හැසිරීම් ඉදිරියේ සතිය සිහිය ඇතිකොටගත යුතුයි.

පිංවත, අපි අකුසලයෙන් තව තවත් වැටුණොත් යළි කුසලයෙන් නැගිටීමට ලොකු කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. අපේ අතීත අකුසල් සුළුපටු නොවන බව අපි හැමෝම දන්නවනේ. උතුම් තෙරුවන්ට අගෞරව කිරීම, උතුම් තෙරුවන්ට වෛරයෙන් චෝදනා කිරීම, සිල්වතුන්, අවංක පුද්ගලයන් නොතකා හැරීම, පිංවත, මෙවැනි අකුසල් වලට කියන්නේ අකුසල් නිධිය කියලා. පිංවත, සිල්වත් ගිහි පිංවතුන්ගේ බදු මුදල් වංචා කිරීම එසේ මෙසේ අකුසල් කන්දක් නොවේ. මේ අකුසල්වල මහත අපි තේරුම් ගන්නේ කවදා ද? වර්තමානයේ සංඝ සමාජයට ද්වේශයෙන්, වෛරයෙන් චෝදනා කිරීම කර්මය කර්මඵලය ගැන නොදත් අසරණ පිංවතුන්ගේ පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. පිංවත, සංඝ සමාජය තුළ වැරදි කරන ස්වාමීන් වහන්සේලා කවදත් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදීමයි, සුදින්න භික්ෂුව කාමයේ වරදවා හැසිරීමේ වරද සිදුකොට ගන්නේ. මෙම සුදින්න භික්ෂුව සිදුකළ බරපතළ වරද බුදුරජාණන් වහන්සේට සැලකරන්නේ මේ සිද්ධිය දැක්කා වූ දෙවියන් විසින්මයි. එදා දෙවියන් බුදුරජාණන් වහන්සේට ශෝකයෙන් දැනුම් දෙනවා, භාග්‍යවතුන් වහන්ස, සුදින්න භික්ෂුව සම්මා සම්බුද්ධ ශාසනය කෙළෙසුවාය කියලා. බුදුරජාණන් වහන්සේ මුල්ම, නැවත සමාවක් නොලැබෙන සතර පාරාජිකා සිල්පදය පවනවන්නේ සුදින්න භික්ෂුව මුල්කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ සතර පාරාජිකාවන් පනවන්නේ අදාළ වැරදි සිදු කළා වූ ස්වාමීන් වහන්සේලා මුල්කොටගෙනමයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන තුරාවට විනය කාරණාවන් දෙසිය විස්සක් සහ වරදට දඬුවම් දෙන අධිකරණයන් හතක් පනවන්නේ, අදාළ වැරදි සිදු කළා වූ ස්වාමීන් වහන්සේලා නිසාමයි. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජය තුළින් සිදු වූ වැරදි, පුද්ගල සංඥාවෙන් දැක්කේ නැහැ. මේ සෑම වරදක්ම අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින් ධර්මයේ උපේක්ෂාවෙන්මයි දැක්කේ. වරදකරුවා වරදින් චෝදනාකොට විනාශ නොකොට, වරදකරුවා කෙරෙහි මෙත් සිතින් ඔහුට යළි වරදින් නිවැරදි වී නැගී සිටීමටයි බුදුරජාණන් වහන්සේ විනය ධර්මයන් පනවන්නේ. නමුත් වර්තමාන සමාජය තුළ කුමක් ද මේ සිද්ධ වෙන්නේ? ස්වාමීන් වහන්සේ නමක් අතින් කුමන වරදක් සිදු වුණත්, සමහරක් පිංවතුන් එම වැරදි දකින්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සිදු වූ මුල්ම වරද හැටියටයි. සම්මා සම්බුද්ධ ශාසනයේ අතීතය ගැන හයක්, හතරක් නොදන්න මෙවැනි අසරණ පිංවතුන් ස්වාමීන් වහන්සේලාට බණින්නට පටන් ගන්නේ නිඝණ්ඨයෝ කියලා. මෙය සටහන් තබන භික්ෂුවට ද්වේශයෙන්, වෛරයෙන් චෝදනා කළ අවස්ථා කොතෙක් නම් අතීතයේ තිබුණා ද? පිංවත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය සමයේදිත් අද වගේම කාන්තා ප්‍රශ්න, සමලිංගික ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, මිච්ඡා අධිගමයන් හුවා දැක්වීමේ ප්‍රශ්න, පහරදීමේ ප්‍රශ්න, වාහන ප්‍රශ්න තිබුණා. අතීතයේ වාහන ප්‍රශ්න නොතිබුණත් උපසේන කියන උපසම්පදා භික්ෂුව තමා පසුපසින් රැගෙන ගිය චීවර කරත්තයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්ස දැන් වැඩ සිටින සමහරක් තරුණ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි අපිට ගරු කරන්නේ නැහැය කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට පෘථග්ජන භික්ෂුවක් බොරුවෙන් චෝදනා කරනවා, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන්ට කේන්තියෙන් පහරක් ගැසුවාය කියලා. පිංවත, භික්ෂුව මේ සටහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී ශාසන ධර්මයන්ගේ ස්වභාවයයි.

