1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත.
2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත.
3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත.
4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත.
5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත.
6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත.
ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය.
ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට වැටහිය යුතුය.
☸ බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස
හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී.
නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකද පමණි.
බුදු රදුන් භව සිය ගණනක් මහත් දුක් කන්ඳරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැතිකරණ එනම් සසරින් එතෙර වන මාර්ගය සොයාගෙන අපට ගෙනවිත් දීමටයි. උන්වහන්සේ පාදා දුන් නිවන් මාර්ගයට ඇතුළුවී හැකි ඉක්මණින් සසරින් එතෙර වීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිම වලට වන්ඳනාමාන කිරීම පමණක් නම් ඒ කරණා දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේ යැයි ඔබ සිතනවාද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදු රදුන්ට කල හැකි ඉහළම සහ එකම උපහාරය නම් එතුමන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමයි. බොහෝ කරදර විඳ ඔබට සුවපත්වීමට ඖෂධය ගෙනැවිත් දුන් වෛද්‍ය වරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මණින්ම සුවපත්වීමයි.
ඔබට සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍ර ආදී කිසිවක් දැනගැනීමට හෝ පාඩම් කිරීමට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. තවද ලෝකයේ ඇති සියළුම බෞද්ධ විහාරස්ථාන , බුදු පිළිම සහ ස්ථූප වන්දනා කරගෙන සිටියත් සෝවාන් මාර්ගයට ඇතුළුවී නැත්තම් ඒවායින් පළක් නැති බව තේරුම් යා යුතුය. ඔබ සසරින් එතෙර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ අන් අයත් එම මාර්ගයට ඇද ගැනීමට උත්සාහ කිරීම අදම පටන්ගන්න.
එසේම බුදු රදුන් යනු ඒ උතුම් මාර්ගය පහදා දුන් උතුමකු මිස මැජික් කරුවකු නොවේ. විභාග සමත් වීමට, මැතිවරණ දිනීමට, ව්‍යාපාර දියුණු කිරීමට, වත් පොහොසත් කම් ලබා ගැනීමට උන්වහන්සේගේ පිළිම ලඟ වැටී කන්නලව් කිරීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි සිතනවාද? බුදු රදුන් දේශණා කලේ ලෞකික සැප සම්පත් අත් හැරිය යුතු මාර්ගයක් මිස ඒවා අත්පත් කරගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැණීමට අප ප්‍රඥාවන්ත වියයුතුය. ඔබ බෞද්ධයෙක්නම් හෝ බෞද්ධ දර්ශණය පිළිගන්නා අයකුනම් ඔබගේ ලෞකික සුභසිද්ධිය සඳහා කළයුතු දේවල් කරණ අතරම බුදු රදුන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අධිශ්ඨාන කරගන්න. ලෞකික දේවල් වලින් තාවකාලික දුක අඩුකිරීම හෝ සතුට ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසන ඇත්තේ සදාකාළිකව දුක නැතිකිරීම බව තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට නොපිවිසේනම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයේ ඇති “මම බුදුන් සරණ යමි” හා “මම දහම් සරණ යමි” යන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබාගන්න.
☸ සසරින් එතෙර වීමට සිතා බැලිය යුත්තේ කවදාද?
අපි සියලුදෙනාටම විවිධ වගකීම් ඇත. දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු, නිවසේ වගකීම්, ණය තුරුස්, මිතුරන් ආශ්‍රය කිරීම, බ්ලොග් එක අප්ඩේට් කිරීම යන දේවල් අප හැමෝම කල යුතුය. එම වගකීම් අඩුවුන දවසක සෝවාන් මාර්ගය ගැන සිටීමට හැකියාව ඇත. එසේ නමුත් අප කෙතරම් කලක් මෙම භවයේ රැඳී සිටී දැයි අපට කිව නොහැකිය. හදිසි පපුවේ අමාරු, වාහන වල හැපීම, විදුලි සැර වැදීම, ඩෙංගු උණ, මිනී මැරීම් ආදී බලපොරොත්තු නොවූ හේතු නිසා අද සවස හෝ හෙට අපට මෙම භවයෙන් පිටවීමට සිදුවිය හැක. එවන් මරණයකට මුහුණ දීමට අපගේ පෙර කර්ම අනුව සිදුවේද නැත්ද යන්න බලා ගැනීමට අපට ක්‍රමයක් නැත. මරණයට පත් නොවුනත් අබ්බගාතයෙකු හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සසරින් පිටවීමට කලයුතු සුළු දේ කරගත නොහැකි උවහොත් අපි තව කොතරම් කලක් සසරේ දුක් විඳීමට සිදුවිය හැකිද?
ඔබ තරුණ වයසේ පසුවන අයෙක්නම් මේ වයසේදී විනෝද වී පසුව සසරින් එතෙරවීම සිතා බැලිය හැකියැයි සිතිය හැක. අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනය ගැන ඔබට දැනීමක් නැත. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියහොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්න බව තේරුම් ගන්න. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියහොත් ඔබට නැවත මනුෂ්‍ය ආත්මයක් බුද්‍යෝත්පාදක කාළයකදී ලැබෙන්නේ තව භව කෝටි ප්‍රකෝටි ගණනකින් පසුව වීමට ඉඩ ඇත.
ඔබ වයසින් වැඩිමහළු පුද්ගලයෙක්නම් පසුගිය කාලයේ ඔබ සසරින් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදවූවේ නැත්නම් ඒ ගැන පසු තැවීමෙන් කාලය නාස්ති නොකරන්න. ඔබගේ ප්‍රඥා ශක්තිය අණුව ඔබට ඉතාමත් සුළු කළකින් එම මාර්ගයට පිවිසිය හැකි වන්නට පුළුවන. එමෙන්ම ඔබ ඒ සඳහා දරණ උත්සාහය අණුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දැමිය හැකිය. එම නිසා ඔබ මේ දැන්ම කලයුත්තේ මෙම භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමත් ඒ සඳහා කලයුතු දේවල් අදම කිරීමට පටන් ගැනීමත්ය.
