මෛත්‍රිය වැඩුවහම අපිට ලැබෙන ආනිශංස මොනවද?

මෙහෙමයි. මෛත්‍රිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ… දැන් අපි මේ ජීවිතයේ ප‍්‍රසන්න සිරුරක්, ශරීරයක් ලබලා තිබෙනවා නම්, ඒ ප‍්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතු වුණේ ගිය ජීවිතයේ අපි වඩපු මෛත්‍රී චිත්තයන්මයි. තේරුණාද?

දැන් කාටහරි මේ ජීවිතයේ ලස්සන, ප‍්‍රසන්න පිරිමි හෝ වේවා කාන්තා හෝ වේවා රූපයක් ලබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා, තාත්තා නිසා නෙවෙයි. අම්මා සුදු වුණා, තාත්තා සුදු වුණා, ඒ නිසා දරුවා සුදු වෙනවා කියලා කාරණයක් ධර්මයේ නැහැ. අම්මා කළු නිසා, තාත්තා කළු නිසා දරුවා කළු වෙනවායි කියලා ධර්මයක් නැහැ. තේරුණාද?

එතකොට, දැන් එක දරුවෙක් ඉන්නවා. එයා කළුයි. නමුත් එයා ඉස්කෝලෙ යනකොට ළමයි එයාට විහිළු කරනවා. එතකොට, ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බනිනවා, ”අම්මේ, ඔයා කළු තාත්තා කෙනෙක් බැ`දපු හින්දා තමයි මම කළු වුණේ” කියලා. කළු වුණයි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කළු තාත්තා කෙනෙක් බැන්ද නිසා නෙමෙයි දරුවා කළු වුණේ. ඒ දරුවා ගිය ජීවිතයේ ද්වේශය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මව් කුසකටයි එයා බැස්සේ.

දැන් සුදු අම්මා කෙනෙකුට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමෙයි, දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතයේ මල් පූජා කරලා, මෛත්‍රිය වඩලා, සුදු වෙන්න තිබ්බ සංස්කාරයන් සකස් කරගත්තා. ඒ නිසයි, සුදු අම්මා කෙනෙක්ගේ මව් කුසකට බැස්සේ. එහෙම නැතුව මේ කළුයි, සුදුයි කියන්නේ අම්මා, තාත්තා සුදු, කලූ නිසා නෙවෙයි.

ඒ නිසා මේ ජීවිතයේ අපි ප‍්‍රසන්න සිරුරක් ලබලා තියෙනවා නම්, ඒක ලබන්න අපි ගිය ජීවිතයේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා; අපි පෙර ජීවිතයේ බෝමළු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා; අපි ගිය ජීවිතයේ මෛතී‍්‍ර චිත්තයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතයේ ලබන්නා වූ ප‍්‍රසන්න භාවය. ඒ නිසා මෛත්‍රිය තුළින් බුදුරජාණන් වහන්සේ ආනිශංස එකොළහක් ලැබෙනවා කියලා දේශනා කරනවා.

ඒවා අංගුත්තර නිකායේ මෛත්‍රිය සූත‍්‍රයේ මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා.

1. සුවසේ නින්ද යනවා.
2. නපුරු සිහින පෙනෙන්නේ නෑ.
3. සුවසේ නින්දෙන් පිබිදෙනවා.
4. සෑම මනුෂ්‍යයෙකුටම පි‍්‍රයවෙනවා.
5. දෙවියන්ට පි‍්‍රය වෙනවා.
6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබනවා.
7. ගින්නෙන්, විෂෙන් ආයුධවලින් අනතුරු වෙන්නේ නෑ.
8. ඉක්මණින් සිත සමාධියට පත්වෙනවා.
9. මුහුණේ පැහැය බබලනවා.
10. සිහි මුළා නොවී මැරෙනවා.
11. ඒ ජාතියේදී ම රහත් වීමට නොහැකි නම් මරණින් මතු බඹ ලොවට යාමට හැකි වෙනවා.

එතකොට එහෙනම් මෛත්‍රිය වැඩුවහම අපිට ලැබෙන ආනිශංස මොනවද? මේ කිව්වා වූ ආනිශංස. තේරුණාද?

එතකොට, ද්වේශය නිසා අපිව අර වගේ සතර අපායන්ට වැටෙනවා වගේ ම, මෛත්‍රිය කියන කාරණය දිව්‍ය, මනුෂ්‍ය, බ‍්‍රහ්ම සුගතීන්හි උපදින්න අපිට මාර්ගය සකස් කරලා දෙනවා. ඒක තමයි මෛත්‍රියේ ආනිශංස.