පිංවත, භික්ෂූන් වහන්සේ නමක් කියන්නේ, මේ පෘථග්ජන සමාජයේ ඉපදිලා, ජීවත් වෙලා, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් සද්ධානුසාරී හෝ ධම්මානුසාරී ඉන්ද්‍රීය ධර්මයන් වර්ධනය කොටගෙන පැවිදි උපසම්පදාවට පත්වෙන පිංවතෙකුටයි. ඔහු මේ සමාජයේම කොටසක්. ඔහු වැරදි නොකරන තත්ත්වයට පත්වෙලා නැහැ. අවම වශයෙන් සමහරවිට ඔහු සතර අපායෙන්වත් මිදිලා නැහැ. ඔහු වැරදි කරන ස්වභාවයෙන් යුක්තයි. අපි සිහිනුවණින් සිතන්න ඕනේ, ඇයි බුදුරජාණන් වහන්සේ විනය කාරණා දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් පැනවූයේ කියලා. උතුම් සංඝ සමාජය තුළ මඩෙන් උඩට මතු නොවූ නෙළුම් පොහොට්ටු තිබෙනවා සේම, මඩෙන් උඩට මතු වී විකසිත වූ නෙළුම් ද තිබෙන බව අපි ධර්මයේ උපේක්ෂාවෙන් තේරුම්ගත යුතුව තිබෙනවා.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයන් නිසාම, අසද්ධර්මයන් ශ්‍රවණය කිරීම නිසාම සමාජය අකුසලයෙන් ගොඩාක් ප්‍රපාතයට වැටිලයි තිබෙන්නේ. මේ අනතුර දකිමින් සංඝ සමාජයේ අපි, අපේ හැසිරීම් ඉදිරියේ හොඳින් සතිය සිහිය ඇතිකොටගත යුතුයි. වර්තමාන සමාජය අවිද්‍යාව මොනතරම් සතුටින් පිළිගන්නවා ද කියලා කිව්වොත් වර්තමාන සමාජයේ නිරාගමික උමතුව වේගයෙන් ශක්තිමත් වෙනවා. මුහුණු පොත් තුළින් ගෞරවනීය සංඝ සමාජයට නොමනා ආකාරයෙන් පහර දෙන්නේ මේ නිරාගමික උමතුවයි. පිංවත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නිවැරදි නම් විවේචනයන්ට බිය වෙන්න එපා. ඔබ නිවැරදි නම් ඔබට එරෙහිව නැගෙන විවේචන යනු ඔබේ සාර්ථකත්වයයි. එහෙත් ඔබ වැරදි නම් වහ වහා නිවැරදි වෙන්න. පිංවත් භික්ෂු ඔබේ වරදක් නිසා උතුම් තෙරුවන්ම චෝදනාවන්ට, අගෞරවයන්ට ලක් වෙනවා නම්, එය අදාළ භික්ෂුවට මහාමේරුවක් වැනි අකුසලයක්ම වෙනවා. ඒ වගේමයි වේගයෙන් සමාජගතවෙන නිරාගමික උමතුව තව ශක්තිමත් කිරීමට අපි ආහාර දුන්නා වෙනවා. පිංවත, වරදකරුවෙක් දැක ඔබ නිවැරදි වෙන්න. එයයි වරදකරුවෙකුට දියහැකි හොඳම දඬුවම වෙන්නේ.

