පිංවත, මනුෂ්‍ය ලෝකයේ යම් ප්‍රජාවක් අවුරුදු නාමයෙන් සමරන ප්‍රණීතම, අර්ථවත්ම සංස්කාරයක් වන පුණ්‍යවන්ත තවත් සිංහල අළුත් අවුරුද්දක් ගෙවී ගියා. ලෞකික ප්‍රඥාවට මුල්තැන දෙමින් ශීලයෙන්, සතියෙන්, නිරෝගීභාවයෙන් ජීවිත අළුත් කරන සිංහල අළුත් අවුරුද්ද ගෙවී ගියත්, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය තුළින් සිංහල බෞද්ධකමේ අර්ථය නම් ගෙවී යන්න ඉඩ දෙන්න එපා. සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර තුළින් උතුම් තෙරුවන්ට ගරු කරලා, වැඩිහිටියන්ට ගරු කරලා, තෘෂ්ණාව අවම කළ ධර්මයේ උපේක්ෂාවෙන් අපි මොනතරම් නම් සංසිඳීමක් ද අපේ ජීවිත තුළින් ලැබුවේ. සිංහල අළුත් අවුරුද්ද දවසට රටේ කුමන දිශාව බැලුවත් අපි දකින්නේ සංසිඳුණු පරිසරයක්. පිංවත් මනුෂ්‍ය සන්තානවල තෘෂ්ණාව තාවකාලිකව සංසිඳෙද්දී ඊට සාපේක්ෂව පරිසරයත් සංසිඳෙනවා. සිංහල අළුත් අවුරුද්ද කියන්නේ තවත් දවසක් වුව ද, එදාට අපි ඇතිකොට ගන්නා තෘෂ්ණාව අවම කොටගත් සංසිඳුණු සිත, අවුරුද්දට අළුත් අර්ථයක් එකතුකොට දෙනවා. පිංවත, ඔබේ ජීවිතයට ඉඩ දෙන්න, මේ සංසිඳීම අවුරුද්ද පුරාවටම අරගෙන යන්න. සිංහල අළුත් අවුරුදු සතියෙන් පසුව අයෙමත් තෘෂ්ණාවේ බලු පොරයට එකතු වෙන්න එපා. පිංවත, තෘෂ්ණාවට ඔබව පාලනය කරන්න දෙන්න එපා, ඔබේ පාලනය යටතට තෘෂ්ණාව ගන්න. පිංවත, තෘෂ්ණාව සම්මා සතිය නමැති කඹයෙන් දිගේලි කරලා, ඔබේ සිංහල බෞද්ධකම අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරාම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජීවත් කරන්න.
ගෙවීගිය අවුරුදු සතියේ උදෑසන පිණ්ඩපාතය බෙදන්න ගොඩාක් පිංවතුන් ඇවිත් සිටියා. අළුත් ඇඳුම් පැලඳුම් නැති වුවත්, ඒ හැමෝගේම මුහුණු සද්ධර්මයෙන් අළුත් වෙලයි තිබුණේ. භික්ෂුව ඒ හැමෝටම ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, සතියෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන් අවුරුදු තෑගි දුන්නා. හැමෝටම ගොඩාක් සතුටුයි. හැමෝම භික්ෂුවට කිරිබත් හැන්දක්, කැවුමක්, අතිරසයක්, පලතුරක් පාත්‍රයට බෙදලා පැමිණි සියල්ලෝම විදර්ශනාව අරගෙන ගියා. පිංවත, ලෝකය මත, ලෝකයෙහි නොතැවරී සිටින්න නම්, විදර්ශනා ප්‍රඥාවයි මුල් වෙන්න ඕනේ. පිංවත, ඔබ බත් හැන්දක් සංඝයාට දන් දෙද්දී, සංඝ සමාජයේ අපි, පිංවත් ඔබලාට විදර්ශනා ප්‍රඥාව දන් දෙනවා. සංඝයා සතු මේ අයෝමය කෘතවේදීභාවය නිසාමයි, සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එක් කෙනෙක් බවට පත්වෙන්නේ. මහා සංඝරත්නය පුණ්‍ය කෙතක් බවට පත්වෙන්නේ. පිංවත් ඔබේ බත් හැන්දට, සංඝ සමාජයේ අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක නිවන, විදර්ශනා ප්‍රඥාවම උරුමකොට දෙනවා. පිංවත, සංඝ සමාජය පිංවත් ගිහි පිංවතුන්ලාට ණය නහැ. ඔබ පූජා කරන මිල කළ හැකි සිවුපසයක් වෙනුවෙන්, මිල කළ නොහැකි දුකෙන් මිදීමේ මාර්ගය ඔබට කියලා දෙනවා.
