ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළමුවැනි සිල් පදය දුර්වල වෙනවා. පිංවත, අසාධාරණ ලාභය ආශ්වාදයක් බව ඇත්ත. ඒත් මනුෂ්‍ය හිංසනයන්ගේ ආදීනවය කර්ම රෝගයන්ම බව ඔබ දන්නවා ද? රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව අයාලේ යෑමෙන්, අසීමාන්තික ලෙස දේශීය මුදල් අච්චු ගැසීමෙන් මුදලේ වටිනාකම හීනවී යෑමෙන් වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ සිද්ධවෙන මනුෂ්‍ය හිංසනයන් නිසාම, ලක්ෂ ගණන් පිංවතුන් කර්ම රෝගයන්ගේ ගොදුරු බවට පත්වීමේ දිශාවන්ට ගමන් කරනවා. රජයේ ගිම්හානය හේතුවෙන් ව්‍යාපාරික ලෝකයට උදාවී ඇති වසන්තය දෙස, කරුණාකර ලෞකික ප්‍රඥාවේ ඇසෙන් පමණක්ම බලන්න. ඔබට වඩා දැනුමෙන්, බහුශ්‍රැතභාවයෙන් යුත් වැඩිහිටියෙක්ව ඇසුරු කරන්න. මාරයා ව්‍යායාම කරන මේ මොහොතේ ඔබේ වැඩිහිටියා විය යුත්තේ ලෞකික ප්‍රඥාවමයි.

අපේ මාතෘභූමිය ආර්ථික වශයෙන් දුර්වල වුණත්, පිංවත් රටවාසී ජනතාවගේ තෘෂ්ණාව නම් හරිම දියුණුයි. දැන් ඔබලාට තේරුම් යනවා නේද, රටක් බංකොලොත් කරන්න තෘෂ්ණාවට පුළුවන් නේද කියලා. මේ වගේම තමයි අනාගතයේ දී අපේම තෘෂ්ණාව විිසින් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් බංකොලොත් කරලා අතුරුදන්කොට දමන්නේ. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන පංච උපාදානස්කන්ධ මාරයාගේ වාසභූමිය වෙන්නේ පරනිම්මිත වරවර්ති දිව්‍යතලය නොවේ, පිංවත් අපගේ අවිද්‍යාවෙන් අපිරිසිදු ඵස්සය තුළයි. අපේම සක්කාය දිට්ඨිය නිසාම අපේම ඵස්සය අභ්‍යන්තරයේ හොල්මන් කරන දුකට අධිපති මාරයාව, තමන් තුළින් මතුකොට දකින්න අපි හරිම අකමැතියි. මාරයා කියද්දිම අපි ඇඟිල්ල දිගු කරන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍යතලයට. ඒත් දුකට අධිපති මාරයා ඔබේම අවිද්‍යාවෙන් පෝෂණය වෙන ඵස්සය තුළ සැඟවිලා පංච නීවරණ ඝනාන්ධකාරයේ හොල්මන් කරනවා.

පිංවත, මාරයාට වාසභූමියක් වුණත්, ජීවිතය කියලා කියන්නේ හරිම නිදහස් තැනක්. ඒක ඉතිං අපේ වචන වලට පමණක් සීමා වූ ජාතික නිදහස වගේ නිදහසක් නම් නොවේ. අපේ නිදහස් ජීවිතයට උපාදානයෝ බැසගත්තම ජීවිතය ඒකාධිපති වෙනවා. ඒ කියන්නේ “මම” පෙරට එනවා. තෘෂ්ණාවේ උපාදානයෝ ගැටුණ තැන අවිද්‍යාවේ දුර්ගන්ධයමයි තිබෙන්නේ. පංච නීවරණ ධර්මයෝ සහ සංස්කාරයෝ අවිද්‍යාවේ දුර්ගන්ධයයි. හැබැයි ඉතින් අනාගාමීඵල අවබෝධයේ දී පංච උපාදානස්කන්ධය කෙරෙහි අනුශය තෘෂ්ණාව ඉතිරි කරලා පංච නීවරණයෝ සිඳී යනවා. පිංවත, ඔබ අවංකවම අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය තුළ සිටින පිංවතෙක් ද? එසේත් නැතිනම් ආයුෂ, වර්ණය, සැපය, බලය සොයා යන භව මාර්ගයේ සිටින පිංවතෙක් ද? පිංවත, ඔබට පුළුවන් ද ලද දෙයින් සතුටු වෙන්න? ඔබට පුළුවන් ද අල්පේච්ඡභාවය තුළ ජීවත් වෙන්න? ඔබට පුළුවන් ද උදාවෙන හෙට දවස බලාපොරොත්තු රහිතව උදාකර ගන්න? පිළිතුර බැහැ නම්, ඔබ අවිද්‍යාවේම සුවච කීකරු ස්ථිර සේවකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැටුප ලබන්නෙක්. අවිද්‍යාව ගෙවන වැටුප තමයි තෘෂ්ණාව. පිංවත් ඔබට පුළුවන් ඔබගේ සළායතනයන් තුළින් තෘෂ්ණාව වියදම් කරලා, ඔබ කැමති කරන සංස්කාරයෝ තොග සහ සිල්ලරට මිල දී ගන්න.

