අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් අනිත්‍ය භාවයට පත් වෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ නිමේෂයේදී දේවස්ථානයේ දෙවියන් යදිමින් සිටින පින්වතා, ඊළග නිමේෂයේදී, දේවස්ථානය තුළදීම, පිපිරීමකින් කැඩී බිඳී මියයනවා. ඒ විතරක් නොවේ, ඊළග තත්පරයේදී, එම මියගිය පින්වතා, පටිච්ච සමුප්පන්නව නැවත භවයේ උපතකුත් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්මය, මොන තරම් නම් වේගවත් භාවයෙන් සත්ත්වයාගේ ජීවිත සමග බැඳී පවතිනවාද..? මේ වේගවත් භාවය පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට, ලබා දෙන්නේ, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, විසින් නොවේ, මේ වේගවත් භාවය පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට ලබා දෙන්නේ, අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාර විසින් මයි. පටිච්ච සමුප්පාද ධර්මයේ අවිද්‍යාව කියන ආරම්භය තුළ ම පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය, පටිච්ච සමුප්පාදය තුළ බැසගෙනයි සිටින්නේ..
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සත්ත්වයා මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසාම, තම ජීවිත පැටළුණු නූල්බෝලයක් සේ අවුල් කර ගෙනයි සිටින්නේ” කියල.
සාරිපුත්ත මහරහතන් වහන්සේ, ගිහි කාලයේ උපතිස්ස තරුණයා හැටියට, දුකෙන් මිදීමේ මාර්ගය සොයමින් සිටියදී, ඔහුට අස්සජී මහරහතන් වහන්සේ මුණගැසෙනවා. අස්සජී මහරහතන් වහන්සේ තුළින්, උපතිස්ස තරුණයා දුටු ඉන්ද්‍රිය සංවරය නිසාම, උපතිස්ස තරුණයා අස්සජී ස්වාමින් වහන්සේගෙන් විමසනවා “පින්වත් ඔබ වහන්සේගේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කොට ගැනීමට මුල් වූ, ශාස්තෲන් වහන්සේ කවුද, උන්වහන්සේ දේශනා කරන ධර්මය කුමක්ද..?” කියල. ඒ අවස්ථාවේදී අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කරනවා “උපතිස්ස මම තවම පැවිද්දට නවකයෙක්මි, මම පැවිදි වී නොබෝ කල්ය, මම ඔබට ධර්මය විස්තර වශයෙන් දේශනා කිරීමට අපොහොසත්ය” කියල. එවිට උපතිස්ස තරුණයා ප්‍රකාශ කරනවා, “ස්වාමින් වහන්ස, මම විස්තර වශයෙන් ධර්මය බලාපොරොත්තු නොවෙමි. සැකෙවින් ධර්මයක් දේශනා කරන්නය” කියල.
අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට, සැකෙවින් දේශනා කොට වදාළේ “හේතුවක් නිසා යමක් උපදීද, එම හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ”ය කියන ධර්මයයි. අස්සජී මහෝත්තමයන් වහන්සේ සැකෙවින් දේශනා කොට වදාළ ඉහත ධර්මය, උතුම් පටිච්ච සමුප්පාද ධර්මයේ පරිපූර්ණ අර්ථයයි. මේ උතුම් අර්ථය නුවණින් මෙනෙහි කිරීමෙන් ම, උපතිස්ස තරුණයා උතුම් සෝවාන් ඵල අවබෝධය ලබනවා. අස්සජී මහරහතන් වහන්සේ, උපතිස්ස තරුණයාට “මම නවකයෙක්මි, පැවිදි වී නොබෝ කල්ය, මම ඔබට ධර්මය විස්තර වශයෙන් දේශනා කිරීමට අපොහොසත්ය” යැයි කරන ප්‍රකාශය පතපොත