☸ සෝවාන් මාර්ගයට පිවිසීම අපහසු දෙයක්ද?
නිවන් දැකීමට රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කල යුතුය. අපි අද සිටින රාගය, මෝහය, ද්වේශය බහුල තත්ත්වයේ සිට සහමුලින්ම දුරු කිරීම ඉතාම අපහසු දෙයක් ලෙස පෙනීම ස්වභාවිකය. එසේ දැනීමට ප්‍රධාන හේතුව නම් සෝවාන් මාර්ගයට ඇතුලුවීමට අවශ්‍ය වන්නේ රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කිරීම නොව ඒවා දුරු කිරීමේ මගට වැටීම පමණක් බව නොතේරීමයි. රහත්වීමට කලින් ඇති අනාගාමී තත්වයේ සිටින අයටත් එක්තරා ප්‍රමාණයකට තණ්හාව, රාගය, ද්වේශය ඇත. ඒවා තිබූ පමණින් සෝවාන් මාර්ගයට ඇතුළු වීමට කිසිම බාධාවක් නැති බවට ඇති ඉහළම ශාක්ෂිය එයයි.
ඔබ මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ලංකාව නියෝජයනය කිරීමට කැමති යැයි උපකල්පනය කරන්න. දැනට මීටර් 100 දිවීමේ ලෝක වාර්ථාව දරන්නේ උසේන් බෝල්ට් විසිනි. එක මීටර් 100 තත්පර 9.58 කින් නිම කිරීමයි. ඔබට මීටර් 100ක් දිවීමට තත්පර 15 ක් ගතවනවා යයි සිතන්න. ඔබ දැන් කරන්නේ ඔබට කවදාවත් ලෝක වාර්ථාව ගැනීමට නොහැකි යයි සිතමින් නොදුවා සිටීමයි. ඔබ කළ යුත්තේ පුහුණු වෙමින් ටිකෙන් ටික තත්පර 15 තත්පර 9.58 වෙතට අඩුකර ගැනීමයි. එමෙන්ම නිවන් අවබෝධ කරගැනීමට ද්වේශය, මෝහය, හා රාගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඔබ කලයුත්තේ ටිකෙන් ටික එය අඩුකර ගැනීමට අවශ්‍ය පුහුණු වීම කිරීමයි.
ඔබ අවුරුදු 30ක් පුහුණු වුවත් එම වාර්ථාව සම කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් ඔබට එම වාර්ථාව සම කිරීමට අවුරුදු වැඩිම වශයෙන් අවුරුදු 7 කින් කළ හැකි යැයි සහතිකයක් තිබේනම් ඔබ එය උත්සාහ කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. නිවන් දැකීමට අධිශ්ඨාන කරගෙන ද්වේශය, මෝහය, රාගය අඩුකරගැනීමට උත්සාහ කිරීමට ඔබ සූදානම් නම් එම මාර්ගය වන සෝවාන් මාර්ගයට ඇතුළුවූ අවස්ථාවේ සිට වැඩිම වශයෙන් තව ආත්ම හතකදී රහත් භාවයට පත්වන බව බුදු රදුන් කියා ඇති බව ඔබ දන්නවාද?
සෝවාන් මාර්ගයට ඇතුළුවුවහොත් රහත් භාවයට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවන බව නොසිතන පුද්ගලයා සැමවිටම සිතන්නේ අද සිටින තත්ත්වයේ සිට ද්වේශය, මෝහය, රාගය සහමුලින්ම නැතිකර ගැනීමට ඇති අපහසුතාවයයි. උදාහරණයට යමකුට කොලඹ සිට ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය නම් ඔහු එම දුර තරණය කිරීමට බෝට්ටුවක්, හබල්, මාලිමා යන්ත්‍රයක්, සිතියම් කියවීමේ දැනීම, සුලි සුලං කුණාටු ආදිය ගැන සිතනවා වැනිය. පිටරට යාම ගැන ඉතා සුළු දැනීමක් ඇති අය පවා ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය වන්නේ වීසා ලබා ගැනීමත්, ගුවන් ටිකට් පතක් ලබාගෙන කටුනායක ගුවන් තොටුපොලට යාමත් එහිදී නියමිත ගුවන් යානයට ගොඩවීමත් බව දනිති. නිවන් දැකීමට ද්වේශය, රාගය හා මෝහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගතයුතු වූවත්, සෝවාන් මාර්ගයට අවතීර්ණවීමට ඔබ කලයුත්තේ එම උත්සාහය පටන් ගැනීම පමණක්ම වේ. ලන්ඩන් යාමට අවශ්‍ය පුද්ගලයා විස හා ටිකට් පතක් ගෙන ගුවන් තොටුපලට යනසේ ඔබ කල යුත්තේ (සම්පූර්ණයෙන් නැතිකර ගැනීමේ අරමුණින්) එම දේවල් අඩු කර ගැනීමට පටන් ගැනීමයි.
සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වාණය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.
☸ මාර්ගයට පිවිසිය හැක්කේ සිල් රැක්කොත් පමණද?
මස් මාංශ අනුභව කරන, මත් පැන් පානය කරන, බොරු කියවෙන, කාමයේ වරදවා හැසිරෙන බොහෝ අය සිතන්නේ ඔවුන් අතින් සිල් කැඩෙන බැවින් ඒවා හදා ගන්නා තුරු සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බවයි. ඊට වඩා එහි අනිත් පැත්ත ඇත්ත විය හැක. එනම් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් සිතේ ද්වේශය ආදිය අඩුවී කරුණාව පහලවීමෙන් ඉබේම මස් මාංශ වලට ඇති කෑදරකම නැතිවිය හැක. එනම් සිල් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඉබේ නොවැටුනත් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමෙන් ඉබේම සිල් රැකෙන බව පැහැදිලි විය යුතුය.
