පිංවත, ඔබ විසින් ඔය අත්විඳින ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ දුක, ඔබ විසින්ම ඇතිකොටගත් දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් කෙනෙක් ඔබට දුන්න දෙයක් ද? පිංවත, ඔය ජරා, ව්‍යාධි, මරණ දුක ඔබ විසින් ඇතිකොටගත් දෙයක් නොවේ. ඔය දුකට එකම හේතුව අවිද්‍යාවයි. පිංවත් ඔබ සිතුවොත් මා අත්විඳින දුක මා විසින්ම ඇතිකොටගත් දෙයක්ය කියලා, ඔබට කවදාකවත් දුකෙන් මිදෙන්න නම් හම්බවෙන්නේ නැහැ.
පිංවත, ඔබේ දැක්ම පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව පිරිසිදු නොකරගත්තොත්, සක්කාය දිට්ඨියේ ආත්මීය සංඥාව නමැති කුණු හැව දුකත්, ඔබත්, ඇයත් එකක්ම කොටදෙනවා. පිංවත, මොහොතක් දෑස් පියාගන්න. අතීත පංච උපාදානස්කන්ධ දුක සිහියට නගා ගන්න. ඒ දුකට එකම හේතුව චතුරාර්ය සත්‍යය නොදැනීම යන අවිද්‍යාවම යැයි නුවණින් දකින්න. දුකේ සැබෑම හිමිකරුවන අවිද්‍යාවට දුක බාර දී, දුකෙන් මිදීම උදෙසා ඔබේ දැක්ම පිරිසිදු කොටගන්න. දැන් ඔබට පුළුවන්, දුක ඉදිරියේ උපේක්‍ෂාසහගත වෙන්න. පිංවත් ඔබ සිතුවොත් ඔබ අත්විඳින ජරා, ව්‍යාධි, මරණ දුක ඔබ විසින්ම සිදුකොටගත් දෙයක්ය කියලා, එම සිතුවිල්ලම දුකට අදාළ සංස්කාරයකුයි ඔබට සකස්කොට දෙන්නේ. ඒ ඔබ නිසා නොව, ඔබේ ඵස්සය තුළ හොල්මන් කරන අවිද්‍යාව නිසාමය.
පිංවත, අපි හරිම ලස්සන ලෝකයක ජීවත් වෙන්නේ. වටාපිටාව කොහේ බැලුවත් සද්ධර්මයේ අර්ථයන්මයි විවෘතව බබලන්නේ. අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී කුඩා දරුවෙක් අඬන්න පටන් ගත්තා. ඒ දරුවාගේ ඇඬීම තුළින් අපි දකින්න ඕනේ ධර්මයක්. ඒ ධර්මය තමයි දරුවාගේ ඵස්සය හේතුවෙන් සකස්වුණ විඳීමක්. ඊයේ පිණ්ඩපාත මඩුවට ලස්සන ගැහැණු දරුවෙක් පැමිණ සිටියා. ඒ ලස්සන දරුවා තුළින් භික්ෂුව දැක්කේ ධර්මයක්. ඒ ධර්මය තමයි අවිද්‍යාව හේතුවෙන් සකස් වූ ලස්සනට අදාළ සංස්කාරයක්. පසුගිය දවසක පිණ්ඩපාත මඩුවට පැමිණි මහත්මයෙක් භික්ෂුවට වන්දනා කළේ, භික්ෂුවගේ දෙපා තම දෑතින් ස්පර්ශ කරමින්. එම වන්දනාව තුළින් භික්ෂුව දැක්කේ ධර්මයක්. එම ධර්මය තමයි තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය. පිංවත් ඔබ භික්ෂුවට චෝදනාවක් කළොත්, දැන් ස්වාමීන් වහන්සේ අපෙන් ඈත් වෙලාය කියලා, භික්ෂුව ඒ අහිංසක සිතුවිල්ල තුළිනුත් දකින්නේ ධර්මයක්. එම ධර්මය තමයි සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය. පිංවත, ඔබේ දැක්ම පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව පිරිසිදු කොටගත්තොත් මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය ඔබට නිරවුල්ව පෙනෙනවා. ආත්මීය සංඥාවන්ගෙන් ඔබේ දැක්ම අපිරිසිදු වුණොත් පුංචි දරුවෙක්ගේ දඟ කිරීමත් පිංවත් ඔබට ලෝභ, ද්වේශ, මෝහ අකුසලයක්ම වෙන්න පුළුවන්.
