සකුණග්ගී සූත්‍රය.

පින්වත් මහණෙනි, දිනක් ගිජුලිහිණියක් පැමිණ බලහත්කාරයෙන් සාහසික ලෙස කැටකුරුල්ලෙකු අල්ලාගෙන අහසේ වේගයෙන් පියාසර කරන්නට පටන් ගත්තා. එවිට අර කුරුල්ලා “අනේ, අපේමයි වරද, අපේමයි මේ කාලකණ්ණිකම, අපට මේ විපත සිදුවුණේ අපට අයිති නැති තැන්වල හැසුරුණ නිසාය.”

අපට පිය පරපුරෙන් ලැබුන ආරක්ෂා ස්ථානයේ අප සිටියා නම්, මේ ගිජුලිහිණියා මෙලෙස අප හා යුද්ධ කරන්නට එන්නේ නැතැයි මහත් වූ හඬින් විළාප දුන්නා. ඒ වචනයෙන් ගිජුලිහිණිය පුදුමයට පත්වුණා. ඈ කැට කුරුල්ලාගෙන් මෙහෙම ඇහුවා.

එම්බල කුරුළු පැටව. හා තොපටත් තිබේද පිය පරපුරෙන් ලැඛෙන උරුමයක්? කියව, කොහේද ඒ තොපගේ උරුමය තිබෙන්නේ?

ගිජුලිහිණිය, කුඹුරෙහි නඟුලෙන් පෙරළන පස්කැට තිබෙන තැන දන්නවාද? අන්න එතන තමා අපගේ පිය උරුමයෙන් ලද ආරක්ෂා ස්ථානය තිබෙන්නේ.

පින්වත් මහණෙනි, එවිට ගිජුලිහිණියා වඩ වඩාත් ආඩම්බර වුණා. තමාගේ බලය ගැන මුසපත් වුණා. සාඩම්බර වචනයෙන් කුරුළු පැටියාට මෙහෙම කිව්වා.

හහ් එම්බල කැටකුරුළු පැටව, මා තා දැන් නිදහස් කරමි. හා යව, හැකි නම් මගෙන් ගැලවී පලායව. මගෙන් නම් තට නිදහසක් නැතැයි.

පින්වත් මහණෙනි, කැටකුරුල්ලාද නඟුලෙන් පෙරලන ලද ලොකු පස් කැටයක් මතට ගොස් ගිජුලිහිණිය දෙස බලා, හා ගිජුලිහිණිය හැකිනම් දැන් වර, හැකිනම් දැන් වරයි හඬ නැඟුවා.

එවිට ගිජුලිහිණිය අහසේ සිට තමාගේ බලයෙන් මුසපත්ව පියාපත් දෙක සමව තබාගෙන අර කැටකුරුල්ලා වෙත, සාහසික ලෙස මහත් වූ වේගයෙන් පහතට ඇදී ආවා.

දැන් මේ ගිජුලිහිණිය, මා අල්ලා ගන්නට ආසන්න වුණා නොවෙදැයි, කියා කැට කුරුල්ලා සැණෙකින් පස් කැටය යටට රිංගුවා. වේගයෙන් පැමිණි ගිජුලිහිණිය කුරුළු පැටියා අල්ලාගනු වෙනුවට අර ලොකු පස් කැටයේ පපුව වැදී විපතට පත්වුණා.

ඉතින් පින්වත් මහණෙනි, දුටුවාද තමාට අයත් නැති අනාරක්ෂිත තැන්වල යන්නට ගොස් සිදු කරගන්නා දේ?

එලෙසටම පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස්වනු කැමති තැනැත්තාටද අනාරක්ෂිත වූ අගෝචර වූ අනුන්ගේ බලහත්කාරකම්වලට හසුවන්නාවූ තැනක් තිබේ. එනම්, මේ පංච කාම ගුණයන්ය. ඒ මේ, සිත් අලවන, සිත ඇදී යන, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිවන, කෙළෙස් හටගන්නා වූ ඇසින් දකින රූපයන්ය. කණින් අසන ශබ්දයන්ය. නාසයට දැනෙන ගන්ධයන්ය. දිවට දැනෙන රසන්ය. කයට දැනෙන පහසය.

ඔය තැන් පහම අනාරක්ෂිතය. අගෝචරය. අනුන්ගේ බලහත්කාරකම්වලට හසුවන තැන්ය. එහෙත් පින්වත් මහණෙනි, ඔබට ආරක්ෂා ස්ථානයක් තිබේ. ගෝචර ස්ථානයක් තිබේ. එය තම පියාණන්ගේ පාරම්පරික උරුමයයි.

එයයි ඔබට අයිති තැන. එයයි අනුන්ගේ බලහත්කාරකම්වලට හසු නොවන තැන. එයයි ක්ෂේම ස්ථානය. එයයි ආරක්ෂා ස්ථානය. එනම් (ඔබ සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ) ඔබගේ පියාණන්ගේ පාරම්පරික උරුමය වන සතර සතිපට්ඨානය යි.

(සකුණග්ගී සුත්ත – සං. නි.)

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.