සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.

සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ. එහි පිළිවෙල මෙසේය.

” අහෝ! මේ සත්ත්ව සමූහය දුකට පැමිණියේය. මේ සත්ත්වයෝ උපදින්නාහු ද වෙති, දිරන්නාහු ද වෙති, මැරෙන්නාහු ද වෙති, නැවත නැවත මැරෙන්නාහු ද වෙති, නැවත නැවත උපදින්නාහු ද වෙති. එහෙත් ඔවුහු ජරා මරණයෙන් මිදීමක් නො දකිති. කවදා මේ ජරා මරණ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදීමක් පෙනෙන්නේද, කුමක් ඇති කල්හි කිනම් හේතුවක් නිසා ජරා මරණය වේදැයි” උන්වහන්සේ නුවණින් විමසන්නට බලන්නට වූහ. එකලිහි ඉපදීම් ඇති කල්හි ඉපදීම නිසා ජරා මරණය වන බව උන් වහන්ටස් ගේ නුවණට පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් ජාතිය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට භවය ඇති කල්හි භවය හේතු කොට ඉපදීම ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් භවය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට උපාදානය ඇති කල්හි උපාදානය නිසා භවය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් උපාදානය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට තෘෂ්ණාව ඇති කල්හි තෘෂ්ණාව නිසා උපාදානය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් තෘෂ්ණාව ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට වේදනාව ඇති කල්හි වේදනාව නිසා තෘෂ්ණාව ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් වේදනාව ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට ස්පර්ශය ඇති කල්හි ස්පර්ශය නිසා වේදනාව ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් ස්පර්ශය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට ෂඩායතන ඇති කල්හි ෂඩායතනය නිසා ස්පර්ශය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් ෂඩායතනය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට නාමරෑපය ඇති කල්හි නාමරෑපය නිසා ෂඩායතනය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් නාමරෑපය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා නාමරෑපය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් විඤ්ඤාණය ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට සංස්කාරය ඇති කල්හි සංස්කාරය නිසා විඤ්ඤාණය ඇති බව පෙනිණ.

ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් සංස්කාරයෝ ඇති වේ දැයි කල්පනා කළාහ. උන් වහන්සේ ගේ නුවණට අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇති බව පෙනිණ.

මෙසේ මහ බෝසතාණන් වහන්සේට එසමයෙහි චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේහි පිරෑ පාරමිතා කුශල බලයෙන්

” අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙත්ය, සංස්කාරයන් හේතුකොට විඥානය වේය, විඥානය හේතුකොට නාමරෑපය වේය,
නාමරෑපය හේතුකොට ෂඩායතනය වේය, ෂඩායතනය හේතුකොට ස්පර්ශය වේය,
ස්පර්ශය හේතුකොට වේදනාව වේය, වේදනාව හේතුකොට තෘෂ්ණාව වේය, තෘෂ්ණාව හේතුකොට උපාදානය වේය, උපාදානය හේතුකොට භවය වේය, භවය හේතුකොට ජාතිය වේය, ජාතිය හේතුකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෞර්මනස්ස්‍ය උපායාසයෝ වෙත්ය” යි පෙර නො ඇසූ විරෑ මේ ප්‍රතීත්‍යසමුත්පාද පිළිබඳ වූ ප්‍රඥා චක්ෂුස උපන, ඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.

ඉක්බිති මහා බෝසතාණෝ කුමක් නැ කල්හි ජරා මරණය නො වේද, කුමක් නිරැද්ධ කල්හි ජරා මරණය නිරෝධය වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට ජාතිය නැති කල්හි ජරා මරණය නො වන බව ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වන බව පෙනිණ. මෙසේ එකින් එකේ නිරෝධය නුවණින් බැලූ බෝසතාණන් වහන්සේට සියල්ලේම නිරෝධය ද පෙනිණ. මෙසේ මහ බෝසතාණන් වහන්සේට :-

අවිද්‍යාවගේ ම නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේය,
විඥාන නිරෝධයෙන් නාමරෑප නිරෝධය වේය,
නාමරෑප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේය, ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධය වේය, ස්පර්ශය නිරෝධයෙන් වේදනා නිරෝධය වේය, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේය, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේය, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේය, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෞර්මනස්‍යෝපායාසයෝ නිරැද්ධ වෙත්ය. මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේ යැයි පෙර නො ඇසූ විරෑ මේ ධර්මය පිළිබඳ වූ ප්‍රඥා චක්ෂුස උපන, ඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.

මෙසේ දක්නා ලද ප්‍රතීත්‍යසමුප්පාදය අනුලෝමව ප්‍රතිලෝමව වශයෙන් සම්මර්ශනය කොට පිළිවෙළින් සෝවන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්ග සතර ඵලයට පැමිණ සංසාර චක්‍රය සිඳ උන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වදාළ සේක. සංසාර චක්‍රය සිඳලීමේ ප්‍රීතිය කරණ කොට ගෙන එදා අරැණෝදය වෙලාවෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලා ගේ චරිත්‍ර ධර්මය අනුව මේ ගාථාව වදාළ සේක.

අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි – පුන ගෙහං න කාහසී
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඡංගා

” නැවත නැවත ඉපදීම දුකෙකි, සසර නැවත නැවත ඉපදීම් වශයෙන් පංච ස්කන්ධ සංඛ්‍යාත ගෘහය නැවත නැවත තනන්නා වූ තෘෂ්ණා නැමති වඩුවා සොයමින් ඔහු අල්ලා ගත නොහැකිව නොයෙක් සිය දහස් ගණන් ජාතියෙහි සසර ඒ මේ අත දිවූයෙමි. ස්කන්ධ සංඛ්‍යාත ගෘහය තනන්නා වූ එම්බා තෘෂ්ණා නැමති වඩුවා, තා මම දුටිවෙමි. මින් මතු තෝ මට ගෙවල් නො තනන්නෙහිය. තා ගේ සහකාර කෙලෙස් නැමති පරාල සියල්ල මා විසින් සිඳින ලද්දේය. ස්කන්ධ ගෘහයා ගේ මුදුන වූ අවිද්‍යාව මා විසින් නසන ලද්දේය. මාගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේය. තෘෂ්ණාවන්ගේ ක්ෂයය වූ අර්හත්වයට මම පැමිණියේ වෙමි” යනු එහි අදහස යි.

බුදුබව පවා සිදු කර දෙන ප්‍රතීත්‍යසමුත්පාදය පිළිබඳ දැනුම ඇති කරගත් තැනැත්තාට කිනම් බෝධියකින් වුව ද නිවන් දැකිය හැකි වන බැවින් නිවන් පතන සියල්ලෝ ම මේ ධර්මය දැනගැනීමට උත්සාහ කෙරෙත්වා..!

අතිපූජ්‍ය රේරැකානේ චන්ද්‍රවිමල නාහිමියන්.