දැනුම නිසා සක්කායදිට්ඨිය වර්ධනය කොට ගන්නා අපිට, දැනුමත් අවබෝධයන් අතර ඇති පරතරය සිහිපත් කොට දෙන සුන්දර කමටහනක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් කලෙක, කෙළෙස් නිවන වීර්යය ඇත්තා වූ, ඒ කියන්නෙ සම්මා සතිය පිහිටියා වූ, ධ්‍යාන කරන්නා වූ ඒ කියන්නෙ විදර්ශනාමය සම්මා සමාධිය පිහිටියා වූ, බැහැර කළ පව් ඇති, රහතන් වහන්සේට හේතු ප්‍රත්‍ය ධර්මයන් වන පටිච්ච සමුප්පාද ධර්මයෝ ප්‍රකටව වැටහෙනවා. එම රහතන් වහන්සේ තම ජීවිතය පටිච්ච සමුප්පාද ධර්මය තුළ බහා බලමින්, පටිච්ච සමුප්පාද ධර්මයේ සමුදය සහ නිරෝධය මැනවින් දකිනවා. එකල්හි එම රහතන් වහන්සේ තමා තුළ අවිද්‍යාව ක්ෂය වී ඇති බවට සියලූ සැකයන් දුරු වී, එම රහතන් වහන්සේ මරසෙන් පලවා හැර, අහස බබළවන්නා වූ හිරු මෙන් වැඩිසිටිනවාය” කියල. උපතිස්ස තරුණයාට අස්සජී මහරහතන් වහන්සේ මුණගැසෙන අවස්ථාවේ එම රහතන් වහන්සේ පැවිද්දට නවකයෙක් වශයෙන් විස්තරාත්මකව ධර්මය දේශනා කිරීමට නොදැන සිටියත්, උන්වහන්සේ අවිද්‍යාව ක්ෂය කොට අහසේ බබළන හිරු සේ, මහපොළොව මත වැඩිසිටිය උත්තමයෙක්. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පරිපූර්ණ වශයෙන් නිරෝධය කළ උත්තමයෙක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “තෘෂ්ණාව මනා කොට සිඳ දැමූ, රහතන් වහන්සේ ගේ ඇස් හමුවට, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු දිව්‍ය මය, බ්‍රහ්ම මය, මනුෂ්‍ය මය රූපයෝ පැමිණෙත්ද, ඒ රහතන් වහන්සේගේ සිත එම රුව, නොම අල්ලා ගනී, සිත ඵස්සය අසල නොසෙල්වන ස්වභාවයෙන් පවතියි” කියල. මහා ගල් පර්වතයක්, බලවත් සුළි සුළඟක් ඉදිරියේ නොසෙල්වී සිටින්නේ යම් සේද රහතන් වහන්සේ ගේ දෑස් හමුවට, කන් හමුවට, කොතරම් මිහිරි රූපයන්, මිහිරි ශබ්දයන් පැමිණෙත්ද එම රහතන් වහන්සේ නොසැලෙන බවට පත්වන්නේය,” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුහුවී සකස් වෙන, රහතන් වහන්සේ ගේ ඵස්සය, අවබෝධාත්මක ඤාණදර්ශනයන් ඉදිරියේ, නොසෙල්වි සිටියත්, ඉන් මෙහා අපි පටිච්ච සමුප්පාද ධර්මයන් නොදැනීම නිසාත්, පටිච්ච සමුප්පාද ධර්මයන් සක්කායදිට්ඨියෙන් ගැනීම නිසාත්, සිය කැමැත්තෙන් ම මිථ්‍යාදෘෂ්ටික භාවය දෙසට පියවර තබනවා. වරක් දෘෂ්ටීන්ගේ සිරකරුවෙක් බවට පත්වී සිටි පින්වතෙක්, බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා, අපූරු දෘෂ්ටිගත ප්‍රශ්නයක් විමසනවා. එම ප්‍රශ්නය තමයි, “භාග්‍යවතුන් වහන්ස, සියල්ල අනාත්ම නම්, එම අනාත්මයේ සිට කරන කර්මයන්, විපාක දෙන්නේ කොහේදීද” කියල. ප්‍රශ්නය තුළ පණ්ඩිතකම තිබුණත්, ලෞකික ප්‍රඥාව එහි ගෑවිලාවත් නැහැ. බුදුරජාණන් වහන්සේ එම පින්වතාට පිළිතුරු දෙනව, “ඔය දෘෂ්ටිගත විතර්ක වලින් බැහැර වෙලා. රූපයේ අනිත්‍ය භාවය දකින්න. රූපය ඇසුරෙන් සකස් වෙන ඵස්සයේ අනිත්‍ය භාවය දකින්න, ඵස්සය හේතුවෙන් සකස් වෙන වේදනාවේ අනිත්‍ය භාවය නුවණින් දකින්න, එවිට ඔය දෘෂ්ටීන් පහව යයි” කියල.