අපි සිල් රකින එහෙත් සෝවාන් මාර්ගයට පිවිසීමට උත්සාහ නොගන්නා අයකු උදාහරණයට ගමු. ඔහු පානාතිපාතා සිල් පදය දිවි හිමියෙන් සුරකී. යම් කිසිවෙකු ඔහුට බනින්නට හෝ අපහාස කරන්නට පටන් ගත්තා යයි සිතමු. ඔහුට අනික් පුද්ගලයා සමග දැඩි ද්වේශයක් ඇතිවේ. ඔහු අතට පිහියක් හෝ පිස්තෝලයක් වැනි දෙයක් ලැබුනොත් අර පුද්ගලයාට ඉන් හානියක් කිරීමට හැකි තරම් ද්වේශයක් සහ එසේ කිරීමට ඉතා ආසන්නයට පැමිණියත් තමන් පාණාතිපාතා සිල්පදය සුරකින බැවින් ඔහුගේ ප්‍රාණයට හානියක් කිරීමෙන් වැලකේ. එසේ වුවත් ඔහු ද්වේශය ඇතිවීම නිසා අකුසල් එකතු කරගනී. සිල් රැකීමෙන් පමනක් නිවන් දැකීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුල්වීමට උත්සුකවීමෙන් ඉබේම සිල් රැකෙන බවත් මෙම උදාහරණයෙන් පැහැදිලි විය යුතුය.
☸ සසරේ සිටීමට පින් සහ සසරින් පිටවීමට කුසල්
අප බොහෝ දෙනෙක් පින් සහ කුසල් යන වචන දෙක එකම තේරුමක් ඇති වචන දෙකක් ලෙස පාවිච්චි කරමු. වඩාත් පහසු ක්‍රමය නම් පින් යනු සසරේ සිටිමින් හොඳ උප්පත්තියක්, ලෞකික සැප සම්පත් ලබා ගැනීමට ප්‍රයෝජනයක් වන දෙයක් ලෙසත් කුසල් යනු සසරින් එතෙර වීමට පිහිටවන දෙයක් ලෙසත් තේරුම් ගැනීමයි. සසරේ සිටීමේදී අපට ආහාර, ඇඳුම් පැලදුම්, නිවාස, ආරක්ශාව වැනි විවිධ දේවල් අවශ්‍යය. අපට තිබෙන දෑ දීමෙන් මේවා මේ භවයේදීත් අනාගත භව වලදීත් ඒවා වැඩියෙන් ලැබේ. එමෙන්ම අපි අන් අයගේ දේවල් සොරකම් කිරීමෙන් හෝ නොදී සිටීමෙන් මේ භවයේදීත් අනාගත භව වලදීත් අප සතු වූ දේවල් නැතිවී යාමටත් අපට අවශ්‍ය දේවල් නොලැබී සිටීමත් සිදුවේ.
කුසල් යන්න කුසලතා හැටිය සිතීම වඩාත් ප්‍රායෝගික වේ. කුසලතා යන වචනය යොදාගන්නේ යමක් කිරීමේ හැකියාව යන්න විග්‍රහ කිරීමටයි. කලින් බයිසිකලයක් පැදීමට හෝ පිහිනීමට හෝ ක්‍රීඩාවක් කිරීමට හැකියාවක් නොතිබුණ අයකු එම දෙයක් කිරීමට පුහුණුවී එම හැකියාව අත්කර ගැනීම කුසලතාවක් අත්කර ගැනීමකි. රහත් බව ලැබීමට ද්වේශය, රාගය, මෝහය සහමුලින්ම දුරුකරගත යුතු බව අපි දනිමු. ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩුකරගැනීමට පුහුණුවීම කුසලතා අත් පත් කර ගැනීමකි. උදාහරණයකට ඔබට මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් ද්වේශය අඩු කරගැනීමේ හැකියාව හෝ කුසලතාව අත් කර ගත හැක.
එබැවින් අප තුල ඇති රාග හා ද්වේශ හැඟීම් අඩුකරගැනීමට ඒ ගැන ඉගෙනීම, උගත් දෙ ගැන ඒ මේ අතට විග්‍රහ කරමින් සිතීම, අඩු කරගැනීමේ අභ්‍යාසවල යෙදෙන භාවනාමය කටයුතු සියල්ල කුසල් අත් කර ගැනීම් ගනයට වැටේ.
එමෙන්ම ඔබ යමකුට ද්වේශ කරන්නේනම් එය අකුසල් උපදවන අතර, අන් අයට මෛත්‍රී කිරීම කුසල් උපදවයි. ඔබ අත් හැරීම ප්‍රගුණ කරන්නේනම් එය කුසල් උපදවන අතර, ලෞකික දේවල් වලට වැඩියෙන් බැඳීම අකුසල් උපදවයි. මේ ආකාරයේ කුසල් වැඩීම සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කරන අයත් එම මාර්ගයේ ගමන් කරන අයත් කරණ ප්‍රධානතම කටයුත්තකි. ඔවුන්ටත් සසරේ ඉතිරි කාලය පහසුවෙන් ගත කිරීමට පින් කිරීම ඔවුන් අතින් සිදුවන අතරම, සසරින් එතෙරවීමේ පරමාර්ථය ශාක්ෂාත් කරගැනීමට කුසල් වැඩීම සිදු කරයි.
