නිවරදි ධර්මය තෝරාගන්නේ කෙසේ ද?

ස්වාමින් වහන්සේලා නිකාය වශයෙන් කණ්ඩායම් කල්ලි වශයෙන් කටයුතු කරනවා. එකිනෙකට වෙනස් ධර්මයන් දේශනා කරනවා. මේවා හේතුවෙන් ජනතාව අසරණවෙලා තිබෙනවා. එහෙම නම් නිවැරැදි ධර්මය තෝරාගන්නේ කෙසේද? මේ අපි දකින්නේ ධර්මයයි. ධර්මය තිබෙන්නේ නිවැරදි කිරීමට නොව වැරදි දැක ගැටීමට නොව, නිවැරැදි දෙය දැක ඇලීමට නොවේ. වැරැද්දට ගැටිලා අපි නිවැරැදි දෙයට ඇලෙනවා නම්, එතැන තිබෙන්නෙත් දුකමයි. ධර්මය කියලා කියන්නෙ වැරැද්දට ගැටීමවත්, නිවැරැදි දෙයට ඇලීමත් නොවේ. වැරැද්දත් නිවැරැද්දත් දෙකම අනිත්‍ය වූ ධර්මතාවන් කියලා දැකලා, වැරැද්දත් නිවැරැද්දත් ඉදිරියේ උපේක්‍ෂාව කියන අර්ථය ජීවිතයට එකතු කොට ගැනීමයි. අපි යම් දවසක මේ උපේක්‍ෂාවන් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒත් දැන්ම එයට කලබල විය යුතු නැහැ.

අපි අද මේ ධර්මය සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා, වසර දෙදහස් හයසියයක් ගිය තැනකදී. බුදුරජාණන්ගේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට ගන්න කියලා දේශනා කළේ නිකාය වශයෙන් බෙදිලා නොවේ. තව තව අනුනිකායන් හදල නොවේ. කණ්ඩායම් ගැහිලා කල්ලි ගැහිිලා නොවේ. මේ උතුම් ශාසනය ආරක්‍ෂාවෙමින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අපේ ජීවිතවලට දරා ගැනීම තුළින්මයි. මේ යථාර්ථය අපි ජීවිතයට එකතු කොට ගතහොත් ධර්ම මාර්ගයේ මොන තරම් විකෘතීන් මතු වුණත්, අපිට වරදින්නේ නැහැ. මොන තරම් මිථ්‍ය ධර්මයන් සමාජගත වුණත් අපිට වරදින්නේ නැහැ. අපි වරද්දා ගන්නේ , බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, ධර්මයන් අසන්නේ නැතිව, අනුන් දේශනා කරන ධර්මයන් අසන්නට යෑම නිසාමයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ තමන් සමස්ත ලෝක ප‍්‍රජාවට ම කාරණ හතරක් පමණක්මයි, දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය.

ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක, තමා තුළමයි තිබෙන්නේ. දුක තියෙන්නේ තමා තුළ නම්, දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේ තමා තුළම නම්, දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව නැති කළ යුත්තෙත් තමාමයි. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළ යුත්තේ තමාමයි. මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය කියන්නේ, තමා තුළින් තමා දකින තමා තුළින් තමා අවබෝධ කොට ගන්නා ධර්මයක්. දුක තිබෙන්නේත් ඔබ තුළ නම් දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේත් ඔබ තුළම නම්, තෘෂ්ණාව නිරෝධය කළ යුත්තේත් ඔබම නම් තෘෂ්ණාව නිරෝධය කිරීමේ මාර්ගයේ ගමන් කළ යුත්තේත් ඔබම නම්, නිවැරැදි සද්ධර්මය සොයා ගැනීමේදී කාටවත්ම ගැටලූවක් මතුවන්නේ නැහැ. ධර්මයත්, ධර්මයේ අවබෝධයත් තමා තුළමයි තිබෙන්නේ.