මෙය සටහන් තබන භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ දොළොස්වැනි වස් කාලය ගෙවී යන්න තවත් හරියටම සතියක කාලයක් ඉතිරිවී තිබෙනවා. භික්‍ෂුව මොහොතක් දෑස් දෙක පියාගෙන ගෙවීගිය දොළොස් වසරක උපසම්පදා දිවියේ අතීතය දෙස හැරී බලනවා. ඒ අතීතය තුළ භික්‍ෂුවට පිංවත් ඔබට සටහන් තබන්න ඉතිරිවෙලා තිබෙන්නේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියා පමණක්මයි.
පිංවත් ඔබගේ සිත ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවන්ගෙන් හිස්වුණ තැන එම හිස් තැන පුරවන්නේ අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව සකස් වන හේතුඵල ධර්මයන්ගේ උපේක්‍ෂාව පමණක්මයි. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකය අපි නිත්‍ය වූ අත්දැකීම් සහ මතක සටහන්වලින් පුරවා ගන්නේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් දකින ළදරුභාවය නිසාමයි.
භික්‍ෂුව වැඩසිටින ප‍්‍රදේශයම මෙවර වස්සානය, වැසි සහිත දේශගුණය සමගම ගෙවී ගියත්, මේ වස්සානය පුරාවට රට පුරා අටමහා කුසල් ධර්මයන් දෝරේ ගලා යන්න සිදුවුණත්, අපි හැමෝගේම පෙර කරුමයකට වර්තමානයේ සමාජය තුළ, තෘෂ්ණාවේ සැඩපහරට හසුවී දෙගොඩතලා ගලාගෙන යන කෙලෙස් වැස්ස නම් නොනැවතී චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඇලවේලි සියල්ලම කඩාබිඳ ගෙන බරපතළ විනාශයක් සමාජගතකොට තිබෙනවා.
පිංවත් මනුෂ්‍ය ජීවිත තුළ ලද දෙයින් සතුටු වීම, මධ්‍යම ප‍්‍රතිපදාව, මනුෂ්‍යත්වයෙන් බෙදාහදා ගැනීම, පරාර්ථකාමී සිතුම් පැතුම් සියල්ලම සැපය උදෙසා බලය සොයන, සැපය උදෙසා මුදල් සොයන, සැපය උදෙසා නිලතල සොයන පිංවත් මනුෂ්‍ය සමාජය විසින් සැබෑ සම්මා සැපය ගැන ඔබට කියන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය උඩුයටිකුරු කරදමලයි තිබෙන්නේ.
වර්තමානයේ ජීවත්වන පිංවත් මනුෂ්‍යයෝ රටේ පවතින නීතියට බයයි. නමුත් අකුසල් සිදුකරන්න, සිල්පද බිඳගන්න බියක් නැහැ. බලන්නකෝ තිබෙන එඩිතර කමක මහත. සංස්කාරයන්ගේ විපාකදීම හේතුවෙන් සකස්වන ලෝක ධර්මයන්ට, ශත පහක බියක් නැති සමහරක් පිංවත් මනුෂ්‍යයෝ රටේ නීතියට නම් හරිම බයයි. ඒ නිසාම රටේ පවතින නීතියෙන් මඟහැර යන ක‍්‍රමවේදයන් උපයෝගී කොටගෙන බරපතළ දස අකුසල් ධර්මයන් සිදුකරගන්න දිශාවට සමාජය වේගවත් වෙලා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවත් ඔබ තුළ සකස් වෙන චේතනාව, කර්මයට මුල් වෙනවාය කියලා. ඔබ තුළ සකස් වන අකුසල් චේතනාවට අදාළව ඔබව දණ්ඩනයට ලක්කරන, ධර්මානුකූල ජූරිය තිබෙන්නේ අලූත්කඩේ අධිකරණය තුළ නොවේ. අකුසල් චේතනාවන්ට අදාළව ජූරිය සකස් වන්නේ පිංවත් වැරදි කරන ඔබ තුළමයි. පිංවත් ඔබ නොදන්නවාට ඔබේ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ ජූරි සභිකයන් පස් දෙනෙක් නිරතුරුවම ක‍්‍රියාත්මක වෙනවා. මේ ජූරි සභිකයන් පස් දෙනා තමයි ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ජූරි සභිකයන්. මේ ජූරි සභිකයන් පස් දෙනා ඒක පේළියට එකට වාඩිවෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අදාළව එක සභිකයෙක් හේතුවෙනුයි අනෙක් සභිකයා සකස් වෙන්නේ.