☸ වෛර කිරීම තවත් ඇසකින්
සෝවාන් මාර්ගයට අවතීර්ණය නොවුනු අය හට ඔවුනට අනදර කරන අය පිලිබඳව ඔවුන්ගේ සිත් තුල වෛර සහගත හැඟීම් ඇතිවීම ස්වභාවිකය. එය යටපත් කර සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට වෛරය අඩුකරගැනීමට මේ ගැන සිතා බලන්න. උදාහරණයකට පිරිමියෙකු අතින් දූෂණය කාන්තාවක් ගනිමු. ඇයගේ ජීවිතය කාලකණ්නි කිරීම නිසා ඇයට දූෂකයා පිලිබඳව ඇතිවන්නේ දැඩි වෛරයකි. බුදු දහම අනුව අපි හේතු ඵල දහම ගැන අවබෝධයක් ලබා ඇත්තෙමු. ඒ අනුව මෙම භවයේ අපි මුහුණ දෙන සියළු දේ සිදුවන්නේ අප විසින් පෙර කරන ලද කර්ම අනුවය. ඒ අනුව එම කාන්තාව දූෂණය වූවේ ඇය විසින් පෙර ආත්මයක කරණ ලද කර්මයක් නිසාය. එවිට දූෂකයා කර ඇත්තේ ඇයට ඇය විසින්ම කරන ලද කර්මයක් ගෙවා දැමීමට වාහකයෙකු වීමයි. එම දූෂකයා ඔහු විසින් කරන ලද පාප කර්මයට මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී දඬුවම් විඳින බව හේතු ඵල දහම අනුව ස්ථීරය. එහෙත් මගේ කර්මය ගෙවා දැමීමට ඔහු දායක වූවත් ඔහුගේ කර්මය ගෙවීමට මා දායක වීම මහා අනුවණ කමකි. එසේ කළොත් වන්නේ එක කර්මයක් ගෙවා තවත් පාප කර්මයක් එකතු කර ගැනීම බව වටහා ගත යුතුය. එසේ හෙයින් දූෂකයාට පරිභව කිරීම. පහරදීම, දේපල විනාශ කිරීම, එල්ලා මරණ ලෙස ඉල්ලීම සිතා ගත නොහැකි තරම් මෝඩ කමකි. බොහෝවිට එම කාන්තාව ඇයට පළදුන්නේ ඇය විසින්ම කරන ලද කර්මයක් බව අමතක කොට දූෂකයාට වෛර කිරීමට පෙලඹේ. එයින් සිදුවන්නේ කලින් කරන ලද කර්මයක් ගෙවා ඒ වෙනුවට අකුසල් එකතු කර ගැනීමය. මෙම වලේ නොවැටී අපිට අනදර කරන ලද සියල්ලන්ම කර ඇත්තේ අපි විසින්ම සිදුකල කර්ම ගෙවා දැනීමට අපිට ‘උදව්’ කිරීමක් යැයි අපි සිතන්නට උත්සාහ කලහොත් ඔවුනට වෛර කිරීමේ අකුසලයෙන් ගැලවීමට අපිට හැකිවේ. ද්වේශය නැතිවීම හෝ අඩුවීම අපව සසරින් එගොඩ කරවීමට මහත්සේ උපකාරී වන දෙයකි.
☸ ඇලීම
අපි ඇලෙන දේවල් ප්‍රධාන වශයෙන් දෙකකි. පුද්ගලයින්ට ඇතිවන ඇලීම සහ වස්තූන්ට ඇතිවන ඇලීමයි. අපි අපේ දරුවන්ට සහ දෙමව්පියන්ට බොහෝවිට ඇලී සිටිමු. පොඩ්ඩක් මේ ගැන සිතන්න. මෙම භවයට පෙර සංසාරයේ කීප විටක්ම අපිට දරුවන් සහ දෙමව්පියන් සිට ඇත. අප ගතකර ඇති භවයන් ගනන අනුව එම දරුවන් සහ දෙමව්පියන් සංඛයාව ගනන් කර ගත නොහැකි ප්‍රමාණයක් වේ. අඩුම වශයෙන් අපට අන්තිම මනුෂ්‍ය භවයේ සිටි දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ නම්වත් මතක නැත. මේ භවයේදීත් ඔබට ඔවුන් ගැන ඇති බැඳීම හා දැනීම පවතින්නේ ඔබ ජීවත්ව සිටින තෙක් පමණි. මෙසේ අපි භව කෝටි ගණනක් පසුකර ඇත්තෙමු. මෙම බැඳීමේ ඇත්ත තත්ත්වය අවබෝධකරගෙන එම ඇලීම් අඩුකර ගෙන සසරින් අප ඉවත්ව නොගියොත් මේ අකාරයටම එක් භවයක් පමණක් දන්නා දරුවන් දෙමව්පියන් නිසා සසරේ අපි සැමදාම සැරිසරණු ඇත. අප විසින් කළ යුතු යුතුකම් ඉටුකල යුතු මුත් ඔවුනුත් අපි මෙන්ම තනිවම සංසාරයේ සැරිසරන පිරිසක් පමණක්ම බව තේරුම් ගතයුතුය. ඔවුන්ටත් සංසාරයෙන් ඉක්මනින්ම පිටවීමට හැකි සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට මග පෙන්වීම පමණක් අපිට කළ හැක. එසේ නැතිව ඔවුන් නිසා අපි සංසාරයේ සිරවීම කිසිම තේරුමක් නැති දෙයක් වේ. එසේම අපිට කොතරම් අවශ්‍ය වුවත් තව කෙනෙකු සංසාරයෙන් එතෙර කරවිය නොහැක. ඒ ගැන මඟ පෙන්වීමක් පමණක් කළ හැක.එම මාර්ගයේ ගමන් කිරීමට ඔවුන් විසින්ම අවබෝධයකින් කිරීමෙන් පමණක් ඔවුන්ට එතෙර විය හැකිවනු ඇත.
☸ තණ්හාව
තවත් අප බොහෝවිට ඇලෙන දෙයක් වන්නේ මිල මුදල් සහ ඉඩකඩම්ය. මුදල් යනු කොල කැබැල්ලකි. එය බැංකුවේ දමා ඇත්නම් අපිට ලැබෙන මාසික ගිණුම් ප්‍රකාශණයත් කොල කැබැල්ලකි. එහි ඇති ‘වටිනාකම’ අනුව අපි ධනවත් යැයි අපිට සිතේ. මෙම මුදල් කලින් වෙන කෙනෙකුගේය. තාවකාලිකව එය අපේ අතට පත්වී ඇත. අපි අද මිය ගියහොත් අපට ඒවායේ කිසිදු වටිනාකමක් නැත. ඒවා වටිනාකමක් ඇති දෙවල් වලට පරිවර්ථනය කල නොගතහොත් ඔබ මිය ගිය විට ඒවා අපතේ යයි. උදාහරණයකට අපි හෙට ජපානයට යන්නේ නම් ලංකාවේ රුපියල් එහි ගෙනයාමෙන් පළක් නැත. අපි යාමට පෙර එම රටේ පරිහරණය කරන මුදල් වර්ගය වන යෙන් වලට රුපියල් මාරු කරගෙන ගියොත් පමණක් එම යෙන් ජපානයේදී විවිධ දේ ගැනීම හෝ කෑම බීම සඳහා පාවිච්චි කල හැක. මෙම භවයෙන් වෙන්වී යාමත් ජපානයට යනවා වැනිය. අපේ අනෙක් භවයේදී වියදම් කිරීමට හැකි වන සේ මාරුකරගෙන නොගියොත් අපිට අද ඇති රුපියල් වලින් අපට වන සෙතක් නැත.
