විසි හතර පැයේ ගිලිහෙන සිල්පද.

පිංවත, අපේ රටේ දේශපාලනය කියන්නේ සම්මා ආජීවයක් ද එසේත් නැතිනම් මිච්ඡා ආජීවයක් ද? පිංවත, අපේ රටේ දේශපාලනය සම්මා ආජීවයක් නම් අපේ පිංවත් දේශපාලන පිංවතුන්ලාට සම්මා සතියක් සහ සම්මා සමාධියක් තිබෙන්නට ඕනේ. සත්‍යකින්ම අපේ රටේ දේශපාලනය මිච්ඡා ආජීවයක්. දේශපාලනය මිච්ඡා ආජීවයක් වූ කල්හි අපේ උරුමය වෙන්නේ මිච්ඡා සතියෙන් පෝෂණය වෙන පංච නීවරණ ධර්මයෝමයි. මේ උමතු පංච නීවරණයෝ පෙරළා පෝෂණය කරන්නේ දුකේ වියරුව වන අවිද්‍යාවමයි. පිංවත, සමාජය පෙළගස්වන්නේ අවිද්‍යාව දිශාවට නම් අවිද්‍යාවේ ගමනාන්තය ජාති, ජරා, ව්‍යාධි, මරණම බව අපි සිහි නුවණින් තේරුම් ගන්න ඕනේ. පිංවත, අපේ මිච්ඡා සතිය මුල් වී පංච නීවරණයෝ රජ කරවීමේ විපාකයන් හදවතින්ම අපි භුක්ති විඳිනවා. පිංවත, සප්ත බොජ්ඣඬ්ඟයෝ රජ කරවන්න. දුකට එකම හේතුව අවිද්‍යාව යැයි දන්නා සති සම්බොජ්ඣඬ්ඟය පමණක්මයි, අපේ රටේ තෘෂ්ණාවෙන් උමතු දේශපාලනයට වැටෙන මල් වැස්සක් වෙන්නේ. සිතුවිල්ලෙන් සිතුවිල්ලට අකුසලයේ අකල් වැසිම කඩා හැලෙන අපේ රටේ දේශපාලනයට පිංවත් ඔබ සති සම්බොජ්ඣඬ්ඟයේ මල් වැස්සක්ම වෙන්න. අකුසලයේ අකල් වැසි වලට කොටු වී පණ අදින ධම්ම විචය බොජ්ඣඬ්ඟය අපේ රටේ දේශපාලනය තුළ යළි ජීවත් කරවන්න. උතුම් ධම්ම විචය බොජ්ඣඬ්ඟයමයි ජාතිය යළි වීර්යය බොජ්ඣඬ්ඟයෙන් නැගී සිටුවන්නේ.

පිංවත, අපි ජීවත්වෙන සමාජය තුළ සත්පුරුෂ ධර්මයන්, කෘතවේදී ධර්මයන් හුඟාක් අඩුයි. අපි මේ දේවල් සමාජයෙන් බලාපොරොත්තු වුණොත් අපිට ඉතිරි වෙන්නේ ඇලීම් සහ ගැටීම් පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුව, තම භික්ෂු ජීවිතයේ දී සමාජයෙන් කිසිවක්ම බලාපොරොත්තු වුණේ නැහැ. භික්ෂුව විශ්වාස කළේ භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සහ වර්තමාන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය පමණක්මයි. ලෝකය අවිද්‍යාවටම බාර දීලා අවිද්‍යාව හේතුවෙන්ම සකස්වෙන කුසල් සංස්කාරයන්ගෙන් අපේම අකුසල් සංස්කාර ලෝකය ජය ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. පිංවත, අපි මේ සැප සහ දුක් වේදනාවන් සමග කරන්නේ තරඟයක්. මේ තරඟයේ නිර්මාණකරුවා, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ අපේම කුසල් සහ අකුසල් සංස්කාරයි. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මායාකරුවා මගේම අතීත කුසල් සහ අකුසල් සමග මාව සටනට යොමු කරනවා. පිංවත, සත්පුරුෂ ධර්මයෝ, කෘතවේදී ධර්මයෝ සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. පිංවත් ඔබ දිවිහිමියෙන් සත්පුරුෂ වෙන්න. කෘතවේදී වෙන්න. එතැනයි පෙරළා ඔබට සත්පුරුෂ ධර්මයෝ සහ කෘතවේදී ධර්මයෝ ලැබීමේ මාර්ගය වෙන්නේ. පිංවත, ඔබේ අතීත අසත්පුරුෂ ධර්මයෝ සහ අකෘතවේදී ධර්මයන්ට අදාළව අකුසල් වැඩි නම්, ඉහත මාර්ගය දුර්වල වෙන්න පුළුවන්. පිංවත, කැඩපත ඉදිරියේ ඔබේම රූපයයි දර්ශනය වෙන්නේ. එම රූපය සුදු වුණත්, කළු වුණත්, නොඇලී සහ නොගැටී සතුටින් පිළිගන්න. පිංවත, වර්තමාන ලෝකය ඔබට අසත්පුරුෂකම් කරනවා නම්, ඉන් අදහස් වෙන්නේ ඔබේම අතීත අසත්පුරුෂ ධර්මයන්ගේ අමිහිරි හේතුඵල ධර්මයන්මයි.

අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලක අට වසරේ අධ්‍යාපනය ලබන දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට කිව්වොත්, ලොකු පන්තිවල අයියලා මොනවදෝ බීලා අපිට ලිංගික හිංසාවන් කරන්න එනවාය කියලා, එය බෞද්ධ පාසලකට මොනතරම් නම් අගෞරවයක් ද? පිංවත, මෙවන් කතාවන් අපිට දැන් ඕනෑවටත් වැඩියෙන් ඇසෙනවා. පිළිතුරක් නැති, විසඳුමක් නැති මෙවන් කතා ඉදිරියේ සමාජය නිද්‍රාශීලිවයි හැසිරෙන්නේ. තමන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. සියළුම මුල් පුටු තෘෂ්ණාව විසින්ම බදු අරගෙනයි තිබෙන්නේ. මුල් පුටු තෘෂ්ණාව විසින් බදු ගැනීමෙන් සමාජ ප්‍රතිලාභයන් බවට පත්වෙන්නේ ඇලීම් සහ ගැටීමයි. පිංවත, දුකට හේතුව රට කරවන රජයන් නොවේ. දුකට හේතුව තෘෂ්ණාවයි. ඔබේ ඉලක්කය විය යුත්තේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන වියරු තෘෂ්ණාවයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් හැටියට අපේ වගකීම විය යුත්තේ තෘෂ්ණාව සියුම් කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සමාජගත කිරීමයි. භික්ෂු සමාජයේ අපිත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජප කරමින්, තෘෂ්ණාව මුලට ගත්තොත් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කාගේ නම් ආරක්ෂාවක් ද? පිංවත, අපි ජීවත්වෙන සමාජයට අළුත් වෙනසක් අත්‍යවශ්‍යයි. අපි ගොඩාක් අවිද්‍යාවෙන් පරණ වෙලා. අපේ ජීවිතවල අවිද්‍යාව පුස් කාලා. ලෞකික සැපය කියලා අපි අල්ලා ගන්නේ දුකමයි. ඇත්ත වෙනුවට බොරුවමයි රජ කරන්නේ. අපේ ම වැරදි අපි සක්කාය දිට්ඨියේ වැලි වලින් වසා ගන්නේ, බළලෙක් තම අසූචි ගොඩ වැලි වලින් වසා දමනවා වගේමයි.

පිංවත, වර්තමානයේ අපිට අත්‍යවශ්‍ය ද්වේශය, වෛරය, පළිගැනීම නොවේ. මේවා සියල්ලම විනාශකාරී ධර්මයන්. නොසැලෙන තෘෂ්ණාවෙන් වියරු වැටුණ මාර ධර්මයන් ඉදිරියේ වරද අවිද්‍යාව බාර දෙන්න. වරදකරුවා සංස්කාරයන්ට බාර දෙන්න. එවිට අපේ දැනීම් අපිම කුසල් ධර්මයන්ට බාර කළා වෙනවා. පිංවත, අපි අසත්‍යයට යට වී ජීවත් වුණත් සත්‍යය අපි ඉදිරියේ තිබෙනවා. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අපි නොදකින තාක්කල් සැබෑ සත්‍යය අපිම සඟවා ගෙනයි ජීවත් වෙන්නේ. පිංවත, අපි සත්‍යය සඟවාගෙන ජීවත් වුණොත් බොරුකීමට අදාළ ශිල්පදය විසිහතර පැයේම අපෙන් ගිලිහී යනවා නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන සත්‍යය ඔබ ජීවිතයට ගත්තොත් ඒ සත්‍යයේ ශක්තියෙන්ම පංචශීලයේම ආරක්ෂාව ඔබට හිමි වෙනවා.

