අභිධර්මයේ මහඟු භාවය.

අති පූජ්‍යය “නා උයනේ අරියධම්ම නා හිමියන්” හා අති පූජ්‍යය “දරණාගම කුසලධම්ම නා හිමියන්” අතර ඇති වූ දහම් සංවාදයක ලිඛිත සටහනකි.

නා උයන සේනාසනය විසින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහරින ලද “නිවැරදි දහම දැනගනිමු” කෲතියෙන් උපුටා ගන්නා ලදි.

පූජණීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්‍රශ්නය..?

අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි,ස්වාමින් වහන්ස, ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව කී වැදෑරුම් වෙනවද කියන කාරණය..?

පූජණීය නා උයනේ අරියධම්ම නා හිමියන්ගේ පිළිතුර…

තෙරුවන් සරණයි..!
බුද්ධ ධර්මය රස වශයෙන් එක් ආකාරයි.එකම විමුක්ති රසයයි.ධර්ම විනය වශයෙන් දෙකට බෙදෙනවා.නැවත පිටක වශයෙන් තුනට බෙදෙනවා.විනය,සූත්‍ර,අභිධර්ම. ඒකම නිකාය වශයෙන් පහට බෙදෙනවා.අංග වශයෙන් නවයකට බෙදෙනවා.ධර්මස්කන්ධ වශයෙන් අසූහාරදහසකට(84000)කට බෙදෙනවා.බොහෝ සෙයින් අර්ථකථාවල මේ විග්‍රහය දක්වන අතර සවිස්තරව පැහැදිළි කරනු ලබන්නේ විනය,සූත්‍ර,අභිධර්මය කියන පිටකත්‍රය වශයෙනුයි. විනය පිටකය,සූත්‍රාන්ත පිටකය,අභිධර්ම පිටකය.පිටකත්‍රයේම අර්ථකථාවල මුලටම මේ සූත්‍ර,විනය,අභිධර්ම කියන පිටකත්‍රය විස්තර කරනවා.

විනය පිටකයේ තියෙනවා ශික්ෂාපද. දැන් අනාදරුට ශික්ෂාපද වැනි තැන්වල ත්‍රිපිටකය පිළිබඳවම කියවෙනවා.තවත් තැන්වල කියැවෙනවා.සූත්‍ර පිටකයෙත් බොහෝ තැන්වල තියෙනවා,”ගෝසිංගසාලවන සූත්‍රය”.තවත් තැනක් තියෙනවා “අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන නාථකර වර්ගයේ, නාථකර ධර්ම සූත්‍රයේ” සඳහන් වෙනවා.එතැන හැඳින්වෙනවා විනය,අභිවිනය,ධර්ම,අභිධර්ම කියන කොටස් වශයෙන් බෙදලා පෙන්වනවා.එනිසා ප්‍රධාන වශයෙන් විනය පිටකය දේශනා කරල තියෙන්නේ භික්ෂු භික්ෂුණී උඹ්හය පක්ෂයට සංවර ශීලය පිණිස.විශේෂයෙන් කෝටොයක් සංවර ශීලය කියලා හඳුන්වනවා.පාරාජිකා පාළි,පාචිත්තිය පාළි,මහාවග්ග පාළි,චුල්ලවග්ග පාළි,පරිවාර පාළි කියන ග්‍රන්ථ පහකින් විනය පිටකය සම්පිණ්ඩනය වෙනවා.එහි ධර්මස්කන්ධ වශයෙන් “විසිඑක්දහසක්” (21000) හඳුන්වනවා.ඒක ශික්ෂාපද සංඛ්‍යා කරනවනම් පෙය්‍යාල ක්‍රමයට “නවදහස් එකසිය අසූකෝටි පන්ලක්ෂ තිස් හයදාහක” තරම් ශික්ෂාපද සම්පිණිඩනය වෙලා තියෙනවා විනය පිටකයේ.

සූත්‍ර පිටකයේ සඳහන් වෙනවාසූත්‍ර වශයෙන් දීඝ නිකාය,මජ්ඣිම නිකාය,අංගුත්තර නිකාය,සං‍යුක්ත නිකාය, ඊලඟට ඛුද්දක නිකාය.ග්‍රන්ථ එතන සඳහන් වෙනවා දහනවයක්(19).ඒ කියන්නේ දීඝ,මජ්ඣිම,සං‍යුක්ත,අංගුත්තර හතරයි.ඊළඟට ඛුද්දක නිකායේ ග්‍රන්ථ පහළොවයි.ග්‍රන්ථ දහනවයක් හැඳින්වෙනවා.

