කෙලෙස් ඇත්තාට ලෝකය විශාලය. රහතන් වහන්සේට ලෝකය නිරුද්ධය.!

පින්වත් මහත්මයෙක් භික්ෂුව ගෙන් ප්‍රශ්නයක් විමසුවා, “රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද” කියල. භික්ෂුව සූත්‍රගත ධර්මයන්ට අදාළව ලබා දුන් පිළිතුර වූයේ “මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත් ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නෙ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා උතුම් රහත් ඵල අවබෝධයට පත් වුණත්, අපි අවසාන අදියරේ දී අවබෝධ කර ගන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයයි. එසේ නම් රහතන් වහන්සේ නමක් පුරුෂ හෝ ස්ත්‍රී රූපයක් දකිද්දී, උන්වහන්සේ තුළ ඇඳී මැකී යන්නේ රූපයේ අනිත්‍යභාවයයි. රූපය, ඇඳී මැකී යනවාය කියල සටහන් තැබුවේ රහතන් වහන්සේ තුළ ඵස්සය සකස් වුනත් ඵස්සය තෙත් කිරීමට තෘෂ්ණාව නොමැති නිසාම ඇඳුණු රූපය විඳීමකින් තොරව ම මැකී යනවාය කියන කාරණයයි.

තෘෂ්ණාවේ ඝන තින්ත තිබෙන තාක් කල් අපි මොකද කරන්නේ..? ඇඳුන රූපය, තෘෂ්ණාවේ ඝන තින්තෙන් පංච උපාදානස්කන්ධයක් සිතුවම් කොට ගන්නවා. අපි අවසාන චුති සිතේදී සකස් වෙන ඵස්සය තෘෂ්ණාවේ ඝන තින්තෙන් තෙත් කළොත් ඇලීම් සහ ගැටීම් ඔස්සේ හඳුනා ගැනීම් හරහා සංස්කාර ඔස්සේ ලස්සන දිව්‍ය රූපයක්, මනුෂ්‍ය රූපයක් එසේත් නැතිනම් අවලස්සන සතර අපායේ සත්ත්ව රූපයක් සිතුවම් කරාවි. සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා, ආනන්ද ස්වාමීන් වහන්සේ වරක් සාරිපුත්ත මහෝත්තමයන් ගෙන් විමසනවා “ඔබ වහන්සේ මුහුණ අද හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේ කුමන විහරණයකින් ද අද වාසය කළේ” කියල. එවිට සාරිපුත්ත උත්තමයන් පිළිතුරු දෙනව, “ආනන්ද මම අද මෛත්‍රී විහරණයෙන් ගත කළා”ය කියල.

අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලා දෙතිස් කුණපය වඩමින්, ධාතු මනසිකාරය වඩමින්, අට්ඨික සඤ්ඤාව වඩමින්, මරණානුස්සතිය ආදී වූ විවිධ විදර්ශනාමය විහරණයන් වඩමින් විවේකීව වාසය කළ බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ඔබ සිතන්නකෝ යම් රහතන් වහන්සේ නමක් අද දවසේ අට්ඨික සඤ්ඤාව වඩමින් ජීවත් වුණාය කියල. එම අට්ඨික සඤ්ඤාව වඩන රහතන් වහන්සේ ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් දැක්කොත් උන්වහන්සේ එම රූපය දකින්නේ ඇටසැකිල්ලක් වශයෙන් මය. හෙට දවසේ එම රහතන් වහන්සේ මරණානුස්සති විහරණයෙන් ගත කළොත් එම රහතන් වහන්සේ ස්ත්‍රී හෝ පුරුෂ රූපය දකින්නේ මළ කඳක් ලෙසින් මය. එම රහතන් වහන්සේ ම අනිද්දා දවසේ මෛත්‍රී විහරණයෙන් ගත කළොත් එදාට එම රහතන් වහන්සේ ස්ත්‍රී හෝ පුරුෂ රූපය දකින්නේ විදර්ශනාමය සුවපත් වේවා යැයි දකින අර්ථයෙන් මය. “රහතන් වහන්සේ නමක් අවබෝධ කරන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවයන් ගේ අනිත්‍ය භාවයයි. එම උත්තරීතර අවබෝධයත් සමගම එම රහතන් වහන්සේ උපාදානය නිරෝධය කළ පංචස්කන්ධයක් පමණක් තාවකාලිකව නඩත්තු කරනවා. දැන් උන්වහන්සේට ඉතිරිව තිබෙන්නේ තමන් අවබෝධ කළ පංච උපාදානස්කන්ධ නුවණින් සිහි කරමින් ජීවත් වීම” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුල් අදිරේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසයත් සිඳදමා, කාම, රාග පටිඝයන් දෙවැනි වටයේදී නිරෝධය කොට ඉන් ඉක්බිති අවිද්‍යාව නිරෝධය කරන රහතන් වහන්සේලා ගේ ජීවිත, අපේ ජීවිත ඉදිරියේ බලාපොරොත්තුවක් නොව මාර්ගයක් කොට ගනිමු.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මේ ලෝකයේ සත්ත්ව වාසයන් තිබෙනවා. ඒවා සදාකාලිකව ම අඳුරෙන් වැසිලයි තිබෙන්නේ. සත්ත්වයන්, අමනුෂ්‍යයන් කෝටි ගණන් මේ අඳුරු ලෝක වල ජීවත් වුණත් එම සත්ත්වයන් කවදාකවත් එකිනෙකා රූපයෙන් දකින්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගන්න මොහොතේ එක නිමේෂයක් මේ අඳුරු ලෝකයන් ආලෝකවත් වෙනවා. මේ කෙටි ආලෝක තත්ත්වයේදී තමයි මේ අඳුරේ ම ජීවත් වෙන සත්ත්වයෝ දකින්නේ තමන් වගේම තවත් මහා සත්ත්ව ප්‍රජාවක් මේ ඝණාන්ධකාරයේ ජීවත් වෙනවාය” කියල. “එහෙම දකිද්දි ම ආයෙමත් ඒ ආලෝකය අවුරුදු ලක්‍ෂ ගණනකට අතුරුදහන් වෙලා යනවා”ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබ අඳුරට කැමති වුණොත්, අඳුරේ සිදුකරන රැකියාවන්ට කැමති වුණොත්, පරිසරය ආලෝකවත් කරන විදුලි බුබුළු බිඳ දැම්මොත්, කළුවර කෙරෙහි කැමැත්ත හේතුවෙන් සකස් වෙන ‘උපාදාන පච්චයා භවො’ නමැති ධර්මතාව හේතුවෙන් මෙවැනි ගණාන්ධකාර සත්ත්ව වාසස්ථාන වල ඉපදෙන්නට පුළුවන්.

