වැස්‌ස වලාහක දෙවිවරු.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා.
අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා.

වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු දෙදෙනෙක්‌ ඉන්නවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම කෝකන්දා, පොඩි දුවගේ නම චුල්ල කෝකන්දා. මේ දිව්‍ය දියණියන් දෙදෙනා එයාලගෙ පිරිවර දිව්‍ය යෙහෙළියන් පිරිවරාගෙන වළාකුළු මත සෙල්ලම් කරනවා. කාමච්ඡන්දයන් විඳිනවා. මේ වැස්‌සවලාහක දූවරු දෙදෙනා පිංකම්වලට ගොඩක්‌ කැමතියි. මනුෂ්‍ය ලෝකයේ සිල්වත් ස්‌වාමීන්වහන්සේලා ධර්මදේශනා කරනකොට, මේ අය කාමච්ඡන්දයන් විඳලා වැසි වස්‌සන්නේ නැහැ.

නමුත් මේ අයට පාලනය කරන්න බැරි වැසි තිබෙනවා. ඒවා ඇතිවන්නේ සතර මහා ධාතුවේ කිපීම් නිසා. අකුණු ගහලා, ගොරවලා, සුළඟ හමලා ඇතිවෙන ධාරාණිපාත වාර්ෂාවන් සතර මහා ධාතුවේ කිපීම් නිසා ඇතිවන වැසි. මේවා පාලනය කරන්න වැස්‌ස වලාහක දෙවියන්ට හෝ ඔහුගේ දූවරු දෙදෙනාට බැහැ. එමනිසා ඔබ කරන පිංකම් ධර්මදේශනා අසාර්ථක කරමින් ලොකු වර්ෂාවන් වහිනකොට, ඔබ වැස්‌ස වලාහක දෙවියන්ට, එම දිව්‍ය දියණියන්ට බනින්න එපා. ඒ අය අහිංසකයි. පිංවත් ඔබලා පිංකමක්‌ කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි….!!!

තෙරුවන් සරණයි…!!!

අති පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සටහනක් ඇසුරෙනි.