අභිධර්ම පිටකය සඳහා තියෙනවා ග්‍රන්ථ හත(07)ක්. “ධම්මසංගණී,විභංග,ධාතුකතා,පුග්ගලපඤ්ඤත්ති,කථාවත්ථු,යමක,පට්ඨාන” කියලා.

මේ දේශනා සියල්ලම බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඒක සඳහන් වෙනවා අනඳ මා හිමියන් වහන්සේගේ ථේර ගාථාවේ.

“ද්වාසීතිං බුද්ධතෝ ගණ්හිං … ද්වේ සහස්සානි භිඛුතො,
චතුරාසීංති සහස්සානි … යේ මේ ධම්මා පවත්තිනෝ.”

බුදුරජාණන්වහන්සේගෙන්ම ධර්මස්කන්ධ අසූ දෙදාහක් (82000) අරගෙන තියෙනවා.රහතන් වහන්සේලාගෙන්,ශ්‍රාවකයන්ගෙන් දෙදාහක්(2000) අරගෙන තියෙනවා.සියල්ල අසූහාරදහසක්(84000) වෙනවා.එතකොට මේ ධර්මස්කන්ධ වශයෙන් බෙදී ගිය ත්‍රිපිටක ධර්මය අතර අපි බොහෝ සෙයින් සාකච්චාකරනු ලබන්නේ විනය,සූත්‍ර,අභිධර්ම ගැනයි.ඒ ගැන බොහෝම ලස්සන විස්තර,විග්‍රහ ඉදිරියේදී අපිට සාකච්චා කරන්න පුළුවනි.

පූජණීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්‍රශ්නය..?

එහෙමයි ස්වාමින්, වහන්ස දැන් ස්වාමින්වහන්සේ ප්‍රකාශ කලා බුදුරජාණන්වහන්සේගේ දේශනාව විනය,සූත්‍ර,අභිධර්ම වශයෙන් ආකාර තුනකින් අපේ පෙල දහමේ සඳහන්වෙන බව.ස්වාමින් වහන්ස, මේ සමහර දෙනෙක් අද විවිධ මත පළකරනවා මේ අභිධර්ම දේශනාව පිළිබඳව.විශේෂයෙන් ධර්මය පිළිබඳ එච්චර ගැඹුරු දැනුමක් නැති සමහර ධර්ම කථිකයන් වහන්සේලා පවා මේ අභිධර්ම පිටකය පිළිබඳ සැක්මුසුතැන්, ප්‍රතික්ෂේප කරන අවස්ථා එහෙම අපි දැකල තියෙනවා.මෙතනදි ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ වගේ මුළු ත්‍රිපිටකය පිළිබඳවම හසල දැනුමක් තියෙන, ඒවගේම ත්‍රිපිටකය පිළිබඳව මනා පරිචයක් තියෙන මාහිමියන් වහන්සේ නමකගෙන් මෙය දැනගන්න ලැබීම ගැන අපි බොහෝම සතුටු වෙනවා. ස්වාමින් වහන්ස, මේ අභිධර්මය දේශනා කළේ බුදුරජාණන් වහන්සේමද කියන කාරණය බොහෝ දෙනාගේ දැන ගැනීම සඳහා නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි.

පූජණීය නා උයනේ අරියධම්ම නා හිමියන්ගේ පිළිතුර…

තෙරුවන් සරණයි..!
ශ්‍රාවකයන් වහන්සේලාට විශය නොවෙන සර්වඥයන් වහන්සේ නමක් විසින්ම දේශනා කළ හැකි දේශනාවකුයි අභිධර්ම දේශනාව.විනය පිටකයත් එහෙමයි.සූත්‍රාන්ත පිකයේ පමණක් සමහර දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විග්‍රහ කරලා තියෙනවා.මධුපිණ්ඩික සූත්‍රය,සච්චවිභංග සූත්‍රාදියෙන් තේරුම්ගන්න පුළුවන්.විනය පිටකය ලොව පහළවන බුද්ධ ශාසන අතුරෙන් අවුරුදු පන්දාහටත්(5000) සියයටත්(100) අතර ආයුෂ ඇති කාලවල බුද්ධ ශාසන වල අනිවාර්‍යයෙන් විනය පිටකය පනවනවා.අපේ සර්වඥයන් වහන්සේද පනවා තියෙන විනය පිටකය ඒ ඈත බුදුවරයන් වහන්සේලා පැනෙව්ව පිළිවෙළටමයි.කිසිම අකුරකවත් වෙනසක් නෑ.

