දෙවන තථාගත බලය.

(කාලත්‍රයවර්තී වු කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.)

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහා සීහනාද සුත්ත)

අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වු කූශලාකුශලකර්මයන්ගේ විපාක තත්ත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් දැක්වේ. කර්මවිපාක තත්ත්වය ඉතාම ගැඹුරු කරුණෙකි. එය බුදුවරුන්ට මිස ශ්‍රාවකයනට අවිශය කරුණකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්මවිපාකයෙන් සුළු කොටසක් පමණෙකි. තමතමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්මවිපාක තත්ත්වය දැන ගැනීමට ශ්‍රාවකයන් විසින් ද උත්සහ කළ යුතුය. එය සර්වාකාරයෙන් ම දැනගන්නට උත්සහ කළ හොත් සිතන්නට ගිය හොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත් වෙනව මිස ඔහුට අන් පලක් නො ලැබේ.

එහෙයින්:-

‘කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

(අංගුත්තර 288)

යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ කර්මවිපාකඥානය වු දෙවන තථාගතබලය අභිධර්මපිටකයේ විභංගප්‍රකරණයේ ඤාණවිභංගයේ මෙසේ සොළොස් ආකාරයකින් විස්තර කර තිබේ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ගතිසම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නො හැකි ව ඇත් ඇතම් පාපකර්මයෝ ඇතහ යනු එහි තේරුමය.

ගති යනු ආත්මභාවයට නමෙකි. කුශලකර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගතිසම්පත්තිය ය. කුශලකර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුශලකර්මයෝ ම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුශලකර්ම ඇතියවුට ඒ ආත්මභාවයේ දී ඒවා විපාක නො දෙති. ගතිසම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපාධිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

උපධිසම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නො දෙන ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ යනු එහි තේරුම ය.

උපධිසම්පත්තිය යනු හොදීන් වැඩුණු අංගප්‍රත්‍යංග ඇති ශීතෝෂ්ණාදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන ශෝභන ශරීරය ය. අතීතයෙහි කළ බොහෝ අකුශල කර්මයන් ඇතියකු විසින් යම්කිසි කුශලයකින් උපධිසම්පත්තිය ලද මොත් රූපශෝභාව නිසා ඔහුට ගිය ගිය තැන සැළකිලි ලැබේ. උපධිසම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබති. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ට ද වඩා සැප ලබන්නේ උපධිසම්පත්තිය නිසා ය. උපධිසම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැළකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාපකර්මය ඔහු සාගින්නෙන් සිටවීමට සමත් නොවේ. හොද ඇඳුම් පැළදුම් නැති කොට, කිළිටි වැරහිලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැතිකිරිමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැතිකිරිමට සමත් නොවේ. මෙසේ උපධිසම්පත්තිය නිසා බොහෝ අතීත අකුශලකර්මයෝ තමන්ගේ විපාකය ඇති කිරිමට නො සමත් වෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලසම්පත්තිය වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නො දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුම ය.

හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති, කලට වැසි ලැබෙන – පමණට වැසි ලැබෙන කාලය සම්පත්ති කාලය ය. සම්පත්තිකාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකි ය. සත්ත්වයන් සාගින්නෙන් පෙළන පිපාසාවෙන් පෙළන රෝග වලින් පෙළන තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළන අකුශල කර්මයන්ට කාලසම්පත්තියේ දී සත්වයන් පෙළිමට ඉඩ නො ලැබේ. තමන්ගේ විපාක දානයට කාලසම්පත්තිය බාධා කරන බැවින් ඇතැමුන්ගේ බොහෝ අකුශලකර්මයෝ විපාක නො දි පවතිත්.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තියෙන් බාධිත බැවින් විපාක නො දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇතහ. ප්‍රණවධාදි අකුශල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කීරීම, ගොවිකම් අත්කම් ආදියෙහි යෙදීම, අන්‍යයන් හා හොදීන් විසීම ප්‍රයෝගසම්පත්තිය ය. එහි අනික් පැත්ත ප්‍රයෝගවිපත්තිය ය. ඇතැමකුට බොහෝ අතීත පාපකර්මයන් ඇත ද එයින් බොහෝවක් ප්‍රයෝගසම්පත්තිය ඇති ව සිටිනා කල්හි විපාක දීමට සමත් නො වන්නාහ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිවිපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. අපායගතිය ගතිවිපත්තිය ය. යම්කිසි අකුශලයකින් අපායෙහි උපත හොත් ගතිසම්පත්තිය නිසා විපාක දීමට අසමත් ව තුබු අකුශලකර්මයෝ ගතිවිපත්තියේ දී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඉතා දුබල වූ ද අකුශලකර්මයට ගතිවිපත්තියේ දී විපාක දීමට අවකාශ ලැබේ. ගතිවිපත්තියට වරක් පැමිණියා වූ සත්වයාහට ඔහු නැවත නැවත වරින් වර දිගට ම තිරිසන් බවින් ප්‍රේත බවට ද ප්‍රේතලෝකයෙන් නරකයට ද නරකයෙන් නැවත තිරිසන් බවට ද ප්‍රේතබවට ද පමුණුවමින් දිර්ඝකාලයක් අකුශලකර්මයෝ විපාක දෙන්නාහ. ඉතා දිර්ඝකාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නො ලැබෙන්නේ ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිවිපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. ශරීරය අශෝභන විම හා අංග විකල වීම උපධිවිපත්තිය ය. ඇතැමුන්ට උපධි විපත්තිය උත්පත්තියෙන් ම හිමි වේ. ඇතැම්හු උත්පත්තියෙන් උපධිසම්පත්තිය ලබා පසු කාලයේ රෝගයන් හා අන්තරායයන් නිසා උපධිපත්තියට පැමිණෙති. උපාධිවිපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රිය ය. සහෝදර සහෝදරියන්ට මවු පියන්ට වුව ද එතරම් ප්‍රිය නැත. මා පියෝ ද උපධි සම්පත්තිය ඇති දරුවාට වඩා සලකති. එය නැති දරුවාට වැඩි සැලකිල්ලක් නො කරති. ගිය ගිය තැනදි විරූපී පුද්ගලයා කොන් කරති. ඒ නිසා උපධිසම්පත්තියේ දී විපාකදීමට නො සමත් දුබල අකුශලකර්මයෝ ද මේ අවස්ථාවේ දී ඔහුට විපාක දෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාල විපත්තිං ආගම්ම විපච්චන්ති.

කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් ඇති නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් ඇති, කලට වැසි නො ලැබෙන ගොවිතැන් පාළු වන රෝග බහුල ආහාර දුබල කාලය විපත්තිකාලය ය. කාලවිපත්තියේ දී මනුෂ්‍යයාට නිතර ම පැමිණෙන්නේ දුක් කරදර ය. ඒ දුක් කරදර පැමිණිම කාලසම්පත්තියේදී විපාක දීමට නො සමත් ම තුබු දුබල පාපකර්මයන් විපාක දීමට පටන් ගැනීම ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයෝගවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදූව, පමණට වඩා උඬඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නො සැළකිල්ලෙන කටයුතු කිරිම හා තවත් නොයෙක් පව්කම් කිරිම ප්‍රයෝගවිපත්තිය ය. ඒ නිසා ඇතැමුන්ට නින්ඳා ලබන්නට පහර කන්නට නඩුවලට අසු විමට රෝග වලට ගොදුරු වීමට රැකියාවෙන් පහ වීමට සුදු වේ. සමහර විට ඔවුන්ගේ ධනය ද සතුරෝ පැහැර ගනිති. සමහර විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභ හානි වීම ප්‍රයෝගසම්පත්තියේ දී විපාක නො දිය හැකිව තුබු පාපකර්මයන් ප්‍රයෝගවිපත්තියේ දී විපාක දීම.

අත්ථෙකච්චානි පාපකානි කළ්‍යාණානි ගතිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

ගති විපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතැම්හූ බොහෝ පින්කම් කරති. එසේ පින්කළ අයගෙන් ඇතමෙක් මරණාසන්නයේ දී දූ දරුවන්ට හෝ ගේ දොර වතු පිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේත ව හෝ තිරිසන්ව හෝ උපදිති. ප්‍රේත ගතිය තිරශ්චීන ගතිය කුශලයන්ට විපාක දීමට තැනක් නො වන බැවින් ගතිවිපත්තියෙන් ඒ කුශලයෝ විපාක නො දෙති. තිරශ්චීන ප්‍රේතගති දෙක්හි ස්වල්ප වශයෙන් කුශලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරයගතියට හෝ අසුර ගතියට පැමිණිය හොත් එහිදී කුශලයන් හට විපාක දීමට තැනක් ඇත්තේ ම නැති බව කිය යුතු ය.