පිංවත, සංකිච්ච පුංචි ආයුෂ්මතුන්, දබ්බමල්ලපුත්ත පුංචි ආයුෂ්මතුන්, සෝපාක පුංචි ආයුෂ්මතුන්, නීග්‍රෝධ පුංචි ආයුෂ්මතුන් කුඩා වයසේදීමයි උතුම් පැවිදිභාවයට පත්වුණේ. අතීත සාංසාරික පටිච්චසමුප්පන්න පිනෙන් මොනවාට පෝෂණය වූ මේ පුංචි ආයුෂ්මතුන්ලා පුංචි සාමණේර වයසේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගැනීමට දක්ෂ වෙනවා. පුංචි ආයුෂ්මතුන්ලාගේ පුංචිකම උතුම් පැවිද්දට හෝ පැවිදිභාවයේ සාර්ථකත්වයට බාධාවක් වුණේ නැහැ. අතීත පුණ්‍ය ශක්තිය නිසාම මේ පුංචි ආයුෂ්මතුන්ලාට උතුම් රහතන් වහන්සේලාමයි උපාධ්‍යායන් වහන්සේලා වුණේ. උතුම් රහතන් වහන්සේලාගේ ගුරු ඇසුර නිසාම එම පුංචි ආයුෂ්මතුන්ලාගේ උතුම් පැවිදි ජීවිත කිරි ගහට ඇන්නා වගේ සාර්ථක වුණා. ඉන් අදහස් වෙන්නේ තම පැවිදි ගුරුවරයා, ගුරු ගෞරවය දරාගත් නායක හිමිනමක් නම්, ළමා වයස පැවිද්දට බාධාවක් නොවෙනවා කියන කාරණයයි. නමුත් වර්තමානයේ අපේ පැවිදි සමාජය තුළ කුමක් ද සිද්ධ වෙන්නේ? ළමා වයසේ පැවිදිවෙන හුඟාක් පුංචි ආයුෂ්මතුන්ලා නොමගට යොමු වෙනවා. එසේත් නැතිනම් සිවුරු හැර යනවා. පිංවත, මීට වගකිව යුත්තේ පුංචි සාමණේර හිමිවරුන්ගේ පුංචි වයස නොවේ. ගෞරවනීය පැවිදි ගුරුවරයා සෑම විටම තම පැවිදි ශිෂ්‍යයාට මහා බ්‍රහ්මයෙක් විය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් තම කුඩා පැවිදි ශිෂ්‍යයා දෙස බැලිය යුතුයි. ගෞරවනීය පැවිදි ගුරුවරයා තුළ මහා බ්‍රහ්ම ගුණයන් තිබෙනවා නම්, තම පිංවන්ත පැවිදි ශිෂ්‍යයාට, තම පැවිදි ගුරුවරයා කුසල් ඉල්ලමක්ම වෙනවා. මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් ගෞරවනීය පැවිදි ගුරුවරයාට වන්දනා කරද්දී, උපස්ථානය කරද්දී, කීකරු වෙද්දී, පුංචි සාමණේර ආයුෂ්මතුන්ලාගේ පින, තව තවත් ශක්තිමත් වෙනවා. ඒ පිනමයි පැවිදිභාවයේ සාර්ථකත්වයට උපකාරී වෙන්නේ. ගෞරවනීය පිංවත, ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම ලෞකික ප්‍රඥාවේ අර්ථයන් දුර්වල වෙන සමාජයක මුලින්ම කණ කොකා හඬන්ගේ ශීලයටයි. ශීලයට කණ කොකා හඬද්දී සතිය, සමාධිය, විදර්ශනා ප්‍රඥාව කෞතුක ධර්මතාවයන් බවටයි පත්වෙන්නේ.