ඒ වගේමයි අභිධර්ම දේශනාව.සියලු බුදුවරයන් වහන්සේලාට තියෙනවා සමාන ධර්ම තිහක්(30). අසමාන ධර්ම අටක්(8) තියෙනවා.ඒ සමාන ධර්ම තිහ අතුරෙන් එකක් තමයි ලොව්තුරා බුදුවීමෙන් සත්වෙනි වසරේදී දෙවියන් සහිත ලෝකයාට බුදුමහිමය පෙන්වන පිණිස යමාමහ පෙළහර පාලා තව්තිසා භවනට වැඩම කරවීම.තව්තිසා භවනට වැඩ කරවා මාතෲ දිව්‍යය රාජයා ප්‍රමුඛව දස දහසක් සක්වලින් පැමිණෙන දෙව් බඹුන්ට ඒ ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සියලු බුදුවරයන් වහන්සේලාට සමාන ධර්මතාවයක්.ඒ සම්බන්ධව තේරුම් ඇති කරගන්නට වටිනවා.

අපේ බුදුරජාණන් වහන්සේ මේක අවබෝධකරගන්න යෙදුණේ බෝධිමුලයේදි අර්හත් මාර්ග ඥාණය සමගයි.මේක සම්මර්ශනය කරන්න ගියා දවස් හතක්.බුදුවීමෙන් හතරවෙනි සතියෙදී.රතනාඝර සතියෙදි තමන් වහන්සේ අභිධර්මය සම්මර්ශනය කලා දින හතක්.එහිදී තමන් වහන්සේගේ සර්වඥතා ඥානයට ඥාන ක්‍රීඩාව කරන්න තරම් සුදුසු තැන වූයේ අභිධර්ම පිටකයේ අවසාන ග්‍රන්ථය. “අනන්ත නය සමන්නාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණ ග්‍රන්ථය”.සැබවින්ම, ඒ දවස්හීදී ශ්‍රී ශරීරයෙන් විහිදෙන්න ගත්ත ෂඩ් වර්ණ ගණ බුද්ධ රශ්මිය අද දවසේ පවා අනන්ත සක්වල පැතිරෙමින් පවත්නා බව අර්ථ කථාවේ හැඳින්වෙනවා.

ඊළට සර්වඥයන් වහන්සේට මේක දේශනා කරන්න ගතවෙනවා දවස් අනූවක්(90).හේතුව අභිධර්මය කියන්නේ එකම සූත්‍රාන්ත දේශනාවක් හා සමාන ධර්මයක්. සූත්‍රාන්ත දේශනාවක් මාතෘකා කලොත් ඒක කොටසින් කොටස කියන්නෑ, පේළියටම දේශනාකරනු ලබනවා. ඒ වගේම අභිධර්ම දේශනාව අනුපිළිවෙළින් පේළියට දේශනාකලයුතු දේශනාවක්.සර්වඥයන් වහන්සේට මනුලොවදී මෙය දේශනා කරන්න දවස් අනූවක් ගතවෙන බැවින් මනුෂ්‍යයන්‍ට ඒ විදිහට එක ඉරියව්වේදී ධර්ම ශ්‍රවණය කිරීම අපහසුයි.එනිසා සියලුම බුදුවරයන් වහන්සේලා මේ දේශනය සඳහා තෝරගනු ලබන්නේ තව්තිසා භවන.කරුණු රාශියක් සම්බන්ධවයි.

එකක් තමයි කළගුණ සැලකීම් වශයෙන් මාතෲ දිව්‍යය රාජයාණන්ට මාර්ගඵල අවබෝධ කරවාලීම.අනික් කාරණය තමයි, මේ අති ගම්භීර ධර්මය සවිස්තරව ප්‍රකාශ කිරීම.දෙව්ලොවදී දේශනා කරනු ලබන්නේ අති විස්ථාර ධර්ම දේශනාවයි.නමුත් මේ දේශනාව තුන් මාසය ඇතුළත ස්ථාන තුනකම දේශනා කරනු ලබනවා.ඒ සම්බන්ධව අර්ථකථාචාරීන් වහන්සේලා පැහැදිළි කරලා තියෙන්නෙ මෙහෙමයි.