පිංවත් ඔබ තුළ සකස් වන අකුසල් චේතනාවට අදාළව, නිවැරැදි තීන්දුව දෙන්නේ සංස්කාර නමැති ජූරි සභිකයායි. සංස්කාර විසින් ලබාදෙන තීන්දුව, විඤ්ඤාණය නමැති ජූරි සභිකයා නිවැරැදිව පටිච්චසමුප්පන්නව ක‍්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ භවාත‍්‍රයේ ඕපපාතිකව, බිත්තරයක, එසේ නැතිනම් තෙත් පරිසරයක පණු කුලයක, ගර්භාෂයක ස්ථානගත කරනවා.
පිංවත් ඔබ කුමන පාර්ශ්වයක වුවද, අනුනට බොරු කරන කොට, අනුන්ගෙන් පළිගන්න කොට, අනුනට ද්වේශ කරනකොට, ඔබට දැනෙන මිච්ඡා සතුට, ඔබට දැනෙන මිච්ඡා ආශ්වාදය ඔබට සැපයක් බව ඇත්ත, ඔබ එම මිච්ඡා සැපය මගේ කොටගෙන ජීවත්වන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව ඔබ ලබන මිච්ඡා සැපයේ සැබෑම හේතුව වන්නේ මිච්ඡා දිට්ඨියෙන් පෝෂණය වූ මිච්ඡා සතියයි. කරන කලට පව් මිහිරිය මී පැණි සේ, එහෙත් ධර්මානුකූලව එම පව් විපාකයට පැමිණෙන කොට ඒ දුක් ගිනි නම්, නොනිමෙන භව ලැව්ගිනි බවටමයි පත්වෙන්නේ.
අවිද්‍යාව තුළ බැසගෙන තිබෙන තෘෂ්ණාවේ ගිනි පුපුරු, සංස්කාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්සය, ගිනි අවුලමින් මේ ලැව් ගින්න භව පච්චයා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් ගින්දරම සකස්කොට දෙනවා. දුකේ සිටිමින් දුකට හේතුව වන තෘෂ්ණාවම උපද්දවන සද්ධර්මයේ ඇත්ත නොතේරෙන අපි සැපයි කියලා අයිති කොටගන්නේ අනිත්‍ය වී යන සංස්කාරයන් ගොඩක්මයි. පිංවත් ඔබ ඔබේ ජීවිතය ප‍්‍රයෝජනයට අරගෙන, සිතෙන් සිතලා අතට ගත්ත අයිතිකොට ගන්න, දේවල් ගැන විවේකීව සිතලා බලන්නකෝ. ඔය ටික සිතන්නේ නැති නිසානේ සමාජය තුළ මේ විකෘතීන් සමාජගත වෙලා තිබෙන්නේ. හැබැයි ඉතින් විවේකීව සිතන්නට සම්මා සතිය කියන ධර්මානුකූල අර්ථය ජීවිතය තුළ තිබෙන්නට ඕනේ.
සම්මා සතිය කියලා කියන්නේ ඇවිදිනවා, ඇවිදිනවා යැයි සිතමින් ඇවිදීමවත්, කපනවා, කපනවා යැයි සිතමින් එළවළු, පලතුරු කැපීමවත්, කනවා, කනවා යැයි සිතමින් ආහාර අනුභව කිරීමවත් නොවේ. මේවා අයිති හුදු සතියටයි. මේ සතිය බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර දඹදිව ජනතාව තුළ තිබුණා. බුදුරජාණන් වහන්සේයි ජනතාව තුළ තිබුණ සතිය, ධර්මානුකූලව සම්මා සතියක් බවට පත්කළේ.
වර්තමාන සමාජය දෙස හොඳින් ඇස් ඇරලා බලන්නකෝ, මිච්ඡා සතිය කියන අර්ථයකුත් සමාජය තුළ දෝරේ ගලාගෙන යනවා. සුන්දර සිංහල බෞද්ධ පිංවතෙකුට නම් මිච්ඡා සතිය යනු, මළකඩ බැඳුණු යකඩයක්මයි. වහලයේ දුවන මීයකුට තියුණු දෑසින් කුරුමානම් අල්ලන, පූසෙක් තුළ තිබෙන්නේ මිච්ඡා සතියයි. පෙර පිනට සිංහල බෞද්ධකම දරාගෙන උපන් අපි, තිරිසන් සතුනට අයිති ධර්මතාවයන්ගෙන් වහ වහා බැහැර විය යුතුයි.
වර්තමාන සමාජයේ, තමන් උපන් රට ජාතිය විනාශ කරමින්, සමස්ථ ලෝකයටම යහපත බෙදාදෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සහ ශාසන අර්ථයන් හෑල්ලූවට පත්කරමින්, බලය උදෙසා, ධනය උදෙසා, නිලතල උදෙසා ජීවිතය අධර්මානුකූල විකෘතියක් කොටගත්, සියලූම වැදගත් සහ නොවැදගත් පිංවතුන්ලා තුළ තිබෙන්නේ මිච්ඡා සතියයි.