හිරු එළියට, වැස්සට, පින්නට, සීතලට කැමති පින්වතුන් කොච්චර නම් සිටිනවාද..? කෘෂි කර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ යෙදෙන පින්වතුන්ලා ඉහත ධර්මතාවන්ට තෘෂ්ණාවෙන් බැඳිලයි ජීවත් වෙන්නේ. තෘෂ්ණාව සකස් වුණ තැන ධර්මානුකූලව සකස් වෙන ‘උපාදාන පච්චයා භවො’ කියන ධර්මතාව තුළ අපි ඉරට, වැස්සට, පින්නට, ශීතලට, සුළඟට අධිගෘහිත දෙවියෙක් හෝ දිව්‍යාංගනාවක් වෙලා ඉපදෙන්නට පුළුවන්. මහ සාගරය තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් පින්වතා මහ මුහුදේ අසුරයෙක් වෙලා උපදිනවා වගේ නුවරඑළියේ ශීතල විඳින්න කැමති පින්වතා ශීතලට අධිගෘහිත දෙවියෙක් වෙලා උපදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “හරක් රංචුව බලන ගොපලු දරුවා තම හරක් රංචුව රූපයෙන් හඳුනනවා”ය කියල. රූපයෙන් හඳුනනවාය කියන්නෙ මේ රත්ති, මේ හඳයා, මේ සුද්දි මේ ආකාරයට ගොපලු දරුවා තම රංචුවේ හරකුන් රූපයෙන් හඳුනනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අවබෝධයෙන් ගමන් කරන ආර්ය ශ්‍රාවකයා තමාගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් ධර්මානුකූලව හඳුනාගත යුතුයි” කියල. රූපය ධර්මානුකූලව හඳුනා නොගත්තොත් පින්වත් ඔබ රූපයන්ට තෘෂ්ණාවෙන් බැඳී රූපයන් මගේ කොට ගෙන රූපය නැවත රූපයකට බැසගැනීම උදෙසා ම ශක්තිමත් කොට ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ගොපලු දරුවා තම හරක් රංචුව රූපයෙන් හඳුනා ගන්නවා වගේ ඔබගේ ඵස්සයට හේතු වන ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන් වශයෙන් හඳුනාගත යුතුයි” කියල. පින්වත් ඔබ අවංකව ම ඔබගේ රූපය සහ බාහිර රූපයන් මේ පඨවිය, මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව, මේ වායෝ ධාතුව වශයෙන් හඳුනනවාද, එසේත් නැතිනම් මේ රූපය ලස්සනයි, මේ රූපය කැතයි, මේ රූපය මගේ මයි, මේ රූපය මගේ ආත්මය මයි මේ ආදී වශයෙන් රූපය වැරදි අර්ථයන්ගෙන් හඳුනා ගන්නවාද..? ගොපලු දරුවා තම රංචුවේ හරකුන් රූපයෙන් නිවැරදිව හඳුනා නොගත්තොත් ඔහුට ගව රංචුවේ හරකුන් මඟහැරී යනවා. එය තමන්ටත් ගව රංචුවටත් විනාශය පිණිස මයි හේතු වෙන්නේ. පින්වත් ඔබ මගේ කරගෙන පාලනය කරන ඔබේ රූපය සහ බාහිර රූපයන් සතර මහා ධාතූන් හැටියට හඳුනා නොගත්තොත් පින්වත් ඔබට කවදාකවත් මේ රූපය, රූපයේ නිරෝධය උදෙසා යොමු කර ගන්න බැරි වෙනවා. අපි දක්‍ෂ විය යුතුයි ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ නමැති ධර්මතාව හේතුවෙන් අපිට ලැබුණු මේ පඨවි ධාතුව, පඨවියේ නිරෝධය උදෙසා යොමු කර ගන්න. ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගේ නිරෝධය උදෙසා යොමු කර ගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සත්ත්වයා කිළිටි කරන, සත්ත්වයා ගේ පුනර්භවය නැවත නැවත ඇති කරන ජරා, ව්‍යාධි, මරණ, දුක උපද්දවන කාම යෝගයක් තිබෙනවා”ය කියල. මේ කාම යෝගය සකස් වෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුණා වූ සලායතනයන් ගේ ඵස්සයෙන් සකස් වෙන්නා වූ කාමයන්ගේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය තතු සේ නොදැනීමෙන් මයි. කාමයන්ගේ ඉපදීම, කාමයන්ගේ බිඳීම, කාමයන්ගේ සැප සහ දුක හේතුවෙන් කාමයන් නිසාම තෘෂ්ණාව උපදිනවා. කාමයන් කෙරෙහි තෘෂ්ණාව ඉපදුණ තැන අපි රූපය දකින්නේ සතර මහා ධාතූන් හැටියට නොවේ. රූපය මමය, රූපය මගේය, රූපය මගේ ආත්මයයි වැනි දෘෂ්ටි යෝගයන් තුළ බැසගෙන අපි ජීවත් වෙනවා. දෘෂ්ටීන්ගේ ඉපදීම, බිඳීම, දෘෂ්ටීන්ගේ සැප සහ දුක් නොදැනීම නිසාම වැරදි දෘෂ්ටීන් කෙරහි තෘෂ්ණාව ශක්තිමත් වෙනවා.

කාමයන්ගේ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය කෙරෙහි වැරදි දෘෂ්ටි ශක්තිමත් වෙද්දි අපි තුළ අවිද්‍යා යෝගයන් හොඳින් පෝෂණය වෙනවා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා යෝගය වශයෙන් දේශනා කරන්නේ “යම් පින්වතෙක් ඵස්සයේ ඉපදීම, බිඳීම, දුක සහ සැප ගැන තතු සේ නොදනී ද ඔහු සතර මහා ධාතූවෙන් සැදුණ ආධ්‍යාත්මික සහ බාහිර රූපයන්ට බැඳී යනවා. රූපයට බැඳී ගිය තැන ඵස්සයේ යම් අවිද්‍යාවක් තිබේ ද ඒ අවිද්‍යාව සැප, දුක්, උපේක්‍ෂා වශයෙන් උපත ලබනවා” කියලයි. ඵස්සයේ අවිද්‍යාව තුළින් උපදින සැප, දුක්, උපේක්‍ෂා ධර්මයන් අපිව යොමු කරන්නේ භව යෝගයට මයි. කාම භවය, රූප භවය, අරූප භවය යන භවාත්‍රයේ ඉපදීම, බිඳීම, දුක සහ සැප නුවණින් නොදැනීම නිසා ම කාම යෝගයන් ගේ, දෘෂ්ටි යෝගයන් ගේ, අවිද්‍යා යෝගයන් ගේ ශක්තියෙන් අපි භව තෘෂ්ණාව ම සත්ත්වයාගේ කිළිටි වීම පිණිස දුක උපද්දවා ගැනීම පිණිස රැස් කොට ගන්නවා.