අපේ සර්වඥයන් වහන්සේ හත්වෙනි වසරේදි යමාමහ පෙළහැර පෑම සිද්ධ කලේ සැවැත් නුවර ගණ්ඪබ්බ වෲක්ෂ මූලයේදි.විසි කෝටියක් දෙනාට නිවන් අවබෝධකරවා වදාලා.තව්තිසා භවනට වැඩම කල වෙලාවෙදි සක්දෙව් රජතුමා තමන්ගේ පණ්ඩුකම්බල ශෛලාසනය බුද්ධාසනය හැටියට පැනෙව්වා.එතෙනදි මාතෘ දිව්‍යයරාජයා ප්‍රමුඛ දස දහසක් සක්වල දෙවියො , බ්‍රහ්මයො පැමිණියා බණ අසන්නට.

සැබවින්ම සර්වඥයන් වහන්සේගේ දේශනාව අතිවිස්ථාර වන්නේ මෙහෙමයි.සාමාන්‍යය කෙනෙකු “බුද්ධෝ” කියන වචනය එක් වරක් කියනකොට අනඳ මා හිමියන් වහන්සේට පුළුවනි අට(8) වාරයක් “බුද්ධෝ” කියන්න.අනඳ මා හිමියන් වහන්සේ එක වරක්
‘බුද්ධෝ” කියන විට, බුදුරජාණන්වහන්සේට පුළුවනි දහසය වාරයක්(16) “බුද්ධෝ” කියන්න.එතකොට සාමාන්‍යය කෙනෙකු එක වචනයක් කියන කාලය තුල බුදුරජාණන්වහන්සේට පුළුවනි වචන එකසිය විසි අටක් (128) ප්‍රකාශ කරන්න.ඒ විදිහටයි සර්වඥයන් වහන්සේගේ ස්වර සම්පත්තිය පිහිටා තිබෙන්නෙ.අනිකුත් කෙනෙකුගේ ජවන් වීථි පහළ වෙන්නෙ භවංග පරිවාස දහස් ගණනක් ගිහිල්ලා.නමුත් සර්වඥයන් වහන්සේට ජවන් වීථියකට අනතුරුව ඊළඟ ජවන් වීථිය ලැබෙන්නෙ චිත්තක්ෂණ දෙකකින් අතර වෙලයි. ඒ තරම් සීඝ්‍රගාමී සර්වඥයන් වහන්සේ විසින් මේක දේශනා කරන්න යනවා දවස් අනූවක්.

ඒ දවස් අනූව තුලදී තමන් වහන්සේ මේ අති විස්ථාර අභිධර්ම දේශනා කරන අතරත සෑම දවසේම පිණිඩපාත වේලාව සලකලා මනුලොවට වැඩම කරනවා.ඒ වැඩම කරන්නේ නිර්මිත බුදු රුවක් මවාලා “මෙතෙක් මෙතෙක් දේශනාවල් පවත්වනු ලැබේවා” කියල අධිෂ්ඨාන කරලයි.සියලු දෙවියන්ට ඒක තේරුම් ගන්න බැහැ.මහේශාක්‍යය සමහර දෙවි කෙනෙක්,බ්‍රහ්ම කෙනෙක් පමණක් තේරුම් ගන්නවා.මේ නිර්මිත බුදුරුවක් තමයි අද මේ මොහොතේ දහම් දෙසන්නේ කියලා.සර්වඥයන් වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කරලා පිණ්ඩපාතෙ පිළිඅරගෙන අනෝතත්ත විල ලඟට පැමිණ පැන් පහසු වෙලා ගන්ධමූල පබ්භාරයට වඩිනවා දන් වළඳන්න.එතනට වඩිනවා සැරියුත් මහ රහතන්වහන්සේ.සැරියුත් මහරහතන් වහන්සේට දවසක් පුරා දෙසූ දහම පිඬුකොට මාතෘකාව උගන්වනවා.සැරියුත් මහරහතන් වහන්සේ ඒක රැගෙන ඇවිත් යමාමහ පෙළහර පෑව දවසෙ පැවිදි වූ කුල පුත්‍රයන් පන්සියයක් දෙනාට උගන්වනවා මධ්‍යම ප්‍රමාණයට.