පිංවත, වර්තමාන ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන ධර්මතාවය තමයි මමත්වයේ දැඩිභාවය හෙවත් සක්කාය දිට්ඨිය. යම් පිංවතෙකුගේ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීල විශුද්ධිය සහ චිත්ත විශුද්ධිය දුර්වල වෙලා යනකොට, සක්කාය දිට්ඨිය තමයි පංච උපාදානස්කන්ධ ලෝකයේ චණ්ඩියා වෙන්නේ. එයා කියන දෙය අහන්නේ නැහැ. තමන්ගේ අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයත්, අනුනගේ බාහිර පංච උපාදානස්කන්ධයත් යන දෙකටම මම, මගේ ම යැයි කියලා අයිතිය කියනවා. අපිට අයිති නැති දේවල් අපි ආත්මීය සංඥාවන්ගෙන් පෝෂණය කරනකොට සංස්කාරයන්ට නම් හැමදාමත් මඟුල් තමයි.
පිංවතුන් අහල තිබෙනවා ද සමහරක් පිංවතුන් කියනවා, මම පෙරට තැබූ පාදය ආපසු ගන්නේ නැහැය කියලා. බලන්නකෝ තමන්ගේ පාදය තුළ “මම” සිටිනවා යැයි දකිනවා. දෙතිස් කුණපයක්, සතර මහා ධාතුවක්, මරණානුස්සතියක් වන තම පාදය ආත්මීය සංඥාවෙන්ම ගන්නවා. පිංවත් ඔබ පෙරට තබන පාදය අයිති වෙන්නේ කායානුපස්සනාවට අදාළ අනිත්‍ය වූ ඉරියව්වකට. අනේ අපි ඒ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය තුළත් “මම” දකිනවා. භික්ෂුව මේ දේවල් සටහන් තබන්නේ හරිම කරුණාවෙන්. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනාකොට තිබෙනවා, අනුනගේ යහපත බලාපොරොත්තුවෙන්, අභිවෘද්ධිය බලාපොරොත්තුවෙන් අනුන් තුළ තිබෙන දුර්වලතාවයන් මෙත් සිතින් පෙන්වා දෙන්නය කියලා. මෙය සටහන් තබන භික්ෂුව තම පාදය පෙරට තබද්දී, අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක්ය කියන සංඥාව පමණක්මයි ගන්නේ. තමන් පවත්වන ඉරියව්ව අනිත්‍ය යැයි දකිද්දී, ඉරියව්ව පැවැත්වීමට මුල්වෙන අධ්‍යාත්මික රූපයත් අනිත්‍ය වශයෙන්මයි දකින්නේ. රූපය අනිත්‍ය වශයෙන් දකිද්දී, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට, ඔබ තාවකාලිකව ආහාර අහිමි කළා වෙනවා. විඤ්ඤාණයට තාවකාලිකව ආහාර අහිමි කරද්දී, ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ උපාදානයන් රහිතවයි මොහොතක් හෝ පවතින්නේ.
සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩිම වාර ගණනක් කියවෙන වචනය තමයි වීර්යය කියලා කියන්නේ. ධම්ම විචය බොජ්ඣඬ්ඟයෙන්, සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වුණ වීර්යය හරිම බලසම්පන්නයි. ඒ වීර්යය තමාටත්, අනුනටත් දුකක් දෙන්නේ නැහැ. ඒ වීර්යය කාගේවත් සිත් රිදවන්නේ නැහැ. ප්‍රීතිය, පස්සද්ධිය ඔස්සේ නොඇලෙන, නොගැටෙන උපේක්ෂාවටමයි වීර්යය බොජ්ඣඬ්ඟය අපිට පාර කියන්නේ. පිංවත, ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන වීර්යය, සති සම්බොජ්ඣඬ්ඟයෙන්, ධම්ම විචය බොජ්ඣඬ්ඟයන්ගෙන් නොපොහොසත් නම් ඒ මිච්ඡා වීර්යය අපිට පාර පෙන්වන්නේ සිත් රිදවන, දුක් මතුවෙන, උපේක්ෂාව නොඉපදුන ඇලීම් සහ ගැටීම් දිශාවටමයි. මෙය සටහන් තබන භික්ෂුවගේ වීර්යය පෝෂණය වෙන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෙන්. ඒ නිසාම භික්ෂුව වීර්යයෙන් තබන මේ සටහන් සත්පුරුෂ කාගේවත් සිතක් රිදවන්නේ නැහැ. ධර්මයේ උපේක්ෂාව දිශාවටමයි ඔබේ ඵස්සය මෙහෙයවන්නේ. පිංවත, තෘෂ්ණාවට වැට බඳින සම්මා වීර්යය මොනතරම් ලස්සන ද කියලා බලන්නකෝ. ඒත් අපි මිච්ඡා වීර්යයෙන් යමක ලස්සන බලන්නේ පෙරළා ඇලීම් හෝ ගැටීම් උපද්දවා ගැනීමටමයි. පිංවත, ඔබේ වීර්යය සති සහ ධම්ම විචය බොජ්ඣඬ්ඟයන්ගෙන් පෝෂණය කොටගන්න, එවිට ධර්මයේ උපේක්ෂාව ඔබ තුළ උපදීවි.
උතුම් පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අර්ථයන් අපේ ජීවිත වලින් මෙනෙහි නොකරද්දී, අපිට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන් පැටලෙනවා. දුකට හේතුව තෘෂ්ණාව යැයි දකිනවා වෙනුවට, සැපයට හේතුව තෘෂ්ණාව යැයි අපි පටලවාගෙන දකිනවා. අපේ අහිංසක සමාජය දෙස බලද්දී, ඉහත පටලැවිල්ල මොනතරම් ඛේදවාචකයක් ද යැයි කියනවා නම්, උතුම් බුදුදහමත් ව්‍යාපාරික දහමක් බවට පත්වීගෙන එනවා. උතුම් බුදු දහම අයිති තෘෂ්ණාව තුනීකොට ලබන උතුම් විදර්ශනා ඥායනයන්ට. අකුසලය යටපත්කොට මතුකොට ගන්නා කුසල් ධර්මයන්ට. ඒත් ව්‍යාපාරික දහම අයිති රුපියල් ශත තුළින් මතුකොට ගන්න ආර්ථික විද්‍යාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පටිච්චසමුප්පාද ධර්මයෝ නොදන්න නිසාම අපි පැටළුන නූල් බෝලයක් වගේමයි කියලා.