පසුගිය දිනක භික්ෂුව මුණගැසෙන්න පැමිණි ධනවත් ව්‍යාපාරික මහත්මයෙක් විමසුවා “ස්වාමීන් වහන්ස මේසා විශාල ලෝකයක් අපි නිරෝධය කරන්නේ කොහොමද” කියල. ලෝකය ඔය කියන තරම් විශාල කරල තිබෙන්නේ අපේ තෘෂ්ණාව විසින්, තෘෂ්ණාව ලෝකය යොදුන් ලක්‍ෂ ගණනින් විශාල කරනවා. රහතන් වහන්සේගේ ලෝකය තමා තුළම සකස් වෙන ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය පටිච්චසමුප්පන්න තෘෂ්ණාව නිරෝධය කළා වූ විඤ්ඤාණය එකතුවෙන් සකස් වෙන ඵස්සය ළඟ නැවතිලයි තිබෙන්නේ. රහතන් වහන්සේ ගේ මුල් සුන්කළ තෘෂ්ණාව, ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් නිරෝධය වූ වේදනාව රහතන් වහන්සේට ඵස්සයේ විවේකය පමණක්මයි ලබල දෙන්නේ. තෘෂ්ණාවේ ඉපදීමෙන් සකස් වෙන ඵස්සයේ අවිවේකය, රූපය සතර මහා ධාතුවක් හැටියට හඳුනා නොගැනීමේ
ආදීනවය මයි.

පින්වත් ඔබ මොහොතක් දෑස් පියා ගෙන මේ ආධ්‍යාත්මික රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. පඨවි ධාතුව ශරීරයේ තද ස්වභාවය ඔබ ආදරය කරන ඔබ සිපගන්නා සම්, මස්, ඇට, නහර, දත්, නිය, කෙස්, ලොම් මේ පඨවි ධාතුවේ යථා ස්වභාවය නුවණින් දකින්න. නරක් වෙන, කුණු වෙන, ගඳගහන, නිලමැස්සන්ට, පණුවන්ට, බල්ලන්ට, කබරගොයින්ට අවසානයේ අයිති වෙන මේ පඨවි ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා නුවණින් දකින්න. ඔබගේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත්, ඔබට අරමුණු වෙන බාහිර පඨවි ධාතුවත් එකම තද ස්වභාවයේ ම බව නුවණින් දකින්න.

වරක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා, “භාග්‍යවතුන් වහන්ස මේ සත්ත්වයා ඇතුළතත් අවුල්, මේ සත්ත්වයා පිටතත් අවුල්, මේ සත්ත්වයා අවුලෙන් හෙම්බත් වෙලයි ජීවත් වෙන්නේ” කියල. “සත්ත්වයා තුළ අවුල් ඇති වෙන්නේ ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් සතර මහා ධාතුවක් වශයෙන් නොදැනීම මුල් කොට ගෙන මයි. සතර මහා ධාතුවේ ආදීනවය ගැන නොසිතා සතර මහා ධාතුවේ ආශ්වාදයට බැඳීම නිසා මයි. නුවණ ඇති, කෙළෙස් තවන වීර්යය ඇති පින්වතා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරමින් ඉහත අවුල නිරවුල් කර ගන්නා බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උතුම් සම්මා සමාධිමත් සිතකින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දැකීම තුළින් මයි මේ අවුල නිරවුල් කොට ගැනීමේ පළමු පියවර වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, ලෝකයේ කෙළවරට නොපැමිණ දුක කෙළවර කිරීමක් ගැන මම නොකියමි. මේ බඹයක් පමණ සිරුරෙහි ම ලෝකයේ හට ගැනීමත්, ලෝකයේ නිරෝධයත්, ලෝකය නිරෝධය කිරීමේ ප්‍රතිපදාවත් පණවමි” කියල.