අත්ථෙකච්චානි කළ්‍යාණානි කම්මසමාදානානි උපධිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

උපධි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. බොහෝ පින් ඇත්තා වූ කෙනකු යම්කිසි පාපකර්මයකින් ප්‍රේතයකු සේ විරූපව උපත හොත් ඉපදීමෙන් පසු සුදුකබර ආදි රෝගයකින් හෝ විරූප වුව හොත් අනතුරකින් අංගවිකලත්වයට හෝ පැමිණිය හොත් ඔහුට උපාධිසම්පත්තියේ දී විපාක දිය හැකි කුශල කර්මයෝ විපාක නොදෙති. උපධි විපත්තිය නිසා බිරියක් ලැබිමට පින් ඇති තැනැත්තා බිරියක් නොලබයි. සැමියකු ලැබිමට පින් ඇති කත සැමියකු නො ලබයි. උසස් තනතුරු ලැබීමට පින් ඇත්තා තනතුරු නො ලබයි. පැවිද්ද ලැබීමට පින් ඇත්තා පැවිද්ද නො ලබයි. එයට නිදසුනක් වශයෙන් විහඬිග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

දීපරාජ කථාව

🟢පෙර ලක්දිව රජෙක් දරුවෙකු ලැබ සතුටු වී දේවියට වරයක් දිණ. දේවිය වරය ගැනීමට කල් තබා ගත්තාය. ඒ උපන් කුමරා සත්වස් අටවස් වයස් කාලයේ කුකුලන් පොර කෙටවී ය. එකල එක් කුකුලෙක් කලබල වී ඔහුගේ මුහුණට පැන්නේ ය. එයින් කුමරුගේ ඇස් අන්ධ විය. කුමරු සොළොස් හවුරුදු වයසට පැමිණි විට දේවිය ඔහුට රජ කම ලබා දෙනු කැමති ව රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස කුමරු උපන් දිනයේ ඔබ වහන්සේ විසින් වරයක් දෙන ලද්දේ ය. ඒ වරය දැන් දුන මැනව’ යි කීවාය. එකල්හි රජතුමා ‘වරය ගනුව’ යි කීය. එකල්හි දේවිය ‘දේවයන් වහන්ස, නුඹ වහන්සේගෙන් මා නො ලබන දෙයක් නැත. දැන් මම අපගේ පුත්‍රයාට රජ කම ඉල්ලමි’ යි කීවා ය. ‘දේවියනි තොපගේ පුත්‍රයා අංගවිකලයෙකි, රජකමට නුසුදුස්සෙකි, එබැවින් ඔහුට රජය නො දිය හැකිය’ යි රජු කී ය. ‘මා කැමති දෙයක් නො දෙන සේක් නම් එදා මට වරය දුන්නේ කුමටද?’ යනාදීන් දේවිය රජුට කරදර කරන්නට වන් කල්හි ‘තොපගේ පුත්‍රයාහට සම්පුර්ණ ලංකාරාජ්‍යය නො දිය හැකි ය. ඔහුට නාගදීපය දෙමි, ඔහු එහි ගොස් සේසත් ඔසවා වෙසේවායි කියා ඔහු නාගදීපයට යැවීය. ඔහු දීපරාජ නම් විය. අංග විකල නොවී නම් ඔහුට සම්පූර්ණ ලංකා රාජ්‍යය ලැබෙන්නට තිබිණ. උපධිවිපත්තිය නිසා එය නො ලැබිණ.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලවිපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලවිපත්තිය නිසා විපාක නො දෙන්නා වු ඇතැම් කුශලකර්මයෝ ඇතහ. ලෝකය ගුණධර්ම වලින් පිරිහී ඇති, නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භික්ෂභය රෝගභය අමනුෂ්‍යභය ඇති විපත්තිකාලයේ දී අතීතයෙහි කළ පින් ඇතියවුන්ට ද සැපසම්පත් නො ලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුශලකර්ම සමත් නො වේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුශලකර්මය වුව ද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබාදීමට පමණෙකි.