පිංවත, ඇත්තට බොරුව කැමති නැහැ. ඒ නිසාම අතීතයේ කවදත් ශාසනයට අභියෝගයන් තිබුණා. දෘෂ්ටීන් හැට දෙකක අභියෝගයන් මැදයි බුදුරජාණන් වහන්සේ ශාසන නෞකාව මෙහෙයවූයේ. වර්තමාන අසත්පුරුෂ අභියෝගයන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ශ්‍රාවකයා මඩේ සිට වූ ඉන්නක් වියයුතු නැහැ. පිංවත, පවතින ශාසනික අභියෝගයන් හමුවේ නොසැලී සිටින්න. ඔබ බිය වුණොත් මාර ධර්මයන්ට අභය ලැබේවි. පිංවත, හෙට උදාවෙන ධර්මය නොතකන ලෝකය තම පටු අරමුණු උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අත දිගහැර වියදම් කරන ලෝකයක්. වර්තමානයේ යමෙක් ශාසනයේ ආරක්ෂාව උදෙසා කතා කළොත් ඔහුට පෙරළ, පෙරළා විවේචනයෙන් පහර දෙනවා. සංඝ සමාජයේ බරපතළ විනය විරෝධී ක්‍රියා වෙනුවෙන් අධිකරණයන් ක්‍රියාත්මක කළොත්, මානව හිමිකම් ඊට එරෙහිව නැගී සිටිනවා. පිංවත, මේ සියල්ල ශාසනය දුර්වල කිරීම උදෙසා නිර්ලෝභීව විසිකරන මුදලේ බලයයි. පිංවත් පාලක පිංවතුන් අධර්මිෂ්ඨ වෙද්දී, ශාසනයේ වටිනාකම තෙවැනි තැනට දමා මුදලත්, බලයත් රජ වෙනවා.

ගෞරවනීය පිංවත, මුදලට සහ දේශපාලන බලයට වඩා බලවත් බලයක් මේ ශාසනය තුළ තිබෙනවා. එම බලයට කියන්නේ ශීලයේ බලය යැයි කියලා. පිංවත වැරදි අරමුණු උදෙසා විසිකරන මුදල් බලයට තිබෙන්නේ දුකට හේතුවෙන තෘෂ්ණාව පමණක්මයි. නමුත් පිංවතුනේ ශීලයේ බලයට සියළු සත්පුරුෂයන් ඉදිරියේ ජනප්‍රියවීමේ ශක්තිය තිබෙනවා. ශීලයේ බලයට ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය තිබෙනවා. ශීලයේ බලය ඔබගේ මෛත්‍රියේ, සමාධියේ, ප්‍රඥාවේ ශක්තිය අවදිකොට දී ඔබව තව තවත් කුසල් ධර්මයන්ගෙන් බලවත් කරනවා.

පිංවත, ඔබ අසරණ යැයි සිතන්න එපා. පිංවත, ලෝකය මැද්දේ ඔබ තනි වුණත්, අපිට මුළු ලෝකයේම සහයෝගය නැති වුවත්, පටු අරමුණු උදෙසා විසිකරන කෝටි ප්‍රකෝටි ගණන් ධනයට කවුරුන් විකිණුනත්, පිංවත් සත්පුරුෂ ඔබ බිය වෙන්න එපා. ඔබ අධර්මයට බිය වුණොත්, ඔබ සද්ධර්මය උදෙසා පෙනී නොසිටියා වෙනවා. පිංවත, ශාසනික අභියෝගයන් ඉදිරියේ බිය සිතෙන් බැහැරකොට, ශීලයේ ශක්තිය සිතට ගන්න. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවීයන තුරා, හතලිස් පස් වසරක් ගෙවා දැමුවේ, මාර ධර්මයන්ගේ පීඩා කිරීම් මැදම බව නුවණින් තේරුම් ගන්න. අද පිංවත් ඔබේ සත්පුරුෂ පරිත්‍යාගයෙන් හෙට දවසේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.