව තිබෙන මිනී අළුගොඩ කමටහනක් කොටගෙන, ආර්ය මාර්ගය තුළින් අනාගත භව දුක මතුකොට දකින පිංවතෙක් ද?
උතුම් චතුරාර්‍යසත්‍යය ධර්මයන් නිවැරදිව ජීවිතයට එකතු කොටගත් පින්වතා, ඒ කියන්නේ අර්ථවත්ව තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිකොටගත් පින්වතා, තමන්ගේ ජීවිතය, අනුන්ගේ ජීවිත සමග සසඳා බලන්නේ නැහැ. එක වගේම අදහස් දරණ දෙදෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු දන්නවා, මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ සංස්කාරයන්ගේ විවිධත්වයක්ය කියලා. මේ සංස්කාරයන්ගේ විවිධත්වය අපේ ජීවිත, බලාපොරොත්තු සහ බලාපොරොත්තු බිඳවැටීම් තුළ පටලවලයි තිබෙන්නේ. අපේ අහිංසක බලාපොරොත්තු ඉටු වුනත්, අපේ බලාපොරොත්තු බිඳ වැටුනත්, නැවත නැවත සංස්කාරයන්ගේ උගුලේ සිරකාරිත්වයමයි ශක්තිමත් වෙන්නේ.
ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ට තෝතැන්නක් වූ අවසානයේ සුසානභූමියක බල්ලන් ලගින මිනී අළු ගොඩක් බවට වෙනස් වෙන මේ රූපය හේතුවෙන්, මම උසස්, මම පහත්, මම සමානයි යැයි යම් පින්වතෙක් දකීද මම උගත්, මම නූගත්, මම පොහොසත්, මම දුප්පත් යැයි දකී ද එම දැක්ම සම්මා දැක්මක් නොවේ, එය මිථ්‍යා දැක්මක්, අවිද්‍යාව වැඩෙන දැක්මක්, සක්කාය දිට්ඨියේ කුණු හැව ඇතෙක් බරට වැඩෙන දැක්මක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියළු සංස්කාරයෝ අනිත්‍යභාවයට පත්වෙන නිසා සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන රූප, වේදනා, සංඥ්‍යා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්, අපි නොපැතූ, නොසිතූ ලෙස වෙනස් වෙලා යන්නේ, නැවත නැවතත් සංස්කාරයන්ගේ පෝෂණයටම අවස්ථාව සලස්වා දෙමින්. සංස්කාරයෝ වනාහී ප්‍රෝඩාවක්මයි, ඇස්බැන්දුමක්මයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංස්කාරයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්නය කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පිළිබඳව කලකිරීමෙන්, සංස්කාරයන් පිළිබඳව නොඇලීමෙන්, ධර්මය දැඩිව නොගෙන, සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවෙන් මිදුනේ නම්, එම භික්ෂුව මේ ආත්මභවයේදීම චතුරාර්්‍ය සත්‍යය ධර්මයන් අවබෝධකොට ගන්නවාය කියලා.
අපි සිතෙන් සිතුවිල්ලක් සිතන මොහොතක් පාසා සංස්කාරයන් රැස්වෙනවා. ඒ හේතුවෙන්ම විඤ්ඤාණය සක‍්‍රීය වෙනවා. පිංවත් ඔබේ සිත සිතුවිලි වලින් හිස්කල තැන, විඤ්ඤාණයේ පෝෂණයට අරමුණු නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණය පෝෂණය නොවන කල්හි, තෘෂ්ණාව නිරෝධය වූ තැන ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධ වී යනවාය කියලා.
මේ සටහන කියවන පිංවත් ඔබ මොහොතක් දෑස් පියාගෙන, ඔබේ සිත සිතුවිලි වලින් හිස්කරන්න. භික්ෂුවට විශ්වාසයි මේ මොහොතේ ඔබේ සිත පංචනීවරණ ධර්මයන්ගෙන් තුනී වෙලයි තිබෙන්නේ කියලා. ඒ සප්තබොජ්ඣංග ධර්මයන් වැඩෙන සිතින්, කරුණාකර ලෝකය ඔබෙන් හිස්කරන්න. ලෝකය ඔබෙන් ගලවාදමන්න. මෙහෙම කළාය කියලා, අවබෝධාත්මකව ලෝකය කෙරෙහි තෘෂ්ණාව ගැලවිලා යන්නේ නැහැ. එය මෙසේ යැයි පුංචි අත්දැකීමක් ඇතිකොට ගන්න. එවිට පින්වත් ඔබතුල නිදහස්වීම කෙරෙහි ඡන්දයක් ඇතිවේවි. වර්තමාන සමාජයේ අඩුම දෙය තමයි, ලෝකයෙන් නිදහස් වීමේ ඡන්දය. ලෝකය පෝෂණය කිරීමේ ඡන්දය නම්, අහස උසට තිබෙනවා.