පිංවත ලස්සන මලක් වෙලා විතරක් වැඩක් නැහැ. ඒ මලේ සුවඳත් තිබෙන්නට ඕනේ. සුවඳ නැති ලස්සන මල් කොච්චර නම් තිබෙනවා ද? පිංවත, මනුෂ්‍යයාගේ ගුණ සුවඳ දුර්වල වෙලා යනකොට හේතුඵල ධර්මයන් නිසාම, මල්වල සුවඳ අතුරුදන් වී මල්වල ලස්සන පමණක් ඉතිරි වෙනවා. පිංවත, වර්තමානයේ සුවඳ නැති ලස්සන විසිතුරු මල් වර්ග ගොඩාක් වැඩියි. එම මල්වල මිලත් හුඟාක් වැඩියි. සුවඳ නැති වුණත්, මිල වැඩි වුණත් මල් වලට තිබෙන ඉල්ලුමත් වැඩියි. පිංවත, මේවා අපේ දුර්වල සම්මා සතියට නොපෙනෙන හේතුඵල ධර්මයන්. පිංවත, අපි වර්තමානයේ ලස්සන, ලස්සන විසිතුරු පිංකම් සිද්ධ කළත්, එම පිංකම්වල ලෞකික ප්‍රඥාවේ සහ ශීලයේ සුවඳ හුඟාක්ම දුර්වලයි. උතුම් සද්ධර්මයේ ගුණ සුවඳ අපේ පිංකම් වලින් ඈත් වෙද්දී, පරිසරයේ උපදින මල්වල පවා ලස්සන විසිතුරුභාවය පමණක් ඉතිරි වෙලා මල්වල සුවඳවත්භාවය අතුරුදන් වෙලා යනවා. පිංවත, අනාගතයේ යම් දවසක් එනවා, අපි සිදුකරන පිංකම්වල ලෞකික ප්‍රඥාව, ශීලය වගේම පිංකම්වල ලස්සන විසිතුරුභාවයන් දුර්වල වෙලා යන. එදාට පරිසරයේ අපි දකින මල්වල සුවඳත්, විසිතුරු බවත්, ලස්සනභාවයත් යන සියල්ලම අතුරුදන් වෙලා යනවා. එදාට මනුෂ්‍ය ප්‍රජාව මල් හැටියට දකින්නේ සුවඳත්, ලස්සනත් අතුරුදන් වූ නිදිකුම්බා මලක්මයි. පිංවත, මේ මනුෂ්‍ය ලෝකයෙන් සුවඳවත්භාවයත්, විසිතුරුභාවයත් අතුරුදන් වී යන්න දෙන්න එපා. පිංවත් ඔබ සිදුකරන සෑම පිංකමක්ම සැබෑ අර්ථවත් සම්මා වායාමයක් බවට පත්කොට ගන්න. ඒ සම්මා වායාමයන්ගෙන් උපදින පුණ්‍ය ශක්තිය නිසාම, පරිසරයේ උපදින මල්වල විසිතුරුභාවයත්, සුවඳත් චිරාත් කාලයක් ආරක්ෂා වී ඔබව සතුටට පත්කරාවි. භික්ෂුව මෙසේ සටහන් තැබුවත් භික්ෂුවගේ හෘද සාක්ෂිය භික්ෂුවට කියනවා, අනාගතයේ දවසින් දවස පරිසරයේ උපදින මල්වල සුවඳත්, විසිතුරුභාවයත් හීන වී යන දිශාවටමයි සමාජය ගමන් කරන්නේ කියලා. පිංවත, ලෝකය යන මේ නොමග වෙනස් කරන්න තිබෙන එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සිංහල බෞද්ධකමේ උපතයි. මේ උපත ඊළඟ පරම්පරාව උදෙසා අර්ථවත්ව ජීවත් කරවන්න. පිංවත් ඔබත් ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් පෝෂණය වූ සම්මා වායාමයන්ගෙන් පූදින සුවඳවත්, විසිතුරු මලක්ම වෙන්න.