අපිට ඇති මිල මුදල් මේ භවයෙන් පසුව ප්‍රයෝජනවත්වීමට ක්‍රම දෙකකට මාරුකර ගත හැක. එකක් නම් සංසාරයේදී ප්‍රයෝජනවත්වත් වන පින් ලෙසය. නැති බැරි අයගේ යහපත සහ බඩගින්න නිමීම සඳහා අපි සතු දේවල් දෙනවිට පින් අයිතිවේ. එම පින් අපිත් සමග මරණින් පසුද පැමිනෙයි. අනෙක් ක්‍රමය නම් කුසල් උපදවා ගැනීමයි. එනම් අතහැරීමේ පුරුද්ද (කුසලතාවය) වැඩවීමයි. අත්හැරීමේ පුරුද්ද ඇතිකරගැනීමට කළ යුත්තේ තමාට ඉතා කැමතිම දේ අනිකකුට දීමයි. උදාහරණයකට අප සතුව ඇත්තේ රුපියල් දාහක් පමණක් නම් එයින් රුපියල් දහයක් යමෙකුට දීමෙන් අත්හැරීම පුරුදු නොවේ. එයින් වැඩි කොටස අනිකකුට දෙන්නේ නම් එය අත හැරීමකි. තමන් කැමති නැති කමිසයක් හෝ සාරියක් යමකුට දීමට ඉතා පහසුය. අනික් අතට තමා වඩාත්ම කැමති කමිසය හෝ සාරිය වෙන කෙනෙකුට දීම අත් හැරීමේ පුරුද්ද වැඩවීමට හොඳය. කමිසය හෝ සාරිය මෙන්ම තමා කැමතිම කෑමක්, කැමතිම වාහනයක්, ඉඩමක්, හෝ ඕනෑම දෙයක් තමා පරිභෝජනය නොකර අන් අයකුට දීමෙන් අත්හැරීම පුරුදුවේ. එයින් සසරින් එතෙරවීම ඉක්මන් හා පහසුවේ.
මෙහි අන් කෙලවර වන්නේ වස්තූන්ට තදින් බැඳීමයි. අපිට ඉතා කැමති ඉඩමක් හෝ ගෙයක් තිබෙනවා යැයි සිතමු. උජාරුවෙන් මගේ යැයි කියාගන්නා එම ඉඩම මීට අවුරුදු තුන්සීයකට පමණ පෙර වෙන කෙනෙකු මගේ යැයි කියන්නට ඇත. තව අවුරුදු තුනකින් හෝ තුන්සීයකින් තවත් අයකු ඔහුගේ යැයි කියන්නට ඉඩ ඇත. මේ ඉඩම මගේ යැයි සිතමින් ගැන දිවා රෑ ඒ ගැනම සිතමින් මිය ගියහොත් එම ඉඩමේම නයෙක් වී ඉපදිය හැක. එසේ වන්නේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදුනොත් ඔබ උපදින්නේ වෙන පවුලක බැවින් ඔබේ දරුවන් නොදන්නා අයකුට ඉඩම පරිහරණයට නොදෙන බැවිනි. ලෝකය පටන් ගත්දා සිට අවසන් වන දා තෙක් කිසිම ඉඩමක් එක් අයකුට අයිතිවී තිබී නැති බව ඔබට වැටහේ. එය විවිධ අය අතට කාලයෙන් කාලයට මාරුවී ගොස් අවසානයේ නැතිවී යයි. ලෝකය පවතින කාලය සහ පරම්පරාවකට හෝ පුද්ගලයෙකුට ඉඩමක අයිතිය පවතින කාලය සංසන්දනය කලහොත් එය ඉතාමත් කුඩා කාලයකි. එසේ තාවකාලිකව පවතින දේකට බැඳෙමින් සසරින් එතෙරෙවීමට ලැබුණු මේ මහඟු මිනිස් ජීවිතය නාස්තිකර ගන්නේ කුමටද? ජීවත් වීමට අවශ්‍ය කරන දේපල පමනක් තබා ගෙන අනික්වා දරුවන්ට හෝ නැති බැරි අයට ඉක්මනින්ම පවරාදීම ඔබ ඔබටම කරගන්නා මහඟු මෙහෙයකි. පවරා දුන්නත් නොදුන්නත් ඒවාට ඇති බැඳීම අඩුකරගැනීම අනිවාර්‍යයෙන් කළ යුතුය.
අපි බොහෝ විට අලුත් වාහන වලට ඇලුම් කරමු. අපි එසේ ඇලුම් කරන්නේ මොනවාට දැයි මොහොතකට සිතමු. උදාහරණයකට නවීනතම බී.එම්.ඩබ්ලිව් කාර් රථයක් ගැන සිතන්න. එහි ඇති බී.එම්.ඩබ්ලිව් බැජ් එක ගලවා පසෙක තබා, වීදුරු ගලවා තව ගොඩක් ගසා, තහඩු ගලවා තව ගොඩක් ගසා, ටයර් වැනි රබර් කොටස් ගලවා තවත් ගොඩක් ගැසුවොත් ඔබ දැන් මේ ගොඩවල් එකකට හෝ සියල්ලටම ආසාවක් තිබේද? බොහෝවිට ලැබෙන පිළිතුර නැත යන්නයි. එසේනම් ඔබගේ කිසිම කැමැත්තක් නැති මෙම කුණු ගොඩවල් ටික එකිනෙකට ඇමුණූ පසු එයට බැඳෙන්නේ ඇයි. අපි හිත බැඳෙන ඕනෑම දෙයක් කුඩා කොටස් වලට කඩා බැලුවොත් හැම විටම එහි ඇත්තේ කිසි බැඳීමක් ඇතිනොවන බොහෝ විට ජුගුප්සාජනක දේවල් කිහිපයකි. එම දේවල් එකිනෙක උඩ අතුරා ඇතිවිට සිතින් බැඳෙමින් සසරින් එතෙරවීම පමා කර ගැනීම මෝඩ කමක් බව තේරුම් ගන්න.
