පිිළින්දිවච්ච රහතන් වහන්සේ.

බුදුන් වහන්සේ පිළිබඳවත් රහතන් වහන්සේලා පිළිබඳවත් සමාජයේ විවිධ මතවාදයන් මතුවෙමින් තිබේ. බොහෝ දෙනා තම තමන්ට සිතෙන සිතෙන ආකාරයට බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත් පිළිබඳව අර්ථකතන දෙති, විස්තර කරති, විග්‍රහ කරති. එපමණක් නොව ඔවුන් විසින් සාදාගත් රාමුවලට නොගැලපෙන කිසිවෙක් එබඳු උතුමන් විය නොහැකියයි ඔව්හු සිතති. නමුත් ගෞතම බුදු සසුනේ එකල වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ චරිත විස්තර පිලිබඳ සොයා බැලීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ බොහෝ දෙනා සිතාගෙන සිටින අදහස්, දමාගෙන සිටින රාමු වැරදි සහගත බවයි. මෙම උත්තම චරිතයන් පිලිබඳ අධ්‍යයනය කිරීම, අවබෝධයට පත් වුවන් යනු කෙබඳු උතුමන්දැයි අපට වටහා ගැනීමට මහත්සේ උපකාරී වෙයි.

අද අපි අවධානය යොමු කරන්නට සුදානම් වන්නේ ගෞතම බුදු සසුනේ තවත් එක් සුවිශේෂී චරිතයක් දෙසටයි. ගෞතම බුදු සසුනේ දෙවියන්ට ප්‍රිය වූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයෙන් පිදුම් ලද උන්වහන්සේ පිලින්දිවච්ච මහරහතන් වහන්සේයි. (මනෝරත පුරණි-අංගුත්තරනිකායට්ටකතා, අංගුත්තරනිකාය එතදග්ගපාළි) උන්වහන්සේගේ චරිතය තුලින් වත්මන් සමාජයට උකහා ගත හැකි ආදර්ශයන් බොහෝය. පැවිදි වන්නට පෙර සිටම සුවිශේෂී ගුණාංග පෙන්වූ පිලින්දිවච්ච තරුණයා, තරුණ වියට එළඹෙත්ම චුල ගාන්ධාර විද්‍යාව ප්‍රගුණ කර අහසින් ගමන් කිරීම, අන්‍යන්ගේ සිත් කියවීම ආදී බොහෝ ශිල්ප ක්‍රම විදහා දක්වමින් බොහෝ ප්‍රසිද්ධව සහ සමාජයෙන් ගරු සැලකිලි ලබමින් විසුවේය. තමන් කෙතරම් දක්ෂයෙකු වුවත්, ගෞතම බුදුන් වහන්සේ මොහු සිටි රජගහ නුවරට වැඩීමත් සමගම තමන්ගේ චුලගාන්ධාර විද්‍යාව දියුණු නොවන බව දුටු මේ පිලින්දිවච්ච තරුණයා, එසේ වන්නේ බුදුන් වහන්සේ සතුව මහා ගාන්ධාර විද්‍යාව තිබෙන නිසා බව දැන, කිසිදු පැකිලීමකින් තොරව උන්වහන්සේ වෙත ගොස් තමන්ට මහා ගාන්ධාර විද්‍යාව උගන්වන්නැයි ඉල්ලා සිටින්නට තරම් නිහතමානී වුහ.

අහසින් නොව පොලවට වඩා අඟල් කීපයක් උඩින් වාහනයකින් යන්නට හැකි වූ පමණින්, දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන් පවා අමතක වන, අනෙක් අය තමන්ට වඩා පහත්යැයි සලකන, අන් මත නොඉවසන, තමන් සියල්ල දන්නේයැයි සිතන මිනිසුන් සිටින වත්මන් ලෝකයට පිලින්දිවච්ච තරුණයාගේ මේ නිහතමානී කමෙන් ගත හැකි ආදර්ශය කෙතරම් අගනේද? මහා ගාන්ධාර විද්‍යාව බුදුන්වහන්සේගෙන් උගනිමියි සිතා ගෞතම බුදු සසුනෙහි පැවිදි වූ මේ තරුණයා එතැන් පටන් පිලින්දිවච්ච තෙරණුවෝ නම් විය. බුදුන් වහන්සේගෙන් සුදුසු කමටහන් ලද මේ පිලින්දිවච්ච තෙරණුවෝ මහත් වීර්යයෙන් කටයුතු කර ඉතාම කෙටි කලකින්ම සිව්පිලිසිඹීයාපත් මහ රහතන් වහන්සේ නමක් වුහ.

මහරහතන් වහන්සේ නමක් වුවත් උන්වහන්සේ බොහෝ විට අන්‍යන්ට ඇමතුවේ වසලාවාදයෙනි. “එව වසලය” “යව වසලය ” ආදී වශයෙන් කරන මේ ඇමතීම ඉවසනු නොහැකි වූ භික්ෂුහු මේ ගැන බුදුන් වහන්සේට සැල කර සිටි කල්හි, උන්වහන්සේ පිලින්දිවච්ච මහ රහතන් වහන්සේ තමන් වෙත කැඳවා “සැබෑද පිලින්දිවච්චයෙනි මේ කතාව? ” යයි විමසා සිටි කල්හි ‘ “එසේය ස්වාමීනි ” යි උන්වහන්සේ එය පිළිගත්හ. ස්වාමින් වහන්ස්සේ නමකගෙන් උඹ, තෝ, කරපන් ආදී වචනයක් කියවුන විට පවා මේ නම් සිල්වතෙකු, ගුණවතෙකු, උතුමෙකු විය නොහැකි බවට අදහස් පල කරනා සමාජයට, පිලින්දිවච්ච මහරහතන් වහන්සේගේ වසලාවාදයෙන් ඇමතීමේ සිදුවීමෙන් ඉගන ගන්නට වටිනා පාඩමක් තිබේ. එමෙන්ම ඕනෑම වරදක් කර තමන් ඒ ගැන කිසිත් නොදන්නා සේ සිටින, නීතිය ඉදිරියෙහි පවා බොරුවම පවසන, බැලු බැලු අත බොරුවම රජයන වත්මන් සමාජයට, උන්වහන්සේගේ මේ ප්‍රකාශයෙන් වටිනා කරුණු ගණනාවක් ගෙන හැර දක්වයි. තමන් රහත් බව නොකියා කියන, කෙලින් කතා කරගන්නට බැරි බොරු රහතුන්ද බහුල වර්තමාන ලෝකයට , රහතන් වහන්සේලා යනු සැඟවුනු සිත් ඇත්තන් නොවන බවත්, ඔවුහු කෙලින් කතා කරන්නන් බවත්, ඔවුහු කල දේ කියන, කී දේ කරන උදාර මනුෂයන් බවත් තේරුම් ගන්නට මීට වඩා උදාහරණ අවශ්‍යය නැත.

මහරහතන් වහන්සේ නමක වුවත්, පෙර සසර පුරුද්දට මෙසේ ආමන්ත්‍රණය කරන බවත්, කිසිදු ද්වේශ සිතකින් එසේ නොකරන බවත් වදාළ බුදුන්වහන්සේ අන් භික්ෂුන්ගේ දුර්මත දුරු කල සේක. (උදාන පාලි-නන්ද වර්ගය-පිලින්දිවච්ච සුත්‍රය, මනොරතපුරණි, ධම්මපදට්ටකතා.)

පිලින්දිවච්ච මහරහතන් වහන්සේගේ මහානුභාව සම්පන්න බව හෙළි වන ඉතා ප්‍රකට අවස්ථාවක් වන්නේ එක්තරා පුද්ගලයෙකු සතුව තිබු තිප්පිලි මුට්ටියක් මී බෙටි බවට පත්කරවීමේ සිද්දියයි. උන්වහන්සේ වඩිනා පෙරමගට පැමිණි මේ පුද්ගලයා රැගෙන යන මුට්ටිය දුටු උන්වහන්සේ ” ඈ බොල වසලයෝ ඔය මුට්ටියේ මොනවාදැයි? ” ඇසු කල, මෙසේ ඇමතීමෙන් කෝපයට පත් මේ පුද්ගලයා “මේ මී බෙටි ටිකක් ” යයි කීහ. ” එසේනම් එය එසේම වේවා ” යි උන්වහන්සේ කිවූ ක්‍ෂණයෙහි තිප්පිලි සියල්ල මී බෙටි බවට පත්වූ නියාව දැක මහත්සේ භයටත් දුකටත් පත්වූ මේ මෝඩ මිනිසා අන්‍යන්ගේද උපදෙස් මත නැවත උන්වහන්සේ ඉදිරියට ගිය කල්හි උන්වහන්සේ නැවතද පෙර ලෙසම ඇසුහ. ” මේ තිප්පිලි ටිකක් ” යයි ඔහු කී කල “එය එසේම වේවා” යි උන්වහන්සේ පිළිවදන් දුන් ක්‍ෂණයෙහි මී බෙටි සියල්ල නැවත තිප්පිලි බවට පත්විය. (මනොරතපුරණි,-අංගුත්තරනිකායට්ටකතා) උන්වහන්සේගේ ආනුභාවය කෙතරම්ද යන්නත්, වසාලාවාදයෙන් ඇමතීමේ පුරුද්ද කෙතරම් සාමාන්‍ය වුවක්ද යන්නත් වටහා ගන්නට මේ කදිම අවස්ථාවකි. එමෙන්ම රහතන් වහන්සේලා යනු අතීත සිදුවීම් හිතේ තියාගෙන සිටින්නන් නොවන බවත් ඔවුන් වර්තමානයෙහි ජීවත් වන්නන් බවත් තේරුම් ගන්නටද මේ කදිම උදාහරණයකි. විශේෂයෙන්ම එවන් උතුමන් සමග කතා බහ කිරීමේදීත්, එවන් උතුමන් විවේචනය කිරීමේදීත් කෙතරම් ප්‍රවේශම් සහගත විය යුතුද යන්න මින් මොනවට පැහැදිලි වේ.

පිලින්දිවච්ච මහරහතන් වහන්සේ දිනක් තමන්ට වාසය පිණිස රජගහ නුවර වන පෙදෙසක තිබු ගල් ලෙනක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියහ. එතනින් යමින් සිටි සේනිය බිම්බිසාර රජු මේ දැක පැමිණ. කුමක් සඳහා ශුද්ධ කරන්නේදැයි විචාරා, උන්වහන්සේට ආරාමිකයෙකු දීමට කැමැත්ත පල කළහ. තමන් වහන්සේලාට ආරාමිකයෙකු තබා ගැන්මට අවසර දී නැතැයි පිළිවදන් දුන් උන්වහන්සේ බුදුන් වහන්සේට මේ ගැන දැන්වූ කල්හි, බුදුන්වහන්සේ භික්ෂුන් කැඳවා, ආරාමිකයෙකු තබා ගැන්ම සඳහා අවසර දුන් සේක. තම ගුරුවරයනට ගුටි බැට දෙන, ගුරුන්ට එරෙහිව නඩු කියන වත්මන් පරපුරට පිලින්දිවච්ච මහරහතන් වහන්සේ දුන් ආදර්ශය කදිමය. තමන් වහන්සේ මහරහතන් වහන්සේ නමක්ව සිටියද, තම ශාස්තෘන් වහන්සේගේ අනුදැනුමකින්, අවසරයකින් තොරව එවැන්නක් නොපිලිගනීමට තරම් උන්වහන්සේ නිහතමානී විය, ගුරු ගෞරවයෙන් යුක්ත විය. එමෙන්ම තමන්ට කෙතරම් ආනුභාව සම්පන්න බවක් තිබුනද තමන් විසින්ම ගල් ලෙන ශුද්ධ කිරීමෙන් පෙන්වන්නේ උන්වහන්සේලා කෙතරම් සාමාන්‍ය ලෙස ජීවත් වූ අයද යන්නයි. පටු සීමා වලට කොටු වී මෙවන් උතුමන් හඳුනා ගන්නට අසාර්ථක වෑයමක යෙදෙන්නන්ට රහතන් වහන්සේලා යනු කෙබන්දන් දැයි යම් අදහසක් ගන්නට මේ අගනා අවස්ථාවකි.