ලෝකයේ හටගැනීම කියන ‘අවිද්‍යා පච්චයා සංස්කාර’ කියන ධර්මතාවන් ලෝකයේ නිරෝධය කියන ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’ කියන ධර්මතාවන් අවිද්‍යා ලෝකය නිරෝධය කරන චතුරාර්ය සත්‍ය ධර්මයනුත් තමා තුළින් මයි තමන් මතු කොට ගත යුත්තේ. පින්වත් ඔබ දෑස් පියාගෙන මොහොතක් වර්තමාන පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. පින්වත් ඔබ දක්‍ෂ නම් මේ වර්තමාන පංච උපාදානස්කන්ධය තුළින් ලෝකයත්, ලෝකයේ හට ගැනීමත්, ලෝකයේ නිරෝධයත් කියන කාරණා තුනම ඔබට මතු කොට දකින්න පුළුවන්. ඒ දක්‍ෂ භාවය ඔබට ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ඔබ තුළින් ඔබගේ ජීවිතය දකින්න පුහුණු වුණොත් පමණක් මයි. පින්වත් ඔබගේ ජීවිතය තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතු කොට ගැනීමට අදක්‍ෂ නම්, මේ බඹයක් සහිත ශරීරය ඔබට පංච උපාදානස්කන්ධ ලෝකය සංවර්ධනය කොට ගැනීමේ මෙවලමක් පමණක් මය. ඔබ බඹයක් පමණ වූ මේ රූපය උපයෝගී කොට ගන්නේ කාලා, බීලා, විනෝද වෙලා, නටලා, සිංදු කියල, රූපය අඩ නිරුවත් කොට පෙන්වලා සම්මුති ලෝකයේ වහලෙක් වීම උදෙසා මය. කුණු වෙන, නරක් වෙන, මැරෙන පඨවි ධාතුව ආශ්වාදයක් කොට ගත් අනුවණ තැනැත්තා පස්, වතුර, වාතය, උෂ්ණයට බැඳී නැවත, නැවතත් ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ ධර්මතාව පටිච්ච සමුප්පන්නව උපද්දවා ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මෙලොව හෝ පරලොව හෝ පොළොවෙහි හෝ ආකාශයේ හෝ යම් පැහැපත් වර්ණ ඇති රූපයෝ වෙත් ද, මාරයා ඒ සියලු රූපයන් වර්ණනා කරනවා, ආශ්වාදයේ ඕජාවෙන් සුන්දර කොට පෙන්වනවා. නමුත් ගෞරවණීය පින්වත මාරයාගේ එම රූපයන්ගේ වර්ණනාව හරියට මසුන් ඇල්ලීමට ඇටවූ ඇමක් වගේමයි” කියල. පින්වත් ඔබ මොහොතක් ඔබේ හෘදසාක්‍ෂියට තට්ටු කරල අහන්නකෝ, “මේ වර්තමානයේ දීත් ඔබ මේ ධර්ම සටහන කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලීමක් හෝ ගැටීමක් ඇති කොට ගෙන මාරයාගේ ඇම ගිලලා නේද සිටින්නේ” කියල.

පින්වත් ඔබ මොහොතක් වත් සිතුවද, මේ සටහන ලියූ භික්ෂුවත්, මේ සටහන කියවන ඔබත්, ඔබ කියවන මේ පොතේ පිටුවත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධර්මයන් ගෙන් සැදුණ සතර මහා ධාතුවක්ය කියල. ඒ ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතූන් අනිත්‍යයි කියල..? පින්වත් ඔබ මොහොතක් වත් සිතුවද, ඔබ මේ සටහන කියවන මොහොතේ ඔබ තුළ සකස් වෙන ධර්මය කෙරෙහි සැප වේදනාව අනිත්‍යයි කියල.? මේ ඔබ අත් විඳින සැප වේදනාව සකස් වුණේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරපු නිසාය කියල.? ඵස්සය සකස් වුණේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රුපය වෙන පොතේ පිටුවත්, විඤ්ඤාණයේත් එකතුව නිසාය කියල.? පින්වත් ඔබ මොහොතක් වත් සිතුවාද, මේ පොතේ පිටුව අතට ගත් මොහොතේ පටන් ඔබ තුළ සකස් වුණ සෑම සිතිවිල්ලක් ම අනිත්‍ය වී ගියාය කියල..? ආශ්වාදයේ අසිහිය නිසා ම සිතුවිලි අතරින් ම චිත්තානුපස්සනාව පෑල දොරෙන් පළා යනවා..!

තෙරුවන් සරණයි …!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…