මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?
මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුවට පේනවා කුටියට මදක් ඔබ්බෙන් මොනරෙක් පිල් විදහාගෙන නටනවා. ‘සර සර’ හඬ නගමින් විහිදුණු පිල් එකිනෙක ගැටෙන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. මොනරා රඟන රිද්මයටම සෙබඩත් මොනරා වටා කැරකෙනවා. මේ සතුන් දෙදෙනාට හැඟීමක් නැහැ, භික්‍ෂුව අහල පහල සිටිනවා කියලා. මොකද ඒ සතුන් රූපයෙන් භික්‍ෂුව හැඳිනුවත්, අර්ථයෙන් හඳුනන්නේ නැහැ. මේ මොනරත්, සෙබඩත් ආශ්වාදයෙන් මත්වෙලා. හිරිඔතප් ගැන දන්නේ නැහැ. ආශ්වාදයේ කෙටි මිහිර, ආදීනවයේ ප්‍රමාදීභාවයට පාර හෙළිකර දෙනවා දෙදෙනාටම. තව ටික දිනකින් සෙබඩ බිත්තර දමාවී, ඊට පස්‌සේ බිත්තර රකීවී. ඊට පස්‌සේ පැටව් එලියට ඒවී, පැටවුන් පෝෂණය කරාවී, කෙටි ආශ්වාදයක දිගු ආදීනවය පෙනෙනවා නේද?
මේ මොනරා කීවොත් ‘මම ලස්‌සනයි’ කියලා සැබැවින්ම සාධාරණයි. මොකද එම සතා සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම්, නෑම් ඇඟ සේදීම්, දත්මැදීම් කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් සැබවින්ම ලස්‌සනට පේනවා. ලස්‌සන තිබෙන්නේ රූපය තුළ නොවෙයි. රූපය කෙරෙහි සකස්‌කොටගත් තෘෂ්ණාව තුළයි. රූපයට ඇති තෘෂ්ණාව අඩුකරගන්න. එවිට ඔබට රූපය අසුබ දෙයක් වශයෙන් පෙනේවී. මේ ස්‌ත්‍රී පුරුෂ මිනිස් රූපය, යමෙක් ලස්‌සනය කියලා කියනවානම්, සශ්‍රික දිව්‍ය තලවල වැඩසිටින දිව්‍යාංගනාවන්, දෙවියන්ගේ දිව්‍ය රූපවල අසිරිය, රිද්මය, ලාලිත්‍යය, කාන්තිය, වර්ණනා කිරීමට භාවිතා කළයුතු වචනය මොකද්ද කියන්න භික්‍ෂුවට තේරෙන්නේ නැහැ. හැබැයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේට නන්ද ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කළ කාරණය මෙතැනදි වැදගත් වෙනවා. ‘ස්‌වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දිව්‍ය තලයේ දිව්‍යාංගනාවන්ගේ අසිරිය දුටු මට ජනපද කළ්‍යාණිව පෙනෙන්නේ පිච්චී ගිය හේනක සිටින වැඳිරියක් වගේය’ කියලා. පිංවත් ඔබ භික්‍ෂුව සමග අමනාප වෙන්න එපා මෙහෙම සටහන් කළාට. ඔබ අමනාප විය යුත්තේ ඔබගේම දෘෂ්ඨිමය දුර්වලතාවයන් සමගය. මේ දෘෂ්ඨිමය දුර්වලතාවයන් බිඳුණු තැනදී, නන්ද ස්‌වාමීන්වහන්සේත් පසුව ජනපදකළ්‍යාණියත් දෙදෙනාම පසුව භව නිරෝධය සාක්‍ෂාත් කරගත්තා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද ස්‌වාමීන්වහන්සේ උදෙසා අනුගමනය කළ ඉහත උපක්‍රමය, පිංවත් තරුණ ඔබට හුඟක් ප්‍රයෝජනවත් වේවි. එම නිසා ඔබ තුළ වීර්යය මදනම්, රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩිනම් දිව්‍යතලයේ අසිරිමත්, දිව්‍යාංගනාවක් ලබනවාය, වෙනවාය කියන කාරණය ෙච්තනාවක් කොටගෙන භාවනා කරන්න. අල්ලාගත්තත්, අල්ලාගත්තේ අසිරිමත් දිව්‍ය ජීවිතයක්‌නේ. උදය සවස කුණු පිටකරන, ගඳගහන මනුෂ්‍ය ශරීරයක් නොවෙයිනේ. සියල්ල අතහැරීම උදෙසා, අල්ලාගැනීමට අවශ්‍ය තැන් වෙතොත් ඒවා අතහැරීමට කලබල නොවන්න. භාවනාව තුළින් ඔබ ලබන සතිය සිහිය සුදුස තැනදී සුදුසු දෙයින් ඔබව දැනුවත් කරාවී.