☸ රාගය
අපි ජීවිතයේ ඇලෙන තවත් දෙයක් වන්නේ රාගයයි. කාන්තාවකට බැඳෙන පුරුෂයෙකු හෝ පුරුෂයෙකුට බැඳෙන කාන්තාවක් ගතහොත්, ඔවුන් සිතන්නේ ඔවුන් අනික් කෙනාට සිතින් බැඳී ඇතයි කියාය. ඇත්තටම සිදුවන්නේ අපේ ඇස සහ රූපය යන දෙකට චක්කු විඥ්ඥානය එකතුවීමෙන් සපර්ශයක් ඇතිවීමත් එසේ ස්පර්ශය ඇතිවූ සැනින් රූපය හඳුනා ගැනීමත්, එම රූපය නිසා ඇතිවන සන්තෝසය හෝ දුක, සහ එම නිසා ඇතිවන බැඳීම් හෝ ගැටීම් ඇතිවීමත්ය.
ප්‍රිය මනාප අයකුගේ රූපය දුටුවිට එම නිසා අභ්‍යන්තරයේ සිදුවන එම හැඟීමට ඇතිවන කැමැත්ත අපේ සිත බාහිරව දකින රූපයකට කැමති උනා යැයි වරදවා සිතයි. ඇස්වසාගෙන සිටින විට හෝ එම බාහිර පුද්ගලයා ඇස් ඉදිරිපිට නැති විටදීත් ඔහුගේ හෝ ඇයගේ රූපය සිතින් මවාගෙන එම හැඟීමම ඇතිකර ගත හැකිය. එය බැඳීම ඇතිවී ඇත්තේ බාහිරව පවතින දෙයකට නොව අභ්‍යන්තරයේ ඇතිවුන හැඟීමකට බවට ඇති හොඳම සාක්ෂියයි. තවත් විටක අපි අයකුගේ මුහුණේ ලස්සනට හෝ අඟ පසඟ වල හැඩයට රාගය ඇතිවේ. මුහුණ ගතහොත් අපට ඇත්තේ එකම ආකාරයේ හිස්කබලකි. තාවකාලිකව පියකරු පැහැයක් ගත් සමකින් සහ තාවකාලිකව මනා පැහැයක් ගත් කෙස් වලින් එය සරසා ඇතිවිට එය
ප්‍රියමනාප රූපයයක් ලෙස අපි සිතමු. එලියෙන් ඇති හම ඉතා කුඩා කාලයකදී රැලි වැටී ගොස් මියගිය පසු දියවී යයි. කෙස් සුදුවී දුර්වර්ණ වී කලකදී වැටී යයි. එසේ ඇති මුහුණකටත් එම ආකර්ශණය ඇතිවනවාද?
හිස් කබල පමණක් ටිකක් වැඩි කාලයක් ඉතිරිවී පසුව පසට එකතුවේ. ඔබ හිස් කබලක් දිහා බැලුවොත් එය ප්‍රියමනාප යැයි නොසිතන්නේනම් එය තාවකාලිකව සමකින් හා කෙස් වලින් වැසූ විට එය ප්‍රියමනාපව අපිට පෙනුනත් එය මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නාස්තිකර තව වසර කෝටි ගණනක් සසරේ දුක් විඳීම තෝරාගැනීමට තරම්ම ප්‍රියමනාපද? අපි ලස්සන යැයි බැඳෙන අඟ පසඟ වල ඇත්තේද ඌරු මස් කඩයක තිබෙන තෙල් කුට්ටි වැනි තෙල් ගුලියක් තාවකාලික සමකින් වසා ඇති දෙයකි. ඔබ ගඳ ගසන තෙල් කුට්ටියකට අකමැති වුවත් තාවකාලිකව පැහැයක් ගෙන ඇති එහෙත් ඉතා සුළු කළකින් දිරාපත් වන හම් කැබැල්ලට මුවාවී පවතින විට කෝටි ගනන් වසර ගණනක් සසරේ දුක් විඳීම තෝරා ගැනීමට තරම්ම එය ආකර්ශනීයද?
ඔබ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගෙවිය යුතු බව මෙයින් කිසිසේත් අදහස් නොකෙරේ. ඔබට රාගික හැඟීමක් පහලවූ විට එවන් හැඟීමක් පහලවූ බව මෙනෙහි කරන්න. ඔබ යෙදෙන ක්‍රියාවලි වල තිබෙන සතුටේ තාවකාලික බව මෙනෙහි කරන්න. ඔබට රාගික හැඟිම් පහලවීමට හේතුවූ රූපයේ ඇති තාවකාලික බව මෙනෙහි කරන්න. එවිට ඔබ එම ක්‍රියාවලියේ යෙදී ඇත්තේ ඒ ගැන නිවැරදි අවබෝධයකින් යුතුවය.
☸ මානය
අපි බොහෝ දෙනෙක් මාන්නය නිසා සසරින් එතෙර වන දොරෙන් බොහෝ ඈත්වී සිටිමු. බලය, සමේ පාට, පවුල් පරම්පරාවල්, සුදුසුකම්, කුලය, නිලය, වස්තුව, පෙනුම, ආදී නොයෙකුත් දේවල් පදනම් කරගෙන අප අන් අයට වඩා උසස් යැයි සිතා සිටිමු. මෙය විශාල පොට වරද්දා ගැනීමකි. අපගේ බාහිර ශරීරය අප නොවන බව තේරුම් ගත යුතුය. එය තාවකාලිකව අපි වසන ස්ථානයක් විනා අප නොවේ.