පිංවත, උතුම් තෙරුවන් කියන්නේ, දසපාරමී පුණ්‍ය ශක්තියෙන් මේ ලෝක ධාතුවට පහළ වූ ප්‍රණීත සංස්කාරයක්. පිංවත, මේ උතුම් සිංහල බෞද්ධකමත් සියළු ජාතීන්, සියළු ආගම් සමග සහජීවනයෙන් ජීවත් වෙන, උතුම් තෙරුවන් මුල්කොටගෙන පහළ වූ ප්‍රණීත සංස්කාරයක් බව තේරුම් ගන්න. ප්‍රණීත සංස්කාරයක් කියලා කියන්නේ පෙර කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ පිනටයි. මේ ප්‍රණීත සංස්කාරය, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කොටගත්තොත්, අපිට පුළුවන් මෙලොව සහ පරලොව ලෞකික සැපය වගේම, භව නිරෝධයත් සාක්ෂාත් කොටගන්න. පිංවත, යහපත වගේම අයහපතත් ලෝකය තුළ තිබෙනවා. ඔබ ලැබූ සිංහල බෞද්ධකම කියන ප්‍රණීත සංස්කාරය, අසත්පුරුෂ ආශ්‍රය තුළින් අකුසලය දිශාවට යොමු කළොත් එම ප්‍රණීත සංස්කාරය අප්‍රණීත සංස්කාරයක් බවටම පත්වෙනවා. පිංවත, වර්තමානයේ අපි තුළ වැඩෙන ලෞකික ප්‍රඥාවෙන් තොර අසත්පුරුෂ ආශ්‍රයන් නිසාම, උතුම් ප්‍රණීත සංස්කාරයක් වන සිංහල බෞද්ධකමේ වටිනාකම අපිට වැටහෙන්නේ නැහැ. අපි ලැබූ සිංහල බෞද්ධකම ඇමෙරිකන්කමට, එංගලන්තකමට, ඔස්ට්රේලියානුකමට දෙවෙනිකොට දමනවා. පිංවත, අපි පෙර පුණ්‍යවන්තභාවය නිසාම ලැබූ ප්‍රණීත සංස්කාරයක් අනුවණකම නිසාම අප්‍රණීත සංස්කාරයන්ට යටකොට දමනවා. පිංවත, සංස්කාර හේතුවෙනුයි දැනීම් සකස් වෙන්නේ. ඔබට මේ උතුම් සිංහල බෞද්ධකම පිළිබඳව වටිනාකමක් දැනෙන්නේ නැතිනම්, මේ උතුම් සිංහල බෞද්ධකම අනාගත ලෝකයට ආරක්ෂාකොට තැබිය යුතු උතුම්ම ධර්ම දානයක් යැයි වැටහෙන්නේ නැතිනම්, මේ උතුම් සිංහල බෞද්ධකම ඔබේ පිංවත් දරුවාට කියාදිය යුතු එකම කල්‍යාණමිත්‍ර දහම බව වැටහෙන්නේ නැතිනම් ඉන් අදහස් වෙන්නේ අපේ ලෞකික ප්‍රඥාවට අදාළ දැනීමේ දුර්වලභාවයයි. පිංවත, භව නිරෝධයට අවශ්‍ය ශක්තිය පටිච්චසමුප්පන්නව දරාගෙන පැමිණි ඔබ, ඔබේම සත්පුරුෂභාවයට, ඔබම අසත්පුරුෂ වෙන්න එපා. පිංවත, ඔබ මේ උතුම් සිංහල බෞද්ධකම ලැබුවේ කෝටි ගණන් ධනය හම්බ කරලා ඒ සියල්ල අනුනට අයිතිකොට දීලා හිස් අතින් මැරිලා යන්න නොවේ. ඔබේ මේ උතුම් සිංහල බෞද්ධකම ලැබුවේ ඉහළ වෘත්තිකයෙක් වෙලා ඔබේ දැනුමෙන් ලෝකය ජීවත් කරවලා, ඔබ හිස් අතින් මිය යන්න නොවේ. පිංවත, ඔබ මේ පුණ්‍යවන්ත ජීවිතය ලැබුවේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊළඟ පරපුරට ආරක්ෂාකොට තබලා, ඔබ ලෝකයෙන් නිදහස්වීම උදෙසාමයි. පිංවත, ඔබ සතර අපා දුකෙන් නිදහස් වෙන්න, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකය තුළ ආරක්ෂාකොට තබලා.