ඉහත මිච්ඡා සතිය සහිත පිංවතුන්ලාට මිච්ඡා සිහි කල්පනාව තිබෙනවා. කපටි මිච්ඡා සැළසුම්, උපක‍්‍රම, ගැලවීයෑම් මේ සියල්ලම ජීවිතය තුළ හොඳින් තිබෙනවා. නමුත් මේ සියලූ මිච්ඡා දැනීම්, අනාගතයේ දුකටම, අකුසලයටම හේතුවන මිච්ඡා දැනීම්මයි. එවැනි පිංවතුන්ලාගේ සතිය මිච්ඡා සතියක් වෙනවා. මිච්ඡා සතියේ ඵලය වෙන්නේ මිච්ඡා සමාධියයි. තැන්පතු මහත්තුරු වගේ සිටියට, වැරදි වැඩකරන පිංවතුන්ලා තුළ තිබෙන්නේ මිච්ඡා සමාධියක්.
ඊයේ රාත‍්‍රියේ භික්‍ෂුව වැඩසිටින කුටියට හැරෙන පාර අසලට බලූ පවුලක් ගෙනත් දමලා. හොඳින් වැඩුණ බලූ පැටව් හත් දෙනෙක් සහ එම සතුන්ගේ බලූ අම්මා, මේ සතුන් සැරින් සැරේ කුටිය අසලට දුවගෙන එනවා බඩගින්නේ. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට, මහා සංඝරත්නයට පූජා කරන්න කියලා දේශනා කරලා තිබෙන්නේ චීවර, සේනාසන, පිණ්ඩපාත සහ ඖෂධයි. නමුත් මෙච්චර සද්ධර්මය ඇසෙන රටේ, සමහරක් මිච්ඡා සතියෙන් යුත් පිංවතුන්ලා, මහා සංඝරත්නයට බලූ පැටවුණුත් පූජා කරනවා.
මේ බලූ පැටවුන් දකින කොට භික්‍ෂුව නම් ධර්මානුකූලව දකින්නේ, මේ බලූ පැටව් පෙර ජීවිතයේ බලූ පැටවුන් පූජනීය ස්ථානවලට හොර රහසේ ගෙනත් දමපු, සුන්දර මනුෂ්‍යයන්ගේ පටිච්චසමුප්පන්න උපත් කියලයි. මිච්ඡා සතිය කියන්නේ, මිච්ඡා ආශ‍්‍රයේ, මිච්ඡා ධර්මයන් ශ‍්‍රවණයේ, අනුවණින් මෙනෙහි කිරීමේ හේතුඵල ධර්මයක්. පිංවත් ඔබ වේගයෙන් සමාජගත වන ඉහත අනතුරු තේරුම් ගන්න.
පිංවත් ඔබේ මාතෘභූමියේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී පිංවත් ජනතාව ඉහත මිච්ඡා සතියෙන් කටයුතු කරන නායකයන් නම් නැවත නායකත්වයට පත්කොට ගන්න එපා. රටේ ඉතිරිවෙලා තිබෙන ගුණාත්මක ධර්මයන් ටිකත් විනාශ කරලම දමාවි.
ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ලෝකය දෙස බැලූවේ උතුම් විදර්ශනාත්මක සම්මා සතියෙන්. විදර්ශනාත්මක සම්මා සතියෙන් ලෝකය දැකලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක්ම, කුමක් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. ගිහි කාලයේදී මටත් මේ මානසික ව්‍යාධිය හොඳින්ම තිබුණා. මේ මානසික ව්‍යාධිය සකස්කොට දෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇතිකොට ගන්නා කෙළ හැලෙන තෘෂ්ණාවේ විෂබීජයයි.
මේ දිනවල පැවැත්වෙන මැතිවරණයේදී මෙවැනි රෝගීන්ගේ සැඟවුණ රෝග ලක්‍ෂණ හොඳින් දැකගන්න පිංවත් ඔබට හැකිවේවි. හැබැයි ඉතිං අනුනගේ රෝග ලක්‍ෂණ දැකලා, පිංවත් ඔබේ රෝගී ලක්‍ෂණ උත්සන්න කොටගන්න එපාය කියලා ගෞරවයෙන් මතක්කොට දෙනවා. භික්‍ෂුව මේ සටහන් තබන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හත්වැනි අංගයට අයත් සම්මා සතිය ගැනයි.
යම් පිංවතෙක් කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය, සද්ධර්ම ශ‍්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම් තුළින් දුකින් මිදීමේ එකම මාර්ගය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගෙන, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කොට ගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමෝ ධර්මයන් නිවැරැුදිව පුහුණුකොටගත් තැන, එම පිංවතා තුළ ඇතිවන්නේ සම්මා සතියයි..!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…