විශාල ඇතෙක් මත තාවකාලිකව වසා සිටින කුඩා කුරුමිණියෙක් ගැන සිතන්න. ඇතාට සාපේක්ෂව කුරුමිණියාගේ ඇති ඉතා කුඩා කම නිසා ඇතා දෙස බලන අයකුට කුරුමිණියා නොපෙනේ. කුරුමිණියා අපි නම් ඇතා අපි තාවකාලිකව වසන මේ ශරීරය වැනිය. අපි මියයනවා කියන්නේ කුරුමිණියා එම ඇතාගෙන් බැස ගොස් වෙනත් සතකුගේ පිට නැගගන්නවා වැනිය. කුරුමිණියාට ඇතාව මීලඟ භවයට අරගෙන යා නොහැකිය. ඇතාගේ සද්ධන්ත බව නිසා ඌ යනවිට අනික් සතුන් එතනින් ඉඩ දී ඉවත්වේ. ඇතා උසස් කුලයක එකෙක් නම් සමහර විට වන්දනාමාන ලැබීමට ඉඩ ඇත. එවිට කුරුමිණියා සිතන්නේ අනෙක් සතුන් ඌට බයේ ඉඩ දෙනවා කියාය. ගරු නම්බු ලැබෙන්නේ ඌට කියාය. අපි මේ කයට ලැබෙන ගරු නම්බු, තානාන්තර, පට්ටම් අපිට ලැබුණා යැයි වරදවා වටහාගෙන සිටිමු. අපිට ලැබෙන දේවල් නම් අපි මේ කයෙන් නික්ම යනවිට රැගෙන යාමට හැකිවිය යුතුය. අපි මියයනවිට අපේ නම්බුනාම, තනතුරු, ආදිය අපි සමඟ නොයන නමුත් අපි එකතුකරහත් කුසල්, අකුසල්, පින් සහ පව් පමණක් මීලඟ බවයට අරන් ගිය හැකිය. ඇතාට ලැබෙන සැලකිලි තමාට ලැබුණායයි සිතා මුලා වුන කුරුමිණියා මෙන් එම සැලකිලි නිසා අන් අයට අප කරන ලද නින්දා, අවමාන, අනදර, සියල්ල අකුසල් සහ පව් ලෙස රැගෙන යා යුතුය. එසේම ඇතාගේ හැකියාවන්, නම්බුනාම ප්‍රයෝජනයට ගනිමින් අසරණයන්ට පිහිටවීම, දන් දීම, දුප්පතුන්ට අහාර ලබාදීම, නිවාස සදාදීම, වැනි දේ කර ඇත්නම් ඒ දේවල් වලට අදාල කුසල් සහ පින් ඇතා හැර යන අවස්ථාවේ කුරුමිණියාට රැගෙන යා හැකිය.
ඔබ උසස් පවුලක ඉපදී ඇත්නම්, වතුපිටි ඉඩකඩම් හා යාන වාහන ලැබී ඇත්නම් හෝ ඉහල අධ්‍යාපනික සුදුසුකම් ලබා ඇත්නම්, උසස් තනතුරු දරන්නේනම් ඒ සියල්ල අපගේ පෙර පින් නිසා ලැබූ ඒවා බව තේරුම් ගන්න. ඒවා ලැබී ඇත්තේ ඔබට නොව ඔබ තාවකාලිකව ජීවත්වෙන ශරීරයට බවත් තේරුම් ගන්න. සුළු කලකින් ඔබ මේ ශරීරය හැරදා පිටවිය යුතු බව ඔබ හොඳින්ම දනී. එවිට මේ එකක්වත් ඔබ රැගෙන යා නොහැකි බවද ඔබ දනී . ඒවා අනාගත භව වලදී ප්‍රයෝජනයට හැකිවන පරිදි හුවමාරු කර ගැනීමට ඔබ ඥාණවන්ත විය යුතුය. ජපානයට යන පුද්ගලයා එහිදී පාවිච්චි කල හැකි ලෙස රුපියල් දී ඒවා යෙන් වලට හුවමාරු කරගන්නා මෙන් මෙම භවයෙන් පිටවීමට පෙර ඔබේ ඇති හැකියාවන්, දස්කම්, සුදුසුකම්, වත්කම්, සබඳකම්, තානාන්තර හැකිතරම් අනුන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න. එවිට එම ක්‍රියාවලින් ඔබ කුසල් රැස්කරගන්නවා මෙන්ම මතු ප්‍රයෝජනයට පින් ද රැස්කර ගත හැක.
සාරාංශය
සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වාණය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.
ඔබ කුමන තරාතිරමක සිටියත්, ඔබ අතින් මොන සිල් පද කැඩුණත්, ඔබ විසින් මුලින්ම සහ වහාම කලයුතු දෙය නම් මෙය නැවත නැවතත් කියවා හෝ මේ මොහොතේම මෙම භවයේම සසරින් එතෙර කරවන සෝවාන් මාර්ගයට ඇතුළුවන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමයි.
ඔබට ඇලීම් වැඩි බැවින් සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට බාධාවක් යැයි නොසිතා සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් ක්‍රමක්‍රමයෙන් ඇලීම් අඩුවන බව වටහා ගන්න. එසේම සිල් උත්සාහයෙන් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් නිරුත්සාහයෙන්ම සිල් රැකෙන බවත් වටහා ගන්න.
එයින් පසුව කලයුත්තේ මේ ජීවිතයේ ඔබ බැඳෙන ඇලෙන දේවල් ගැන විමසා බැලීමයි. නොතේරීම නිසා අපි බැඳෙන ඉඩ කඩම්, යාන වාහන ගැන සිතන්න. කලින් විස්තර කර ඇති පරිදි අපි බැඳී ඇත්තේ කිසිම වැඩකට ඇති එමෙන්ම තාවකාලික දේවල් බව ඔබට වැටහෙනු ඇත. එසේ වුවත් හෙටත් ඔබට එවැනි ලෞකික දේවල් වලට ආසාව ඇතිවනු ඇත. එසේ අසාවක් ආ විගස ඒ ඇති තාවකාලික සහ නිස්සාර ගතිය ගැන සිතන්න.