කොරෝනා වසංගතය නිසා පිංවත් ඔබ දැක්කානේ, අපිම තෘෂ්ණාවේ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් අහස උසට බැඳි පැතුම් මාළිගාවන්ගේ ගඩොල් එකිනෙක ගැලවී බිමට වැටුණු හැටි. මෙවන් වියරු අත්දැකීමක් ලබලත්, ආයෙමත් අපේ ඡන්දය, මේ වියරු සංස්කාර ලෝකය තෘෂ්ණාවේ ගඩොලින් යළි උසට බඳින්න නම්, අනාගතයේ යම් දවසක, අපිම බැන්ද තෘෂ්ණාවේ ගඩොල් බැමි වලට යටවී සතර අපා දුකට වැටීමේ අවධානම අපිව බිලි ගනු ඇත. බුදුරජාණන් වහන්සේ සංසාර දුක ගැන මහා කරුණාවෙන් අපිට දේශනාකොට තිබෙනවා. නමුත් අපි, අපිට කරුණාවක් නැති නිසාම, සැපය යැයි සිතා තෘෂ්ණාවම ජීවිතයට එකතුකොට ගන්නවා.
වර්තමාන සමාජයේ සද්ධර්මයේ නාමයෙන්, දෘෂ්ඨි කාන්තාරවල සිරවෙච්ච පිංවතුන් සිටිනවා. සද්ධර්මයේ නාමයෙන්, විතර්කවල සිරකරුවන්වී ඇති පිංවතුන් සිටිනවා. එම පිංවතුන් සොයන්නේ තර්ක විතර්ක කරන්නමයි. තමාගේ පාර්ශවයට ජයග‍්‍රහණය ලබන්නටමයි. මේ ළඟකදි දවසක්, කණ්ඩායමක් භික්ෂුවත් සමඟ කතා කරන්න වෙලාවක් ඉල්ලලා තිබුණා. එම ඉල්ලීම සත්පුරුෂ ඉල්ලීමක් නම් නොවේ. භික්ෂුව එම පිංවත් පණිවිඩකරුට ප‍්‍රකාශ කළේ මහත්මයෝ, මම භික්ෂුවක් හැටියට දන්නේ, මෙන්න දුක, මෙන්න දුකට හේතුව තෘෂ්ණාව, මෙන්න දුක නැති කිරීම, මෙන්න දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඔය කාරණා හතරෙන් තොර ධර්මයක් භික්ෂුව දන්නෙත් නැහැ, භික්ෂුව කතා කරන්නෙත් නැහැය කියලා. භික්ෂුව ඔය සීමාව තුළ නැවතිලයි සිටින්නේ. එයයි ශ‍්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පනවපු, දුකෙන් මිදීමේ සීමාව. ගෞරවණීය පිංවතුනි ඔබලාට සද්ධර්මයේ අවබෝධාත්මක අර්ථයන් ජීවිතයට අවශ්‍ය නම්, කරුණාකර, ඔය සීමාව තුළ නවතින්න. ඔය සීමාව තුළ නිවනට පක්ෂවෙන්නා වු සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන්ම ශක්තිමත් වේවි. විතර්ක වර්ෂාවන්ගෙන් තෙමෙමින්, තෘෂ්ණාවේ වියරුව මත එල්ලී, සද්ධර්මයේ අර්ථයන් සෙවීමේ නිශ්ඵල වෑයමක යෙදෙන්න එපා. කාලය ගොඩාක් වේගයෙන් ගෙවිලා යනවා, ගමේ සුසාන භූමියේ ඉතිරිකොට යන මිනී අළු ටික අපිට සමීපකරලා.
පිංවත් ඔබේ සිතේ ධර්මයට අදාළව විතර්ක වැඩිනම්, ඔබ අනුන් සමඟ වාද විවාද කරලා වැඩක් නැහැ. එවිට එම විතර්ක තව වැඩිවෙන්න පුළුවන්. පිංවත් ඔබේ සිතේ විතර්ක වැඩිනම්, කරුණාකරලා, අනුන් සමඟ වාදයන්ට නොගොස්, පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතක් ඇතිකොටගන්න. එවිට විතර්ක හිරු දුටු පිණි සේ සිතෙන් අතුරුදහන් වී යාවි. බලන්නකෝ මොනතරම් නම්, අර්ථවත් විසඳුමක් ද කියලා. ඇයි මේ සරල තැනට අපි නොඑන්නේ, දුකට එකම හේතුව පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව කියලා නොදන්නා නිසාමයි. තෘෂ්ණාවේම එල්ලි, තෘෂ්ණාවේ නිරෝධයක් සොයනවා.