පිංවත, පැටළුන නූල් බෝලයක පැටළුම ලිහා ගන්න නම්, අපිට චිත්ත විවේකයක් තිබෙන්නට ඕනේ. අපිට චිත්ත විවේකයක් තිබෙන්න නම් අපේ ජීවිත ශිල්වත් වෙන්න ඕනේ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඒකාධිපති හෝ ප්‍රජාතන්ත්‍රවාදීව හික්මවන ශාසනයක් නොවේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවය ලබන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන්, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන්. බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම ශීලයන් පැනවුවත්, අපිව හික්මවන්න කියලා කාගේවත් අතට වේවැලක් දීලා නැහැ. අපි කැමතිනම් අපිව හික්මවන අපේ වේවැල අපිමයි මතුකොටගත යුත්තේ. ඒ වේවැල තමයි ලෞකික ප්‍රඥාවෙන් සහ ශීලයෙන් පෝෂණය වුණ සම්මා සතිය. පිංවත, ඔබ ගෞරවනීය පැවිදි වේවා, ගිහි වේවා ශීලය සමග තවමත් සෙල්ලම් කරනවා නම්, උතුම් සප්ත බොජ්ඣඬ්ඟයන් දෙසට ඔබව මෙහෙයවන සම්මා සතිය නමැති වේවැල ඔබ, ඔබ තුළින් මතුකොටගෙන නැහැ. අපි අතේ සම්මා සතියේ වේවැල නැතිනම්, අපේ ඵස්සය ඉදිරියේ දඟකරන පංච නීවරණයෝ කෙසේ නම් පාලනය කරගන්න ද? පිංවත, ඔබ තවමත් ඔබව සම්මා සමාධියට මෙහෙයවන උතුම් විදර්ශනාව මතුකොටදෙන, සම්මා සතියේ වේවැල ඔබ තුළින් මතුකොට නොගත්තාය කියලා, භික්ෂුව පිංවත් ඔබට වරද පටවන්නේ නැහැ. භික්ෂුව එම දුර්වලතාවය බාර කරන්නේ අවිද්‍යාවටමයි. පුද්ගල සංඥාවන්ගෙන් තොරව ලෝකය දකිද්දී, අපි කාගෙවත් පටිච්චසමුප්පාද නූල් බෝලයේ පැටලෙන්නේ නැහැ.
පිංවත, ඔබ විසින් මෙය සටහන් තබන භික්ෂුව විවේචනය කළොත්, භික්ෂුව ඔබට සුවපත් වේවා යැයි සිතනවා. ඔබ දෙවෙනි වරටත් භික්ෂුව විවේචනය කළොත්, නැවතත් භික්ෂුව ඔබට සුවපත් වේවා යැයිම සිතනවා. තුන්වැනි වතාවටත් ඔබ භික්ෂුව විවේචනය කරන්න සූදානම් වුණොත්, අනිවාර්යයෙන්ම භික්ෂුව ඔබව දමනය කරනවා. භික්ෂුව ඔබව දමනය කරන්නේ, පිංවත් ඔබ මුල් දෙවතාවේ දී භික්ෂුවට චෝදනා කරද්දී, භික්ෂුව ඇතිකොටගත් මෛත්‍රී චිත්තයේ ශක්තියෙන්මයි. යම් හෙයකින් පිංවත් ඔබ භික්ෂුව විවේචනය කරන තුන්වැනි වතාවේ දී භික්ෂුවට ඔබව දමනය කිරීමට නොහැකි වුණොත්, පිංවත් ඔබ දන්නවා ද භික්ෂුව කරන්නේ කුමක් ද කියලා. භික්ෂුව සිහිනුවණින් දකිනවා, මේ භික්ෂුවට විපාකයට එන්නේ යටපත් කළ නොහැකි අකුසල් සංස්කාරයක් යැයි සිතලා, භික්ෂුව විවේචනය කළ පිංවතාත්, විවේචනයට ලක් වූ භික්ෂුවත්, භික්ෂුවට යටපත් කළ නොහැකි වූ අකුසල් සංස්කාරයත් යන අර්ථයන් තුනම පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දැකලා, ධර්මයේ උපේක්ෂා සහගත සිතින් ඵස්සයේ දෑත් උතුම් විදර්ශනාමය සති සම්බොජ්ඣඬ්ඟයේ පිරිසිදු සුදු රෙදි කඩෙන් පිසදා දමනවා. ගෞරවනීය පිංවත, ඔබ සුරතේ සම්මා සතියේ වේවැල තිබෙනවා නම් කවුරුන් අසිහියෙන් ඔබව පැටළුවත්, ඔබේ පටිච්චසමුප්පාද නූල් බෝලය පැටලෙන්නේ නැහැ.