‘විපස්සිආදයෝ පන සබ්බෙපි බොධිසත්තා මෙත්තාපුබ්බාභාගෙන සොම්නස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරිකචිත්තෙත මාතුකුච්ජිස්මිං පටිසන්ධිං ගණ්හිංසු, තෙන චිත්තෙන ගහිතාය පටිසන්ධියා අසංඛෙය්‍යං ආයු ඉති සබ්බෙ බුඬා අසංඛෙය්‍යමායුකා’

( මහාපදාන සුත්තට්ඨ කථා)

යනුවෙන් විපස්සි ආදි සියලූ ම බෝධිසත්වයන් මෛත්‍රී පුර්‍වභාග සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත අසංස්කාරික කුශලයෙන් මවුකුස පිළිසිඳගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත් කල්හි අසංඛෙය්‍යයක් ආයු ඇති බවත් සියලූ බුදුවරයන් අසංඛෙය්‍යායුෂ්කයන් බවත් මහාපදාන සුත්‍ර අටුවාවෙහි කියා තිබේ. වර්ෂ අසංඛෙය්‍යක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්‍මයෙන් උපන් බුදුවරයන් එපමණ කල් ජීවත් නො වන්නේ කාලවිපත්තිය නිසා ය. අසංඛෙය්‍යායුෂ්ක කාලයේ උපන හොත් ඒ කර්මය බුදුවරයන් වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේලා උපදනා කාලය එතරම් ජීවත් විය හැකි කාලයක් නො වන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි.

අත්ථෙකච්චානි කල්‍යාණාකි කම්මසමාදානානි පයොග විපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක නො දෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ. නො මනා පැවැත්ම ඇති කල්හි මොහු බේබද්දෙක සල්ලාලයෙක සොරෙක බොරුකාරයෙක කපටියෙක කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති, ගෙදරකට බාර නො ගනිති. ගෙදරකට පැමිණිය ද ඔහු ආදරයෙන් නො පිළිගනිති. මේ ධනය මොහුට පැවරුහහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවාට දායාද දීමට මවුපියෝ නො කැමති වෙති. එවනි පුද්ගලයාට අතීත කුශලයන් ඇත ද ප්‍රයෝගවිපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබේ.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිසම්පත්තිය නිසා විපාක දෙන්නා වු ඇතැම් කුශලකර්‍මයෝ ඇතහ. ඇතැමකුට ඇත්තා වු කුශල කර්‍මයෝ ගතිවිපත්තියට පැමිණ ඇති බැවින් විපාක නො දෙති. එබඳු පුද්ගලයකුට යම්කිසි කුශලයකින් සුගතියෙහි උපන හොත් එතැනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට වන්නේය. එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙමේ මිනිස් ලොවින් දෙව්ලොවට දෙව්ලොවින් මිනිස් ලොවට නැවත නැවත උපදිමින් සැප ලබන්නේ ය.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිසම්පත්තිය නිසා විපාක දෙන්නා වු ඇතැම් කුශලකර්මයෝ ඇතහ. උපධිසම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රිය ය. ගිය ගිය තැනදී ඔහු ආදරයෙන් පිළිගනිති. ඔහුට සංග්‍රහ කරති. නැවත ද පැමිණෙන්නට ආරාධනා කරති. උපධිසම්පත්තිය ඇති දරුවා ගැන වැඩි ආදරයක් මවුපියන්ට වුවද ඇති වේ. එබැවින් ඔවුහු උපධිසම්පත්තිය ඇති දරුවාට වැඩි සැලකිල්ලක් දක්වති. ඔහු දියුණු කිරීමට වැඩියෙන් උත්සහ කරති. වැඩක් ඇති කල්හි ඔහු ලවා එය නො කරවා තුමු ම කර ගනිති. වැඩ කරන කල්හි ද ලෙහෙසි වැඩ ඔහුට දී බර වැඩ තුමු කරති. මේ සැලකිලි ලැබීම කුශලකර්ම වල විපාක දීමකි. එහෙත් එය ලැබෙන්නේ උපධි සම්පත්තිය ලද හොත් ය.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

කාලසම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුශල කර්මයෝ ඇතහ. සමහර කෙනෙකුට බොහෝ පිං ඇත. එහෙත් විපත්තිකාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. සම්පත්ති කාලය පැමිණි විට කාලවිපත්තියෙන් යටපත්ව තිබු ඒ කුශලකර්මයෝ බොහෝ සුඛවිපාක ගෙන දෙති. විභංග අටුවාවෙහි එයට සාධක වශයෙන් මහාසෝණ තෙරුන් වහන්සේගේ හා වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කථා දක්වා තිබේ.

තෙරුවන් සරණයි
බුද්ධ සාසනං චිරං තිට්ඨතු!