බුදුරජාණන් වහන්සේ යම් පිංවතෙකුගේ සිතේ විතර්ක වැඩිනම් අනුන් සමඟ වාදකරන්න කියලා, දේශනා කරලා නැහැ. විතර්ක වැඩි සිතකට බුදුරජාණන් වහන්සේ පනවන්නේ ආනාපාන සති භාවනාවයි. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව අපි තුළ වැඩෙන්නේ ඉහත අර්ථය තුළයි. අපි ධර්මයේ නාමයෙන් විතර්ක, කියව කියවා කතා කරමින් ඉන්න නම් කැමති, අපි තුළ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවත් දුර්වලවෙලා යනවා.
අතීතයේ තර්කයෙහි දක්ෂ ජම්බු අත්තක් අතින් ගත්ත ආජීවිකාවක් සිටියා. ඇය සෑම උදෑසනකම ජම්බු අත්ත නගරයේ වැලි ගොඩක ගසා ශබ්ද නගලා, නගරවාසීන්ට අභියෝගයක් කළා, මා සමඟ වාදයට කැමති කෙනෙක් සිටිනවා නම්, මේ ජම්බු අත්ත ගලවා දමන්න කියලා. ඇය සමඟ කවුරුවත්ම වාදයට පැමිණියේ නැහැ. ඇය ඒ තරම්ම වාදයේ දක්ෂයෙක්.
වරක් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ මේ නගරයට වැඩම කොට, දරුවෙක්ගෙන් ජම්බු අත්ත සිටුවා තිබීමට හේතුව විමසා, දරුවාටම කිව්වා ජම්බු අත්ත ගලවා දමන්නය කියලා. ආජීවිකාව උදෑසන පිණ්ඩපාතයේ ගොස් පෙරළා පැමිණෙත්දි කවදාකවත් නැතිව, එදා ජම්බු අත්ත ගලවාදමලා තිබුණා. ඇයගේ සක්කායදිට්ඨියේ කුණු හැව නිසාම, ඇය සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ සමඟ වාදයට අභියෝගකලා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් කවදාකවත් වාදයන්ට යන්නේ නැහැ. උන්වහන්සේලා සියලූ වාදයන් නිරෝධය කරපු උත්තමයෝ. එම මිත්‍යාදෘෂ්ඨික ආජීවිකාව එල්ල කල ප‍්‍රශ්න වලට සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ධර්මානුකූලව පිළිතුරු දුන්නා. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ කරුණාවෙන් ඇයට ලෞකික ප‍්‍රඥාව ඇති වුණා. ඇය අවසානයේ තවත් බුද්ධ ශ‍්‍රාවිකාවක් බවට පත්වුණා.
ඒ අතීතයේ, නමුත් වර්තමානයේ සද්ධර්මයට නොගැලපෙන, චතුරාර්්‍යය සත්‍යය ධර්මයන්ට නොගැලපෙන, වැරදි දෘෂ්ඨි මතවාද කරපින්නාගත් අහිංසක පිංවතුන්ලාට, කවුරු නම් උපකාර කරන්නද. කෙසේ නම් නිවැරදිවෙන්නද. තමනුත් පටිච්චසමුප්පාද නූල් බෝලයේ පැටලී, අනුන්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන් තුළ පටලවා දමනවා.
නමුත් මේ සෑම පිංවතෙක්ම, සද්ධර්මයේ නාමයෙන් වැරදි දෘෂ්ඨි, මතවාද දරාගෙන ඒවා සමාජගත කළත්, ඒ සෑම පිංවතෙක්ම මිච්ඡා ජයග‍්‍රහණයන් ජීවිතයෙන් භුක්ති වින්දත්, දහස් ගණන් ශ‍්‍රාවක, ශ‍්‍රාවිකාවන් වටකොටගෙන මිච්ඡා ධර්මයන් දේශනා කළත්, මේ සෑම පිංවතෙක්ම කිසිවෙකුට පරාජය නොවුණත්, එම පිංවතුන් පරාජය වෙන තැනක් නියත වශයෙන් තිබෙනවා. ඒ තැන තමයි, අවසාන චුති සිත. පිංවත් ඔබලාගේ සියලු ජයග‍්‍රාහි මිච්ඡා වාදයන්, අවසාන චුති සිතේදි ඔබලාව පරාජයකොට මිථ්‍යා දෘෂ්ඨියටම, සතර අපායන්ටම ඇද දමන්න පුළුවන්. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේට ජම්බු ආජීවිකාව මුණනොගැසුනා නම්, වාදයන්ගෙන් අපරාජිතව සිටි ඇයට සිද්ධවෙන්නෙත්, අවසාන චුති සිතේ වාදයෙන් පරාජයවී, සතර අපායට වැටීම පමණක්මයි.

2020 අගෝස්තු 16 වන ඉරු දින දිවයින පුවත්පත

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි