පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය සහ ශීලය යම් තැනක ද එතැන සම්මා සතිය මල්වර වෙනවා. සතිය මල්වර වෙද්දී උපදින සම්මා සමාධියයි ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න ඔබව පුහුණු කරන්නේ. පින්වත, අපි සියල්ලෝම කවදාහරි දවසක මැරෙන මිනිසුන් මිස සදාකාලිකව ජීවත්වෙන මනුෂ්‍යයින් නොවේ. පින්වත, ඔබ කරන රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය ඔබේ මෙලොව පරලොව සැපය උදෙසා, සුගතිය උදෙසා, ඔබේ භව නිරෝධය උදෙසා විය යුතුයි. නමුත් අපි මේ කුමක් ද කරමින් සිටින්නේ? අපේ රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය කෙටි කාමයේ ආශ්වාදය උදෙසා කැප කරන්නේ අකුසලයේ සහ දුගතියේ දීර්ඝ ආදීනවය ගැන එකම සිතුවිල්ලකින්වත් නොතකා හරිමින්මයි. පින්වත, ධනයට, බලයට, කාමයන්ට අධිපති වෙන්නේ වසවර්ති මාරයාමයි. මොක ද ඉහත ධර්මයෝ සියල්ලම පිනේ ඵලයන්. බුදුරජාණන් වහන්සේ අධිපතිත්වය දරන්නේ ආර්ය ශීලයේ පටන් ආර්ය විමුක්තිය දක්වා වූ උතුම් විදර්ශනා අවබෝධයන්ටමයි. පින්වත, ධනය, බලය ඉදිරියේ සතිමත් වෙන්න. පින්වත් ඔබ අසිහියෙන්, බලහත්කාරයෙන් සොයා යන බලය තමාගේ පටිච්චසමුප්පන්න සුගතියේ සැපය අහිමි කරන මිච්ඡා බලයක් බව නුවණින් තේරුම් ගන්න. බලයට අවිචාරයේ ඇස් ලබාදෙන සක්කාය දිට්ඨියේ ගොදුරක් වෙන්න එපා.
පින්වත තවදුරටත් අකුසලයේ කෙටි ආශ්වාදයට නොරැවටී, පංචශීලය සුරකින සමාජයක් උදෙසා ජාති, ආගම්, කුල, දේශපාලන භේදයන්ගෙන් තොරව සමගියෙන් එකමුතු වෙන්න. ධර්මයෝ ධර්මයන්මයි පෝෂණය කොට දෙන්නේ. අපි හැමෝගේම පරම බලාපොරොත්තුව යම් පමණකට හෝ සිල්වත් සාධාරණ සමාජයක් නම් අපි සමාජය තුළ ප්‍රවර්ධනය කරන්න ඕනේ මෛත්‍රියේ ශක්තියෙන් පෝෂණය වූ ශීලයයි. පින්වත, ඔබට මුණගැසෙන පින්වතුන් සමග අවංකව සිනා සෙන්න. එම අවංක සිනහව හේතුවෙන් ඔබට මෛත්‍රියේ ආනිශංස එකොළහක් ඔබේ ජීවිතයට ලැබෙනවා. ඔබේම තොල් පෙති විවරකොට අවංකව කෙරෙන සිනහවක් තුළින්, වචන පෙළක් තුළින් මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක් ඔබට ලැබෙනවා නම්, පින්වත අපි පිනේ පාරාදීසයකයි ජීවත් වෙන්නේ. පින්වත තවදුරටත් ඔබේ ජීවිත තුළින් පින ඉඩෝරයට හසුවෙන්න දෙන්න එපා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය අපේ දෑස් පියවෙන්නට පෙරාතුව ඔප්පුකොට පෙන්වන්න ඕනේ. ශීලයේ සැබෑ ආනිශංසයන් වන ජාතියක් හැටියට ලෝකයා ඉදිරියේ ලබන ජනප්‍රියභාවය, ලෝකයාට ණය නොවී ලබන ආර්ථික සහ බවබෝග සම්පත්වල සංවර්ධිතභාවය, ජාත්‍යන්තරයේ උපක්‍රමශීලී අභියෝගයන් ඉදිරියේ නිවට නොවීමේ ශක්තිය පින්වත මේවා සීලයේ ආනිශංසයන්. පින්වත දෙවියන්ට, මනුෂ්‍යයින්ට සහ අමනුෂ්‍යයින්ටත් ප්‍රියවෙන එකම ධර්මතාවය උතුම් මෛත්‍රියයි.
පින්වත අතීතයේ ලෝකයේ ජීවත්වුණ විදේශීය මහත්මයෙක්ගෙන් ඇහුවොත් ඔබ වඩාත්ම ප්‍රියජනක රට කුමක් ද කියලා, එම විදේශිකයා ගත් කටටම කිව්වේ ශ්‍රී ලංකාව කියලයි. පින්වත ඔබේ පින්වන්ත මාතෘභූමිය අතීතයේ එවන් ප්‍රසාදයක්, අභිමානයක්, ජනප්‍රියභාවයක් ලෝකයා ඉදිරියේ ලැබුවේ අපේම අතීත ජනතාවගේ මෛත්‍රියේ, ශීලයේ ආනිශංස ධර්මයන් නිසාමයි. පින්වත වර්තමානයේ කුමක් ද ඔබේ මාතෘභූමියට වෙලා තිබෙන්නේ? ලෝකයා ඉදිරියේ මාතෘභූමියේ ජනප්‍රියභාවය දුර්වල වෙලා. පින්වත් විදේශිකයන් සංචාරයේ යෙදෙන්න දෙවරක් සිතන රටක් බවට ඔබේ මාතෘභූමිය පත්වෙලා. පින්වත අතීතයේ ඔබේ මාතෘභූමිය ජාත්‍යන්තරය ඉදිරියේ ලැබූ ජනප්‍රියභාවය වෙනත් රටවල් විසින් වර්තමානයේ අත්පත් කරගෙනයි සිටින්නේ. පින්වත කිනම් මිථ්‍යාදෘෂ්ටික රටක් වේවා ලෝකයා ආදරයෙන් වැළඳ ගන්න රටක් බවට පත්වෙන්නේ සම්මා දිට්ඨිය නැති වුණත් එම රටවල ජනතාවගේ මෛත්‍රියේ ශක්තිය නිසාමයි. පින්වත ලෝකයාට ණය වෙමින්, දේශීය සම්පත් විකුණ විකුණා, ආගම්වාදයට, ජාතිවාදයට යට වී, වැට මායිම්, මායිම් ගල් ගලවමින් ලෝකය දිනන්න, රට දිනවන්න, නොකෙරෙන වෙදකම් වලට බෙහෙත් සොයන්නේ නැතුව කරුණාකර සැබවින්ම ලෝකය දිනන්න, සැබවින්ම රටේ ජනතාව දිනවන්න, මෛත්‍රියේ ශක්තියෙන්, ශීලයේ ශක්තියෙන් නැගී සිටින්න. දේශපාලන සටකපටකම් තම තමන්ගේ පෞද්ගලික සංස්කාර ලෝගු තුළ දමා ගනිමින් ධර්මයේ ඇත්ත, ඔය අධර්මයේ දෑස් වලින් දකින්න. දේශපාලනයට මුල් වී අපේ රටේ සිද්ධවෙන සෑම ක්‍රියාවක්ම සද්ධර්මයේ අර්ථයන්ට මිථ්‍යාදෘෂ්ටියෙන් පහරදෙන බරපතළ අපරාධයක්. පින්වත ශීලය තවමත් ජීවමාන සමාජයක, මෛත්‍රිය තවමත් ජීවමාන සමාජයක, උතුම් සද්ධර්මය තවමත් ඇසෙන සමාජයක සියළු සංස්කාරයන් අනිත්‍ය වුණත් හෙට ගැන ඔබ අවිශ්වාසයක් ඇතිකොට ගන්න එපා. පින්වත ඔබේ ජීවිතය දෙවෙනි තැනට දමා, ඔබ උපන් රට තෙවැනි තැනට තබා, උතුම් සද්ධර්මය පළමු තැනට ගන්න. පින්වත් ඔබ සද්ධර්මයේ අර්ථයන් ඔබේ ජීවිතයේ මුලට ගත්තොත් පමණක්මයි, ඔබේ ජීවිතයත්, ඔබේ රටත් පළමු තැනට ගත්තා වෙන්නේ.
පින්වත නායක කකුළුවන් ඇදේට යත් දී පුංචි කකුළුවොත් ඇදේටමයි යන්න පුරුදු වෙන්නේ. පුංචි කකුළුවන්ට දොස් කියලා වැඩක් නැහැ. පසුගිය සති දෙකේ පැවති ධර්ම දේශනා දෙකේ දී පින්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා දෙපළක් සද්ධර්මය ශ්‍රවණය කරන්න පැමිණ සිටියා. පුරා පැය පහක් බොහොම තැන්පත්ව සද්ධර්මය ශ්‍රවණය කළා. පින්වත මේ පුංචි කකුළුවන් ඇත්ත දන්නවා, ඒත් නිවැරදි වෙන්න බැහැ. මොක ද මහ කුකුළුවෝ යන්නේ ඇදයටමයි. පින්වත ඇදයට යන සමාජය තුළ පුංචි තැනක් ඔබට නිවැරදිකොට ගන්න තිබෙනවා. පින්වත අපි තව තවත් සද්ධර්මය දේශනා කරමු. සද්ධර්මය සටහන් තබමු. සිල්වත් වෙමු. මෙත් වඩමු. පින්වත් නායකයින්ට ඇදයට යන අකුසල් සංස්කාර වෙනුවට, නොඇදයට යන කුසල් සංස්කාරයෝ ශක්තිමත් කොට දෙමු. පින්වත, ඔබ පරාජිතයෙක් නොවේ. ඔබ මෙලොව සහ පරලොව දිනලාමයි දෑස් පියාගන්න ඕනේ. එය කරන්න නායකයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට බැහැ. එය කළ හැක්කේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියෙන්මයි. පින්වත ඔබේ පාලක පින්වත් රාජ්‍ය නායකතුමා නොවේ ඔබේ පාලකයා, අවිද්‍යාව හේතුවෙන් බලගැන්වෙන ඔබේම පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ ලෝකයේ මුලයි. ඵස්ස පච්චයා වේදනා ලෝකයේ මැදයි. භව පච්චයා ජාති ලෝකයේ යළි යළිත් පටිච්චසමුප්පන්න ප්‍රවර්ධනයයි.
පින්වත නිවන උදෙසා, සුගතිය උදෙසා අවශ්‍ය ආහාර බහුල සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ද්වේශය, වෛරය, පළිගැනීම, බොරුව, රැවටීම වැඩි තැනයි ඔබට මෛත්‍රියේ සහ ශීලයේ ආහාර බහුලව ඔබේ ජීවිතයට එකතුකොට ගැනීමට හැකි වෙන්නේ. පින්වත ඔබට තුන්වේල කන්න නැති වුණාය කියලා, සෑම නිමේෂයකදීම දේශපාලන බොරු වලින් ඔබව රැවටුණාය කියලා, සමාජය ඔබට දිගුකරන මෛත්‍රියේ සහ ශීලයේ ආහාර ගැටෙන සිතින් ප්‍රතික්ෂේප කරන්න එපා. පින්වත් ඔබ අද දවසේ නිර්ලෝභී සිතින් ජීවිතයට එකතුකොට ගන්න මෛත්‍රියේ, ශීලයේ ආහාරයන්මයි හෙට දවසේ ඔබගේ ලෞකික සැපයේ නියමුවා වෙන්නේ. පින්වත අවලස්සන ලෝකයක් තුළ ලස්සන අර්ථවත් ධර්මයක් අපිට මුණ ගැසිලා තිබෙන්නේ, අවලස්සන අවිද්‍යාවෙන් උපදින ලස්සන කුසල් සංස්කාරයන්ට පින් සිද්ධ වෙන්න. හැබැයි ඉතින් අවලස්සන අකුසල් සංස්කාරයෝ අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පින්වත අවිද්‍යාව හරිම සටකපටයි. අකුසලය තුළින් අපිට දුක් දෙන අවිද්‍යාව, කුසල් සංස්කාරයෝ තුළින් කාමයේ සහ රූපයේ ආශ්වාදයෙන් ඔබට පුංචි සංග්‍රහයකුත් කරනවා.