මෙහෙම දෙව්ලොව අති විස්ථාර දේශනාව,ඒ වගේම අනෝතත්තවිල සමීපයේ ගන්ධමාන පර්වත ආශ්‍රිතව අති සංක්ෂේප දේශනාව,සැවැත් නුවර ජේතවනාරාමයේ ශිෂ්‍යය පිරිසට නාතිවිස්ථාර නාතිසංක්ෂේප කියන මධ්‍යම දේශනාව. එනිසා මේ දේශනයෙහි සම්භවය, ප්‍රභවය සිද්ධ වුණේ බුදුරජණන් වහන්සේගෙන්.මේක සප්තප්‍රකරණයට සම්පිණ්ඩණය වන සේ ඉගැන්වූයෙ සැරියුත් මහරහතන් වහන්සේ විසින්. සැරියුත් මහරහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානයි.සර්වඥයන් වහන්සේගේ අදහස් හරියටම ඒ විදිහටම ප්‍රකාශ කරන්න පුළුවන් එකම රහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති.එනිසා මේ අභිධර්ම දේශනය කිසිම ශ්‍රාවකයෙකුට විශය නොවෙන,සර්වඥයන් වහන්සේ කෙනෙකුගෙන්ම ලැබෙන දේශනාවක්.එනිසා මේ ගැන කිසිම සැකයක් උපදවන්න කාරණයක් ඇත්තේ නෑ.ත්‍රිපිටක ධර්මය ඇතුළත මේ අභිධර්මය ගැන බොහෝ සේ කාරණා සඳහන් වෙනවා..

විශේෂයෙන්ම අට්ඨකථාවල මෙන්න මේ විග්‍රහය දක්වනවා.ඒකත් තේරුම් ගන්න වටිනවා.

“දේසනා සාසනකථා භේදං තේසු යථාරහං,සික්ඛා පහාන ගම්භීර භාවඤ්ච පරිදීපයේ..”

“පරියත්ති භේදං සම්පත්තිං විපත්තිං චාපි යං යහිං පාපුනාති යථා භික්ඛු තඤ්ච සබ්බං විභාවයේ…”

මේ අර්ථකථා ගාථා දෙකක්.මෙහි සඳහන් වෙනවා දේශනාව වගේම ශාසනය, කථාව,ඒවාගේම ශික්ෂාව,ප්‍රහාණභේදය,ගාම්භීරභාවය,පරියත්තිභේදය,ඒ වගේම විපත්ති,සම්පත්ති කියන කරුණු නවයක් මෙතන හැඳින්වෙනවා.

01.
විනය පිටකය ආණා දේශනා
සූත්‍ර පිටකය ව්‍යවහාර දේශනා
අභිධර්ම පිටකය පරමත්ථ දේශනා

02.
විනය පිටකය යථාපරාධශාසන
සූත්‍ර පිටකය යථානුලෝමශාසන
අභිධර්ම පිටකය යථාධම්මශාසන

03.
විනය පිටකය සවරාසංවර කථාව
සූත්‍ර පිටකය දිට්ඨි විනිවේඨන කථාව
අභිධර්ම පිටකය නාමරූප පරිච්චේද කථාව

04. ඒ වගේම
විනය පිටකයෙන් අධි ශීල ශික්ෂාව
සුත්‍ර පිටකයෙන් අධි චිත්ත ශික්ෂාව
අභිධර්ම පිටකයෙන් අධි ප්‍රඥා ශික්ෂාව

05.
විනය පිටකයෙන් තදංගප්‍රහාණ වශයෙන් කෙලෙසුන් යටපත් කිරීම.
සූත්‍ර පිටකයෙන් විෂ්කම්භණප්‍රහාණය වශයෙන් කෙලෙසුන් යටපත් කිරීම.
අභිධර්ම පිටකයෙන් සමුච්චේද වශයෙන් කෙලෙසුන් ප්‍රහාණය කිරීම.

06.
අර්ථ ගම්භීර,
ධර්ම ගම්භීර,
ප්‍රතිවේද ගම්භීර,
දේශනා ගම්භීර කියන හතරම පිටකත්‍රයටම සාධාරණයි.

07.පරියත්ති වශයෙන්
අලගද්ද පරියාප්තිය,
නිස්සරණ පරියාප්තිය,
භාණ්ඩාගරික පරියාප්තිය කියලා කොටස් තුනක් බෙදෙනවා.

