යම් පින්වතෙක් තම පවුල් ජිවිතයේ දී දුකට පත් වෙනවා නම්.

යම් පිංවතෙක් තම පවුල් ජිවිතයේදී දුකට පත්වෙනවානම්, එය තමා පෙර ජිවිතයේ කරගත් කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයක් බවම දකින්න. වෙන ක‍්‍රමයකින් මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. පිංවත් ඔබ රාත‍්‍රී නින්දට යනකොට දවස පුරාවටම ඔබට ස්වාමිපුරුෂයාගෙන්, දරුවන්ගෙන්, බිරියගෙන් ලැබුණු සිත්වේදනාවන් විදර්ශනා නුවණින් දකිමින් නින්දට යන්න. ස්වාමිපුරුෂයා කියන්නේ මෙවැනි දුකක් නම්, මේ භව ගමනේ තමා ලබනා අවසාන ස්වාමිපුරුෂයා මොහු බව දකිමින් නින්දට යන්න. බිරිඳ කියන්නේ මෙවැනි දුකක් නම්, තමා මේ භව ගමනේ ලබන අවසාන බිරිඳ ඇය බව දකිමින් නින්දට යන්න. දරුවා කියන්නේ දෙමාපියන්ට මෙවැනි දුකක් නම්, මේ භව ගමනේදී තමන් ලබනා අවසාන දරුවා බව දකිමින් නින්දට යන්න. දුකට හේතුවන රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරිම ඇති කොටගන්න. සංසාරයන් පුරාවට පැමිණි ගමනේදී, ස්වාමිපුරුෂයින් බිරින්දෑවරුන් දරුවන් උදෙසා ඔබ හෙළු කඳුළු මහා සාගරයේ ජලය ප‍්‍රමාණයට කොට දකින්න. මේ ජිවිතයේදී තවත් කඳුළු බාල්දි කිහිපයක් එම කඳුළු සාගරයට එකතු කොට මිය යන අවාසනාවන්තයෙක් නොවන්න. විදර්ශනා නුවණින් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිමින් රාත‍්‍රී නින්දට යන්න. අවබෝධයෙන්ම දුක හඳුනාගෙන, දුකට හේතුවන අකුසලයන්ගෙන් මිදෙන දිශාවටම යොමුවන්න. ඔබ විසින්ම ඇතිකොට ගත් ප‍්‍රශ්නය, ඔබ විසින්ම විසඳාගත යුතු බව සිහිනුවණින් දකින්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන යහපත් රාත‍්‍රියක සැබෑම අර්ථය, ගිනිගත් ලෝකය තුලින් මතුකොට ගෙන, හෙට උදාවෙන දවස අකුසල් නොවැඩෙන සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිනයක් බවය පත්කොට ගන්න, පිංවත් ඔබ දක්ෂ වෙන්න. පවුල් දිවියේ කොතෙක් ප‍්‍රශ්න තිබුණද පිංවත් ඔබ බිරිඳට ස්වාමි පුරුෂයාට, දරුවන්ට යුතුකම් හොඳින් ඉටුකරන චරිතයක් වෙන්න. යුතුකමක් කුසලයක් බවට පත් කොට ගන්න, ඔබ දක්ෂ වෙන්න. සංස්කාරයන් නිසාම ලැබුණු දෙය සංස්කාරයන්ගේ නිරෝධය උදෙසාම ප‍්‍රයෝජනයට ගන්න දක්ෂ වෙන්න. දුක සඟවාගෙන ලෝකය ඉදිරියේ සිනාසීමට උත්සහ නොකරන්න. දුකට හේතුව හඳුනාගෙන දුකෙන් මිදෙන්න. දුක සඟවාගෙන ඔබ ලෝකය ඉදිරියේ සිනාසීමට ගියහොත් ඒ ඔබ සිනාසෙන්නේ ඔබගේම දුකට බව, ඔබම තේරුම් ගත යුතුයි.