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, රුවන්වැලි මහා සෑ සමිඳුන්ට තෙරුවන්ගේ ශක්තිය තිබෙනවා නම්, දෙවියන්ගේ ආරක්ෂාව තිබෙනවා නම් පූජනීය මහා සෑ සමිඳුන්ගේ චූඩාමාණික්‍යයට අකුණු සන්නායකයක් සවිකොට තිබෙන්නේ ඇයි ද කියලා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නොපොහොසත්, දැනුම, බුද්ධියෙන් පොහොසත් සමාජයෙන් මෙවැනි අදහස් ප්‍රකාශවීම හේතුඵල ධර්මයක්මයි. පින්වත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දසපාරමී පිනෙන් සහ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් උපන් ආධ්‍යාත්මික සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට ලක් වුණා. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව, වායෝ, ආපෝ, තේජෝ ධාතූන් කිපෙනකොට බුදුරජාණන් වහන්සේට ජරා, ව්‍යාධි ස්වභාවයන් ඇති වුණා. බුදුරජාණන් වහන්සේට නිරතුරුවම රෝගාබාධයන් හැදුණා. අවස්ථා කිහිපයකදීම ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම් පාලනය කොටගැනීමට ශරීරය විරේක කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නෙත් බරපතළ උදරාබාධයක් උත්සන්න වෙලා. පින්වත බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව කිපීම් වලට තෝතැන්නක් නම්, පින්වත අව්ව, වැස්ස, පින්න, අකුණු ගැසීම කියන බාහිර සතර මහා ධාතුවේ කිපීම් ගැන කුමන කතා ද? පින්වත උතුම් තෙරුවන්ගේ ශක්තියකට හෝ දෙවියන්ගේ ආරක්ෂාවකට බාහිර හෝ ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම් නවත්වන්න බැහැ. පින්වත බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත්, චූඩාමාණික්‍යය යැයි කියන බාහිර සතර මහා ධාතුවත්, අකුණු සැර යැයි කියන බාහිර සතර මහා ධාතුවත් නිරතුරුවම කිපීමේ ස්වභාවයෙන් යුත් සතර මහා ධාතූන්මයි. පින්වත මේ සියළු ධර්මතාවයෝ යම් පමණකට හෝ නොකිපී තබා ගැනීමට නම්, කිපීම් අවමකොට ගැනීමට නම් අපේම අනිත්‍ය වී යන කුසල් සංස්කාරයන්මයි උපකාර වෙන්නේ. පින්වත පූජනීය ස්වර්ණමාලී සෑ සමිඳුන් එහි මුදුනත දරා සිටින පූජනීය චූඩාමාණික්‍යය, ඒ අසල රඳවා තියෙන අකුණු සන්නායකය මේ දක්වා ආරක්ෂාකොට දී තිබෙන්නේ මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ අකුණු සන්නායකය නොව අපේම කුසල් සංස්කාරයෝයි. කුසල් සංස්කාරයෝ දුර්වල වෙත්දි සතර මහා ධාතුවේ කිපීමෙන් ගහණ වියරු අකුණු නවත්වන්න බුදුරජාණන් වහන්සේටත් බැහැ. චූඩාමාණික්‍යය යැයි කියන්නේ, අකුණ සැර කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක්. පින්වත අනිත්‍ය දෙය අනිත්‍ය යැයි දකින්න, එවිටයි ඔබේ ජීවිතයත් පූජනීය චූඩාමාණික්‍යයක් වෙන්නේ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023/06/25 ඉරුදින දිවයින පුවත්පත.