යම්කිසි කෙනෙක් ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා පිණිස,වාද විවාද පිණිස ධර්මය ඉගෙන ගන්නවනම් ඒක අලගද්ද පරියාප්තිය.සර්පයෙකුහේ කඳ මැදින් හෝ වලිගයෙන් අල්ලා ගැනීමෙන් වෙන විපත්තිය වගේ විපතට හේතු වෙනවා.සසර දුකින් මිදී ශාන්ත නිවන් සුව ලබනු පිණිස ධර්මය ඉගෙන ගැනීම නිස්සරණ පරියාප්තියයි, ඒක සාධාරණයි.භාණ්ඩාගාරික පරියප්තිය නම් රහතන් වහන්සේ නමක් ධර්මය ආරක්ෂා වීම පිණිස ත්‍රිපිටකය ඉගෙන ගැනීම.

08.ඒ වගේම සම්පත්ති වශයෙන්
විනය හැදෑරීමෙන් විනය පිටකය අනුගමනය කිරීමෙන් “තී විද්‍යාව සහිත අර්හත්වය”.
සූත්‍ර පිටකය හැදෑරීමෙන්,සූත්‍ර පිටකය හරියට පිළිපැදීමෙන් “ෂඩ් අභිඥා සහිතව අර්හත්වය”.
අභිධර්ම පිටකය හැදෑරීමෙන් අභිධර්මයට අනුව පිළිපැදීමෙන් “ෂඩ් අභිඥා සහ චතුපටිසම්භිදා ඥාන සහිත අර්හත්වය”.

09.ඊළඟට විපත්ති වශයෙන්,
විනය පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන් දුස්සීල භාවයට පැමිණ අපාගාමී වීම
සූත්‍ර පිටකය වැරදිලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙ, වැරදි ලෙස පිළි ගැනීමෙන් නිග්‍රහ කිරීමෙන් දෲෂ්ඨිගතිකව අපාගාමී වීම.
අභිධර්මය පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන් උමතු බවට පත්වී අපාගාමී වීම.

මේ කියන කරුණු නවය(9) අනුව ත්‍රිපිටක ධර්මය ගැන වැඩි විස්තරයක් හැඳින්වේ.එනිසා බුදුරජාණන්වහන්සේ විසින්ම දේශනා කරන ලද මේ අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නොවේය,ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කරන ලද්දක් ය ආදී වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ඒක ජින චක්‍රයට පහර දීමක් කියනවා.ඒ කියන්නේ සර්වඥතාඥානයට පහර දීමක් වෙනවා.ධර්මය අධර්මය කර දැක්වීමේ භේදකර වස්තුවකට වැටෙනවා.ඒ වගේම මෙලොව වශයෙන් ඔහු බොහෝ දුකට පත්වෙලා අපාගාමී වීමට හේතු වෙනවා.

“එනිසා සර්වඥයන් වහන්සේ විසින්ම දේශනා කරන ලද අභිධර්මය ඒ විදිහටම පිළිඅරගෙන අනුගමනය කිරීමෙන් විපස්සනා ඥාන දියුණු කරන්න ශක්තිය ලැබෙනවා.විශේෂයෙන්ම අභිධර්මයට අයිතිදේ තමයි විපස්සනාවට ගැනෙන්නේ.ඒ නිසා අභිධර්මය ඉගෙන ගන්නා තැනැත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා.ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා.එනිසා අභිධර්ම දේශනාව විපස්සනාවට අතිශයින්ම පාදක වෙනවා.අවශ්‍යම වෙනවා. අභිධර්මය ඉගෙනගත්ත අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා..”

එනිසා අභිධර්ම දේශනාව කිසිදු ශ්‍රාවක කෙනෙකු විසින්වත්, වෙනත් කෙනෙකු විසින්වත් සංග්‍රහ කරන ලද්දක් නොව, “සවාසනා සකල ක්ලේෂයන් ප්‍රහාණය කල සර්වඥතාඥානය ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ” ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද අභිධර්ම දේශනාවක් බව අපි දොහොත් මුදුනෙන්ම පිළිගන්නවා…

අති ගෞරවාර්හ…
පුජ්‍යයපාද නා උයනේ අරියධම්ම නා හිමියන්ටත්…
පූජ්‍යයපාද දරණාගම කුසලධම්ම නා හිමියන්ටත්…

පුණ්‍යානුමෝදනා වේවා…!!!