ඵස්සය අවිද්‍යාවෙන් පෝෂණය වුණ තැන විඳීම් සකස්වෙන්නේ මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරන, ඇලීම් සහ ගැටීම් දිශාවටය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “දෘෂ්ටීන්ගේ ඉපදීම, දෘෂ්ටීන්ගේ ආශ්වාදය සහ දෘෂ්ටීන්ගේ ආදීනවය නොදන්නා අනුවණ පින්වතා, දෘෂ්ටීන් කෙරෙහි තෘෂ්ණාවෙන්, එම දෘෂ්ටිය උපාදානය කොට ගෙන, භව ගමනේ මිථ්‍යාදෘෂ්ටිය කරා ම ගමන් කරනවා”ය කියල. බුදුරජාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ කෙළෙස් දුරු කර ගැනීම සඳහා දස සඤ්ඤාවන්ට අදාළ ප්‍රහාණ සඤ්ඤාවේදී දේශනා කරනවා. “පින්වතුනේ, ඔබ තුළ සකස් වෙන නිවනට අහිතකර වන කාම විතර්ක, නිරතුරුව ම බැහැර කරන්න” කියල. “ඇස පිනවීම උදෙසා සකස් වෙන විතර්ක, කන, නාසය, දිව, ශරීරය, මනස, පිනවීම උදෙසා සකස් වෙන කාම විතර්කයන් බැහැර කරන්න” කියල. “පින්වත් ඔබ තුළ සකස් වෙන නිවනට අහිතකර වන, හිංසාකාරී විතර්කයන්, තමන්ට හිංසාකරවන අනුනට හිංසාකරවන, මිථ්‍යාදෘෂ්ටියේ විතර්කයන් තමන් කෙරෙහි, සහ අනුන් කෙරෙහි අනුකම්පාවෙන් සිහියෙන් යුතුව බැහැර කරන්නය” කියල.
යම් පින්වතෙක් අසත්පුරුෂ ආශ්‍රය සහ මිච්ඡා ධර්මයන් ශ්‍රවණය කිරීම හේතුවෙන්, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ හිංසාකාරී විතර්කයන් ගේ ගොදුරක් බවට පත් වුණොත්, එම පින්වතා, “මම අන්‍යයන්ට වඩා විශිෂ්ට වෙමි, මම අන්‍යයන් හා සම වෙමි, මම අන්‍යයන්ට වඩා හීන වෙමි.” කියන ත්‍රිවිධ මාන්නයට පත්වී, අන්‍යයන් හා වාද විවාද කිරීමට, අන්‍යයන්ට අභියෝග කිරීමට, පෙළඹෙනවා. ඉහත ත්‍රිවිධ මාන්නයෙන් මිදුණ තැනැත්තාට, ඔහුට වඩා විශිෂ්ටය, ඔහුට වඩා හීනය, ඔහු හා සමය කියන හැගීමක් ඇත්තේ ම නැහැ. ඒ උත්තමයාටයි, අපි රහතන් වහන්සේ කියල කියන්නෙ. උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය තුළ තම ජීවිතය විසුරුවා දකිනවා.
පසුගිය දවසක භික්ෂුව මුණගැසෙන්න පින්වත් මහත්මයෙක් පැමිණියා, තද පැහැති ඇඳුම් කට්ටලයකින් සැරසී, පැමිණ සිටි මේ මහත්මයා අතේ ෆයිල් කවරයකුත් තිබුණා. සටහන් සහිත ෆයිල් කවරය දකින කොටම, භික්ෂුව තේරුම් ගත්තා. මේ පින්වත් මහත්මයා විතර්ක බහුල කෙනෙක්ය කියල. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වන අපට, මධ්‍යම ප්‍රතිපාදාවට අදාළව, අල්පේච්ඡතාවයට, ලද දෙයින් සතුටුවීමට අදාළව, තුන් සිවුරයි, පාත්‍රයයි කියන සීමාව තුළ අපගේ අවශ්‍යතාවන් සීමා කොට තිබෙන්නෙ, අප තුළ කාම, අව්‍යාපාද, අවිහිංසා විතර්කයන් සීමා කිරීම උදෙසා මය. තුන්සිවුරයි, පාත්‍රයයි කියන සීමාවෙන් ඔබ්බට යන ප්‍රමාණයට අප තුළ කාම විතර්කයන් බුර බුරා නැගෙනවා.