ඔබ රාගයට ඇලී ඇත් දැයි සිතා බලන්න. රාගය ඇතිවන්නේ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රියමනාප බවට, අඟ පසඟට බව තේරුම් ගන්න. ඒ දේවල් සෑදී ඇත්තේ ජුගුප්සාජනක දේවල් කිහිපයක් එකිනෙක තබා එකිනෙකට මුවා කර තැබීමෙන් බව තේරුම් ගෙන සිතන්න. හෙටත් පෙනුම ඇති අයකු දුටුවහොත් ඔබට රාගික හැඟීම් ඇතිවනු ඇත. එසේ ඇතිවුන විටම ඒ ගැන සිතන්න. රාගික හැඟීමක් ආ බවත් එසේ ආවේ සමකට මුවාවූ තෙල් ගුලියකට, ඇට සැකිල්ලකට බව සිතන්න. ඔබ දන්නා මහලු වැහැරී ගිය පුද්ගලයෙකු ගැන මතකයට ගන්න. අද සුන්දරව ඔබට පෙනෙන පුද්ගලයන්ගේ ඔබ ඇලෙන ඒ සුන්දර බව තාවකාලික දෙයක් බව සිතන්න. ඉතාම කෙටි කලකින් ඔවුනුත් වැහැරී යන හැටි සිතින් මවා ගන්න. ඔබ දකින හැම සුන්දර දෙයක්, සුන්දර පුද්ගලයෙක් ගැනම එම සුන්දර කමේ තාවකාලික බව, නිස්සාර බව එම වෙලාවේම ගැන සිතන්න.
ඔබට යම්කිසිවෙකු ගැන තරහවක් ආ විගස හේතුඵලවාදය ගැන සිතන්න. ඔබට වුන පාඩුව, ලැජ්ජාව, අපහාසය ඔබ විසින්ම පෙර භවයකදී කල පවක් පටිසන් දීමක් පමනක්ම බව සිතන්න. ඔබට පාඩුව, ලැජ්ජාව හෝ අපහාසය කල පුද්ගලයාට බැනීමෙන්, ගැසීමෙන් තව පව් පුරවා ගැනීම මෝඩ කමක් බව සිතන්න. කලින් කල පව ගෙවා දැම්මා යැයි සිතන්න. ඔහු හෝ ඇය කලේ ඔබ කල පවක් ගෙවා දැමීමට උදව් වීමක් පමණක් බව සිතා ඔහුට සිතින් ස්තූතිවන්ත වන්න. ඔබට කරදරයක් කරන ලද පුද්ගලයා එම නිසා නීතිය මඟින් හෝ අන් අයුරකින් දුක් විඳීමට සිදුවී ඇත්නම් එයින් ඔහුව මුදවා ගැනීමට ඔබට හැකිනම් වහාම ඉදිරිපත්වී එය කරන්න.
යම් කිසිවෙක් ඔබෙන් යමක් ඉල්ලන්නේනම් ඔබ ගාව එම දේ ඇත්නම් වහාම ඉල්ලන පුද්ගලයාට දෙන්න. ඔබට ඔබ ඉතා කැමති කෑම වර්ගයක් ලැබුනොත් එහි රස නොබලාම එවන් වටිනා කෑම වර්ග ලබා ගැනීමට හැකියාවක් නොමැති අයකුට එය දෙන්න. ඔබගේ බඩගින්න නිවා ගැනීමට සාමාන්‍ය දෙයක් ආහාරයට ගන්න. ඔබට වටිනා හෝ ලස්සන දෙයක් ලැබුණොත් එය දෙන්නේ කාටද යන්න ගැන සිතන්න. හැකි ඉක්මනින් එය එයට කැමති යැයි ඔබට හැඟෙන අයකුට දෙන්න. යම් කිසිවෙක් ඔබේ අත් ඔරලෝසුව වර්ණනා කලොත් එය ගලවා ඔහුට දෙන්න. ඔබ එසේ යමක් යමකුට දුන්නොත් එය අමතක කරදමන්න. ඔහු එය විකුණාගනියි, මම ඔහුගේ ප්‍රෝඩාවකට අහූඋනා යැයි නොසිතන්න. ඔහු ඔබට ප්‍රෝඩාවක් කළොත් එයින් වන පව හෝ අකුසළය ඔහුට මිස ඔබට නොවේ. ඔබත් කැමති දෙයක් වෙන කෙනෙකුට දීමට ඇති ඔබගේ හැකියාව තව දියුණු කරගන්නේ කෙසේදැයි නිතර සිතන්න.
අන් අය ඔබට සහ සමාජයට ඔවුන්ගේ වගකීම් ඉටුකලත් නැතත් ඔබ ඔබගේ වගකීම් සියළු දෙනාටම නොවලහා කරන්න. කුසගින්නේ, වැරහැලි ඇඳගත්, ගෙයක් දොරක් නැති අය ඔබට හමුවන්නේ ඔබට අත් හැරීමේ පුරුද්ද තවත් වැඩිදියුණු කරගැනීමට බව නිතර සිතන්න. එසේ ලැබෙන කිසිම අවස්ථාවක් පැහැර නොහරින්න.
ඔබ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා, අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා, සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව, බුදු දහම ඇතිකාලයක, බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇති එකම හේතුව මේ භවයේදීම සසරින් එතෙර වන මාර්ගයට පිවිසී හැකිතරම් දුර එම මාර්ගයේ ගමන් කිරීමට පමණක්ම යන කාරණය උදේ ඇහැරුණු මොහොතේත් රෑ නින්දට යන මොහොතේදීත් මතක් කරගන්න.
මෙසේ ජීවත් වීම පුරුද්දක් කරගත් විට ඔබට කවදාවත් අත් නොවිඳි සැහැල්ලුවක් දැනෙනු ඇත. එසේ දැනෙන සැහැල්ලුව සසරේ කවදාවත් ඔබ අත් හැර නොයන සැහැල්ලුවක් බව ඔබට කෙමෙන් තේරුම් යනු ඇත.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.