පිංවත, මේ දවස්වල පාරිභෝගික භාණ්ඩ මිල වැඩි වුණත්, අකුසල් සංස්කාරයන්ගේ තොග සහ සිල්ලර මිල නම් හුඟාක්ම අඩුවෙලා. ලාබයි, ලාබයි කියලා අකුසල් සංස්කාරයෝ නම් ජීවිතගත කරගන්න එපා. සමාජයේ අකුසල් දැනීම් වැඩි නිසාම දෙදෙනෙක් කථාවට වැටුණහම, එම කතාවන් ලෝභ, ද්වේශ, මෝහ ගංගාවන් බවටමයි පත්වෙන්නේ. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ දාන කතා, ශීල කතා, මෛත්‍රී කතා, නෙක්ඛම්ම කතා අපේ ජීවිත වලින් හොඳටෝම දුර්වල වෙලා. අපේ පිංකම් සංස්කෘතියත් විරාජමාන වෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලය කෙරෙහි ලෝභ සිතුවිලි වලින්මයි. මෙය අහම්බයක් ද, එසේත් නැතිනම් විය යුත්තක් ද? මෙය අහම්බයක් හෝ විය යුත්තක් නොවේ. මෙය අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ දෙමාපිය ජානමය ලක්ෂණමයි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මුල්වරට කිඹුල්වත්පුරයට වැඩිය මොහොතේ මාන්නයෙන් ඔදවැඩී සිටි තම ඥාති ශාක්‍යයන්ගේ මාන්නය බිඳීමට බුදුරජාණන් වහන්සේට යමාමහ පෙළහර පාන්නට සිද්ධ වුණා. මාන්නය නිසාම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තම ඥාති ශාක්‍යයන් මොනතරම් නම් අකුසලයක් එදා සිදුකොට ගන්න ඇති ද? ඒ ශාක්‍ය වංශය බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විනාශයට පත්වෙලා යනවා.

පිංවත, අපේම පිනට උපන් දේවල්වල වටිනාකම අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි පිනට පයින් ගැසුවොත්, අපි ළඟට ගන්නේ අකුසලයමයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් මේ නිමේෂයේ දී ජීවමානව වැඩ සිටින්නේ අපේ පිනටමයි. තෘෂ්ණාව මාරයා කොට දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට, තෘෂ්ණාවෙන්ම පහරදීම සුදුසු නැහැ. ලෞකික ප්‍රඥාවෙන් තොරව අපි සොයාගෙන යන ආයුෂ, වර්ණය, සැපය, බලය අහක බලාගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටමයි පෙරලා පහර දෙන්න උත්සාහ කරන්නේ. අතීතයේ ශාක්‍ය වංශය විනාශවෙලා ගියේ මමත්වයේ දැඩිභාවය නමැති විෂබීජය ඵස්සය ආසාදනය කිරීමෙන් ඇතිවෙන සක්කාය දිට්ඨියේ මානසික ව්‍යාධිය උත්සන්නව තිබූ නිසාමයි.

පිංවත, අපේම පිනට පහළවෙන ආයුෂ, වර්ණය, සැපය, බලය සමග අපි කටයුතු කරන්න ඕනේ හරිම පරිස්සමින්. අසිහියෙන් පොඩ්ඩ වරද්දා ගත්තොත් අකුසලයෙන් පිච්චීම නම් නියතයක්ම වෙනවා. වර්තමානයේ ජීවත්වෙන බෞද්ධ ජනතාවගෙන් හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ නිමේෂයේදීත් ජීවමාන ශාස්තෘන් වහන්සේ නමක් වැඩ සිටිනවාය කියලා. උතුම් තෙරුවන්ගේ ගුණයන් අදත් එසේමයි කියලා. පිංවත, බුදුරජාණන් වහන්සේ වැඩසිටිය අතීත කාලය යම් සේද, අදත් එම අර්ථයන් එසේමයි. මෙය සටහන් තබන භික්ෂුවට නම් උතුම් ශාසන අර්ථයන්ගේ කිසිම අඩුවක් පෙනෙන්නේ නැහැ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තවමත් උතුම් තෙරුවන්ගේ ගුණයන්ගෙන් පිරිලා. එක දශමයක්වත් අඩුවක් වෙලා නැහැ. යම් ගිහි හෝ පැවිදි පිංවතෙකුට අඩුවක් පෙනෙනවා නම්, ඒ අඩුව ජීවමාන ශාසන අර්ථයන්ගේ නොව පිංවත් ඔබගේම ලෞකික ප්‍රඥාවේ අඩුවයි. උතුම් ශාසන අර්ථයන් තවමත් ස්වයංපෝෂිත නිසාම අපි නොනැසී පවතින ශාසන අර්ථයන් සමග බොහෝම සිහිබුද්ධියෙන්මයි කටයුතු කරන්න ඕනේ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සෙල්ලමක් නොවේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් දශපාරමී ශක්තියේ ලේ උරුමයයි. අතීත මහ රහතන් වහන්සේලාගේ නික්ලේශී වීර්යවන්ත ජීවිතවල නිවීගිය උපාදානයන්ගේ පිවිතුරු කැඩපතයි. අපි අනාගතයේ යම් දවසක සතර පාරාජිකාවෝ ආදරයෙන් වැළඳ ගනී ද, එදාට චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වී යනවා. උපසම්පදා භික්ෂූන් වන අපගේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ දුර්වලභාවයන්ට පුළුවන් උතුම් සම්මා සම්බුද්ධ ලේ උරුමය පරිපූර්ණ වශයෙන් අතුරුදන්කොට දමන්නට. අපගේ කාමච්ඡන්දයන්ගේ පංච නීවරණයන්ට කුමන නම් අයිතියක් ද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක උතුම් දශපාරමී ධර්මයන් තුළින් උපන් එවන් උත්තරීතර ලේ උරුමයකට අත තියන්න. පරිස්සම් වෙන්න අනාගතයේ යම් දවසක් එනවා, පෙර පිනට අපිට ලැබුණු ශාසන අර්ථයන් තුට්ටුවකටවත් මායිම් නොකළ භවාත්‍රයේ සියලූම සත්ත්වයින්ට කල්ප විනාශයක් තුළින් මුළු පෘථිවි තලයම පිච්චි, පිච්චී පටිච්චසමුප්පන්නව මැරි මැරී උපදින්න.

පිංවත, ඔබ තවම චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට නැති නම්, ඔබ මාරයාට සේවය කරන බව ඔබ දන්නවා ද? අපි ඵස්සය නිත්‍ය වශයෙන් ගත්ත තැන දී, මාරයාගේ ලෝකයේමයි උපදින්නේ. මාරයාගේ ලෝකයේ හරි ලස්සන විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ, දැනීම් පිරී ඉතිරී යන්න තිබෙනවා. පිංවත, ඔබ මේ සටහන කියවන මොහොතෙත් මාරයාගේ ලෝකයේ ඉපදිල ද සිටින්නේ? ඒ කියන්නේ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් තුළ දෝලනය වෙමින් ද මේ සටහන කියවන්නේ? මේ සටහන කියවනකොට ඔබේ මතකයට පැමිණි භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දැක්කේ නැහැ නේද? දැන්වත් දකින්න භික්ෂුවගේ රූපය ඇට සැකිල්ලක් කරලා. භික්ෂුවගේ රූපය ඇට සැකිල්ලක් හැටියට දැක්ක සිත නිත්‍ය වශයෙන් ගත්තා නේද? කරුණාකරලා එම සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. දැන් පිංවත් ඔබ තුළ සතුටු සිතක් ඇතිවුණා නේද? ඇයි ඔබ ඒ සතුටු සිතට බැඳුනේ? කරුණාකර එම සතුටු සිතත් වේදනානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. දැන් ඔබ තුළ වැඩුණු ඉහත සියලුම ධර්මයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න. දැන් ඔබේ සිත ඔබෙන් ප්‍රශ්න කරාවි, දැන් “මම” කුමක් ද කරන්නේ කියලා. ඒ සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැකලා, ඔය ප්‍රශ්න කරන අවිද්‍යාවේ “මම” පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකිමින් මොහොතක් ගත කරන්න. දැන් ඉතිං සටහනේ ඉතිරි කොටස කියවන්න.

ගෞරවනීය වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ නමක් තවත් වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ නමකට කියනවා, අපේ අයත් දැන් ලාභසත්කාර වලට ගොඩාක් නැමිලා. වයෝවෘද්ධ අපිට දැන් ඉතිරිවෙලා තිබෙන්නේ අපේ පරපුරේ ආත්මගරුත්වය රැකගෙන අපේ දෙයක් බලා ගැනීම පමණක්මය කියලා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.