කෙසේ වුවත් බිම්බිසාර රජුට මේ ආරාමිකයෙකු දීමේ පොරොන්දුව අමතක වීම නිසා අවසානයෙහි, අතපසු වූ කාලයටද සරිලන්නට උන්වහන්සේට ආරාමිකයන් පන්සියයක්ම ලබා දෙන ලදී. පිරිස විශාල බැවින් මේ පිරිස උදෙසා ගමක්ද බිහිවිය. දිනක් මෙගම පිඬු සිඟා වඩින පිලින්දිවච්ච මහරහතන් වහන්සේ එක් ගෙයක කුඩා දැරියක හඬනු දැක ඊට හේතු විමසන්නේ, අන් ළමුන්ට මෙන් ඇයට ආභරණ නැති නිසා හඬන බව දැන, අසල තිබු තණ කොළ වළල්ලක් ඇයගේ ගෙල පළඳවා එය මහාර්ඝ රන් මාලයක් බවට පත් කළහ. මේ දුටු ගම් වැසියෝ මොවුන්ට මෙතරම් වටිනා දේ කොයින්දැයි සැක සිතා රජුට මේ ගැන වාර්තා කල කල්හි සොරකම් චෝදනාව මත මේ දැරියත් අයගේ මවත් සිරභාරයට ගත්හ. පසු දින මෙපුවත් දැනගත් පිලින්දිවච්ච මහරහතන් වහන්සේ කෙලින්ම රජ මාලිගයට වැඩම කර බිම්බිසාර රජුගෙන් මේ ගැන විමසා සිටියහ. ඔවුන්ට එතරම් වටිනා දේ ලැබෙන්නට විදියක් නැතැයි රජු කී කල්හි, පිලින්දිවච්ච මහරහතන් වහන්සේ මුළු රජ මාලිගයම රන් බවට හරවා , ” එහෙනම් ඔබතුමාට මෙතරම් රන් කොහෙන්ද? ” යි විමසුහ. කාරණය වටහා ගත් රජතුමා එම මවත් දුවනියත් නිදහස් කළහ. උන්වහන්සේ තුල තිබු අයුක්තිය ඉදිරියෙහි නොසැලෙන ගුණාංගයත් , මහානුභාව සම්පන්න බවත් ප්‍රකට වන මේ අවස්තාව , රහතන් වහන්සේ කෙනකුගේ ස්වභාවය හඳුනා ගන්නට උපකාරී වන අවස්ථාවකි. වර්තමාන ලෝකයෙහි විවිධ කට කතා නින්දා අපහාස කරමින් උතුමන් හෙලා දකින අවස්තාවක , මේ පිලින්දිවච්ච මහරහතන් වහන්සේ කාන්තාවක සහ දැරියක වෙනුවෙන් පෙනී සිටීමේ සිද්ධිය විශාල පාඩමක් අපිට කියා දෙයි. අවබෝධයට පත් උතුමන් යනු අයුක්තිය අසාධාරණය දුටු තැන නොබියව එයට එරෙහිව නැගී සිටින අභීත පුරුෂයන් බව මින් අපට මානව පැහැදිලි වේ.

වරක් පිලින්දිවච්ච මහරහතන් වහන්සේගේ දායක නිවසකට සොරුන් පැන එම නිවසේ සිටි කුඩා දරුවන් දෙදෙනකු පැහැරගෙන යන ලදහ. මේ අවස්ථාවේ උන්වහන්සේ තමන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් එම දරුවන් දෙදෙනා නැවත නිවස තුලම ගෙනවිත් තැබුහ. (පාරාජිකා පාලි-ද්විතීය පාරාජිකය,සමන්තපාසාදිකා-විනයට්ටකතා) වර්තමානයෙහි මෙවැන්නක් වුයේ නම් එම දරුවන් දෙදෙනා උන්වහන්සේගේ යයි මිනිසුන් කියනු නොඅනුමානය. එහෙත් එකල සිටි බුද්ධිමත් ජනයා අවබෝධයට පත් උතුමන් යනු කෙතරම් ශ්‍රේෂ්ට, කෙතරම් අභීත, කෙතරම් කාරුණික පුද්ගලයන්දැයි දැන සිටියහ. පිලින්දිවච්ච මහරහතන් වහන්සේගේ මේ උතුම් ගුණාංගයන් ගැන පැහැදුන මනුෂ්‍යයෝ උන්වහන්සේට බොහෝ සෙයින් ගිතෙල්, වෙඬරු, සකුරු ආදී බෙහෙත් ද්‍රව්‍යය පුජා කළහ. ගිලන් බික්ෂුන්ට ලැබෙන ගිතෙල්, වෙඬරු, සකුරු ආදී බෙහෙත් ද්‍රව්‍යය සතියකට සරිලන ප්‍රමාණයක් ළඟ තබාගෙන වැළඳිය හැකියයි බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද මේ සිදුවීම මුල් කරගෙනයි.

පිලින්දිවච්ච මහරහතන් වහන්සේගේ චරිතය පුරා විහිදෙන අභීත සහ මහානුභාව සම්පන්නභාවය ප්‍රකට වන සිදුවීම් බොහෝ තිබේ. මේවා පිළිබඳව අධ්‍යනය කිරීමෙන්, අවබෝධයට පත් උතුමන්ගේ සැබෑම ස්වභාවය අපට කදිමට පැහැදිලි වේ.