රූප අයිති කොට ගැනීමට යන ගමනේදී අප තුළ අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, හේතුවෙන් මොන තරම් නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කයන්, අපි ඇති කොට ගන්නවාද..? ඉහතින් සටහන් කළ, භික්ෂුව මුණගැසීමට පැමිණි විතර්ක බහුල පින්වතා, භික්ෂුවගෙන් ඇසුව පළමුවැනි ප්‍රශ්නය වූයේ, “ස්වාමින් වහන්ස මම මේ ලෝකයට පැමිණියේ මගේ වුවමනාවට නොවේ, මේ ජීවිතය මට ලැබුණේ මම ඉල්ලලා නොවේ. මේ ජීවිතය මට ලැබුණේ මගේ වුවමනාවට නොවේ නම්, මගේ ඉල්ලීමකට නොවේ නම්, මම මොකටද මේ ජීවිතය සෝවාන් ඵලයට පත් කරන්නේ” කියල. බලන්නකො රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි, තෘෂ්ණාව ඔඩු දුවපු අවිද්‍යාව, විතර්ක මතු කරන අපූරුව. භික්ෂුව එම මහත්මයාට ලබාදුන් පිළිතුර වුණේ, මහත්මයෝ, මහත්මයා කොහොමද කියන්නෙ, මේ ජීවිතය ඔබට ලැබුණේ ඔබේ වුවමනාවට නොවේය කියල. මහත්මයාගේ පටිච්චසමුප්පන්න පෙර ජීවිතයේ අවසාන චුති සිත ‘තෘෂ්ණා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති,’ කියන මහත්මයා තුළම පෙර ජීවිතයේදී සකස්වුණ බැඳියාව කැමැත්ත, වුවමනාව, හේතුවෙන් මයි ඔබට මේ ජීවිතය ලැබුණේ කියල.
අපි දුප්පත් වුවත්, පොහොසත් වුවත්, උගත් වුවත්, නූගත් වුවත්, ලස්සන වුවත්, අවලස්සන වුවත් අපි කාටවත් කියන්න අයිතියක් නැහැ, “මගේ වුවමනාවට, මගේ කැමැත්තට නොවේ, මේ ජීවිතය මට ලැබුණේ” කියල. පටිච්ච සමුප්පන්නව පෙර ජීවිතයේදී තමන් සිදු කළ සංස්කාරයන්ට අදාළව, තමා තුළ ම සකස් වූ, “තෘෂ්ණා පච්චයා උපාදානං” කියන බැඳියාවයි, භවාත්‍රය තුළ ඔබේ පටිච්චසමුප්පන්න මේ උපත සකස් කොට දුන්නේ. භික්ෂුව ලබාදුන් ඉහත පිළිතුරට අභියෝග කළ නොහැකි බව තේරුම්ගත් ඉහත විතර්ක අධික මහත්මයා, පළමු ප්‍රශ්නය අමතක කොට දෙවැනි ප්‍රශ්නයක් යොමු කළා. එම පින්වත් මහත්මයාගේ දෙවැනි ප්‍රශ්නය වුණේ, “ඔබ වහන්සේ ඔය කියන්නෙ පටිච්චසමුප්පන්න ධර්මයෙන්, පටිච්චසමුප්පාද ධර්මය පැත්තකින් තියමුකෝ, අපි කවදාද ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලියට ඇතුළත් වුණේ, ඊට පෙර අපි කොහේද සිටියේ” කියල. එම විතර්ක අධික මහත්මයාට, භික්ෂුව ලබාදුන් පිළිතුර වූණේ, “මහත්මයෝ පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් තොර සත්ත්වයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. සත්ත්වයෙක් නම් ආයතන හය හෙවත් සළායතන තිබෙන්න ඕනේ, සළායතන තිබෙන්න නම් නාම රූප ධර්මයන් සකස් වෙන්න ඕනේ, නාම රූප ධර්මයන් සකස් වෙන්න නම්, විඤ්ඤාණය සකස් වෙන්න ඕනේ, විඤ්ඤාණය සකස් වෙන්න නම් සංස්කාර රැස්වෙන්න ඕනේ, සංස්කාර රැස්කරන්න නම් අවිද්‍යාව තිබෙන්න ඕනේ. ඉහත ධර්මතාවන් සියල්ලම සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මතාවය තුළයි” කියල…!
තෙරුවන් සරණයි.