පිංවත, මේ පුණ්‍යවන්ත සිංහල බෞද්ධකමේ ආයුෂය තීරණය කරන්නේ උතුම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලය විසින්මයි. පිංවත, කිරිබත්, කැවුම්, කොකිස් වලට, අවුරුදු උත්සව වලට සිංහල බෞද්ධකම ආරක්ෂාකොට දෙන්න බැහැ. සිංහල බෞද්ධකමේ ජීව රුධිරය වෙන්නේ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලයමයි. අපේ ජීවිත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දුර්වල වෙද්දී, කර්මය කර්මඵල විශ්වාසය අපෙන් මග හැරෙද්දී, හිංසනය, කේන්තිය මතු වෙද්දී, ලෝභ, ද්වේශ, මෝහයෝ වැඩෙද්දී, ශිල්පද දුර්වල වෙද්දී අපේ සිංහල බෞද්ධකමට අපිම අසත්පුරුෂ වුණා වෙනවා. පිංවත, සත්‍යකින්ම අපි හැමෝම සිංහල බෞද්ධකමට අසත්පුරුෂ වෙලා නේද? පිංවත, ඵලය සතුටින්, විනෝදයෙන්, බුක්ති විඳිද්දී ඵලය ඇතිවීමට හේතුව අමතක කරන්න එපා. මෙය සටහන් තබන භික්ෂුවට, “සිංහල බෞද්ධයා” යැයි කියද්දී, සිහියට නැගෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
පිංවත, ශාසනයේ නාමයෙන් ඔබ පුහුණු කරන, ඔබ දකින අනිත්‍ය සංඥාව මිථ්‍යාදෘෂ්ටියෙන් පෝෂණය කරන්න එපා. අනිත්‍ය සංඥාව ලෞකික ප්‍රඥාවෙනුයි පෝෂණය විය යුත්තේ. ලෞකික ප්‍රඥාව ඔබව භව දුකෙන් මුදවනවා වගේම, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් තහවුරුකොට දෙනවා. පිංවත, ඔබ වඩන අනිත්‍ය සංඥාව මොනතරම් නම් මිථ්‍යාදෘෂ්ටික අනිත්‍ය සංඥාවක් ද? තරුණ වියේ දී උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් වූ විශාකාව විවාහ වෙලා දරු මුනුපුරන් සියයකට වඩා ලෝකයට බිහි කළා. බලන්නකෝ සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ අනිත්‍ය සංඥාවේ සැබෑ හරය. විශාකාව ඇයගේ දුකෙන් මිදීම වගේම, තම පරපුර වර්ධනය කිරීම තුළින් ශාසනයේ හෙට දවස ගැනත් සිතුවා. නමුත් වර්තමානයේ අපේ සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ සිංහල බෞද්ධකමට මොක ද වෙලා තිබෙන්නේ? එක දරුවෙක්ගෙන්, දරුවෝ දෙදෙනෙක්ගෙන් අපේ පරපුර අපි සීමා කරනවා. මෙහෙම ගියොත් ඔබ සිතන මිථ්‍යාදෘෂ්ටික අනිත්‍ය සංඥාව ඔබට, ඔබේ සතර අපායෙන් නිදහස්වීමත්, අනාගත සිංහල බෞද්ධ පරපුරත් යන දෙකම අහිමිකොට දමාවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2023/04/23 වන ඉරුදින දිවයින පුවත්පත.