ගෞරවනීය පැවිදි ගුරුවරයා මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් ශක්තිමත් වුණොත් පමණක්මයි, තම පැවිදි ශිෂ්‍යයා අනාගතයේ දී ගුණාත්මක මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් පැවිදි ගුරුවරයෙක් බවට පත්කොට ගැනීමට හැකි වෙන්නේ. එක පරම්පරාවක් උපයෝගී කොටගෙන අනාගතයේ දී තව පරම්පරාවක් ගුණාත්මකභාවයට පත්කොට දීමේ මහා ශක්තියක් උතුම් බ්‍රහ්ම ගුණයන් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් තුළ තිබෙනවා. ගෞරවනීය වැඩිහිටි අපි, අපේ පැවිදි ශිෂ්‍යයාට මහා බ්‍රහ්ම ගුණයක් නොවී, අවම වශයෙන් මනුෂ්‍ය ධර්මයනුත් ගිලිහී ගිය අමනුෂ්‍ය ධර්මයන්ගෙන් සැලකුවොත් වර්තමාන සහ අනාගත පැවිදි පරම්පරාවන් දෙකම අනතුර දිශාවටමයි ගමන් කරන්නේ. ගෞරවනීය උපසම්පදා ගුරුවරුන් වේවා, පිංවත් සාමණේර හිමිවරුන් වේවා දෙපාර්ශවයේම සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයයි, උතුම් සංඝ සමාජයම පුණ්‍ය කෙතක් බවට පත්කරන්නේ. අවුරුදු දහයට අඩු වයසේ දී පැවිදි වෙලා සුපේෂල, ශික්ෂාකාමී පැවිදි උතුමන් බවට පත් වූ ඕනෑ තරම් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා අපි අතර වැඩ සිටිනවා. මේ සාර්ථකත්වයට හේතුව එම ස්වාමීන් වහන්සේලාගේ පෙර පුණ්‍ය ශක්තිය නිසාම ලැබුණු මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් පෝෂණය වූ සත්පුරුෂ ගුරු ඇසුරමයි. අවිද්‍යාව ශක්තිමත් වෙද්දී මුලින්ම පිරිහීමට පත්වෙන්නේ ගුරුවරයායි. දෙවනුවයි ශිෂ්‍යයාගේ පිරිහීම ආරම්භ වෙන්නේ. මේ සියළු පිරිහීම් වලට මුල් වෙන්නේ පිංවත් අධර්මිෂ්ට පාලක පිංවතුන්ලාගේ බලකාමී, තෘෂ්ණාධික වැරදි පූර්වාදර්ශයන්මයි. පිංවත, සියළු ධර්මිෂ්ට ධර්මයන් පිරිහී යන සමාජයක ළමා පැවිද්ද ගැන සමාජය බොහෝම සිහි නුවණින් කටයුතු කරන්නට ඕනේ. සාංසාරික පුණ්‍යවන්ත උපාදානයන් ඔස්සේ උතුම් පැවිදි ජීවිත ලබන කුඩා සාමණේර ආයුෂ්මතුන්ලාගේ උතුම් පැවිදි සිහින අකාලයේ මරා දැමීම අහස පොළොව නුහුල්ලන අපරාධයක්ම වෙනවා.

පිංවත, ඔබ වැරදි නැහැ. ඔබව වරදට පොළඹවන්නේ අවිද්‍යාවයි. ඔබ, ඔබ දෙස නොබලා, අවිද්‍යාව දෙස බලන්න. එවිට ඔබට වැටහේවි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොතෙක් නම් දුරස් වෙලා ද කියලා. ආස්වාදයට අදාළ සියල්ල අපිට සමීප වෙද්දී, නිස්සරණයට අදාළ සියල්ල අපෙන් ගිලිහී යනවා. පිංවත, ඔබ අසරණ නැහැ. ඔබට සරණක් තිබෙනවා. මිච්ඡා සතියට ඉඩ නොදී සම්මා සතියෙන් නැගී සිටින්න. අපරාජිත දහමක ආත්මගරුත්වය රැකදීමේ වගකීමක් ඔබේම සංස්කාර විසින් ඔබට පරවා දී තිබෙනවා. නොවටිනා ජීවිතයකට වටිනාකමක් දුන්න මේ උතුම් සම්මා සම්බුදු ධර්මය, නොමළ ජීවිතවල මළ ධර්මයක් බවට පත්කරන්න එපා. පිංවත් ඔබේ ජීවිතය තුළින් ධර්මය ජීවත් කරන්න. පිනෙන් උපන් ඔබ, පවට ජීවිතය බාර දී පුණ්‍යවන්ත උපන් බිමට සමුදෙන්න එපා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023/06/04 ඉරුදින දිවයින පුවත්පත.