වැහි අඳුර විසින් වෙළාගෙන තිබුණ පරිසරය, ආයෙමත් හිරු එළියෙන් අගේට ආලෝකවත් වෙලා. පරිසරයත් හරියටම ඇලීම් සහ ගැටීම් වලින් බැහැර වූ උපේක්ෂා සහගත සිතක් වගේමයි. අපි හැමෝගේම ඵස්සය හරිම ප්‍රභාෂ්වරයි. ඵස්සය ඇලීම්, ගැටීම් වලින් දූෂණය වෙද්දි, ඒ ප්‍රභාෂ්වර සිත අපිරිසිදු වෙලා යනවා. ඵස්සය ඉදිරියේ අපිට පුළුවන් නම් ඒ ප්‍රභාෂ්වර සිත රැකගන්න, අපි පුංචි නිමේෂයකට හෝ අවිද්‍යාව හාමතේ තැබුවා වෙනවා. වර්තමානයේ පිංවත් මනුෂ්‍ය ක්‍රියාකාරකම් දෙස බලද්දී, අපි දකින්නේ ඵස්සයේ අවිද්‍යාව හාමතේ තබනවා වෙනුවට, ඵස්සයේ අවිද්‍යාවට තෘෂ්ණාවේ දැලි පිහියෙන් කිරි පැණි කවන අනුවණ ක්‍රියාවන්මයි.
සමාජය තුළ බුර බුරා නැගෙන ද්වේශය, වෛරය, අසහනය, බලාපොරොත්තු බිඳ වැටීම, විවේචන අවිද්‍යාවෙන් පෝෂණය වූ ඵස්සයේම නිෂ්පාදයන්ය. පිංවත් මනුෂ්‍යයාගේ අවිද්‍යාවෙන් තෙත් වූ ඵස්සය තුළ නිෂ්පාදනය වී, සමාජයට මුදාහරින ඉහත නිමි භාණ්ඩ හැම එකකම මිල දැන් හොඳටෝම අඩුවෙලා ය. හාල් කිලෝ එකක මිල ඉහළ යද්දී ඵස්සයේ නිෂ්පාදනයන් වන ද්වේශය, වෛරය, අසහනය හන්දියක්, වටරවුමක් ගානේ නොමිලේම බෙදා දෙනවා. නොමිලේ දෙන දෙය පොරකකා ගන්න අපි හැමෝම හරිම දක්ෂයි. පිංවත ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඊයේ දවසට සිත යොමු කරන්නකෝ. පිංවත් ඔබ දැක්කා, ඇසුණා, දැනුනා කියන ඵස්සය හේතුවෙන් ඔබ කොතෙක් නම්, අනුන් නිසා ලෝභ, ද්වේශ, මෝහ සිත් ඇතිකොට ගත්තා ද? පිංවත් ඔබේ ප්‍රභාෂ්වර ඵස්සය මේ බාහිර කැත කුණු නිසා මොනතරම් නම් අවලස්සන කොටගත්තා ද? ඇලීම්, ගැටීම්, හඳුනා ගැනීම්, සංස්කාර සහ ඵස්සයට මැජික් පෙන්වන දැනීම් කාත් කවුරුවත් නැති පටිච්චසමුප්පන්න ඵස්සයට, මමය, මගේ යැයි බෝඩ් ගසාගෙන අන්සතු දෙය මමය, මගේ යැයි පටිච්චසමුප්පන්නව අයිති කොටගන්නා අපි මෝහයේ ගිනි පුපුරු වගේමය.
දැක්ක ගමන් ඇවිලෙන, ඇසුණ ගමන් ඇවිලෙන, දැනුන ගමන් ඇවිලෙන මෝහයේ ගිනි පුපුරු දැන් දැන් සමාජයේ වැහි වැහැලාය. සමාජයේ මතු වී තිබුණ පොහොර ප්‍රශ්නය මුල්කරගෙන, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැටුප් ප්‍රශ්න මුල්කරගෙන, බැසිල් මහත්මයාගේ පැමිණීම මුල්කරගෙන, ළාබාල දැරියක් අපයෝජනය කිරීම මුල්කරගෙන පසුගිය සති දෙක පුරාවට පිංවත් ඔබේ ජීවිතය තුළ ඇතිවුණ ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ගිණුමේ ශේෂය ඇතෙක් බරට වැඩිවෙලා නේද? පිංවත් ඔබේ ප්‍රභාෂ්වර ඵස්සය, අනුනගේ කුණු ගොඩවල් නිසා තවමත් ගඳ ගසනවා නේද? පිංවත් ඔබ හොඳට හුස්මක් අරගෙන බලන්නකෝ, ඒ නොමිලේම ගත්ත අවිද්‍යාවේ ගඳ තවමත් දැනෙනවා ද? ඔය අවිද්‍යාවෙන් උපන්, තෘෂ්ණාවෙන් තිරිහන්වෙන කසළ ගොඩවල් පංච නීවරණ කලුකඩ මුදලාලිලාටම භාරදීලා, පිංවත් ඔබ මේ සටහන කියවීම මොහොතකට නවතා, දෑස් පියාගෙන පිංවත් ඔබේ නාසයේ අග ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමුකර සිත තැන්පත් කොටගන්න. බාහිර සමාජයේ පංච නීවරණ කිරිපණුගාය උත්සන්න වී බඩපිනුම් ගහන මාර දූතයන් සහ මාර දූතියන් ගැන සිතන්න යන්න එපා. සම්බුදු පෙරහැරයි, මාර පෙරහැරයි කියලා කවදත් පෙරහැරවල් දෙකක් තිබුණා. මේ පෙරහැරවල් දෙක සප්ත බොජ්ඣඬ්ඟ පෙරහැර සහ පංච නීවරණ පෙරහැර කියලා හැඳින්වූවත් වැරැද්දක් නැහැ.
මේ සටහන කියවන නිමේෂයේ දී පිංවත් ඔබ දියව්, වරෙව්, ගසව්, නැතිවෙව් කියලා මාර හඬ නගන පංච නීවරණ පෙරහැර මගහැරලා සුවපත් වේවා, යහපතක්ම වේවා, ශිල්වත්ම වේවා යැයි විනයකාමී හඬම නැගෙන, සප්ත බොජ්ඣඬ්ඟ පෙරහැරට එකතු වෙන්නයි යන්නේ. පිංවත් ඔබේ හෘද සාක්ෂියෙන් අහල බලන්නකෝ මාර පෙරහැර මගහැරලා සම්බුදු පෙරහැරට එකතු වෙන්න කැමති ද කියලා. පිංවත් ඔබ වහ වහා ඉහත තීරණය නොගත්තොත් අනුනගේ ඇවිලෙන ලෝකයන් නිසා පිංවත් ඔබ ලොකු භව දුකක වැටෙන්න පුළුවන්.
මේ මොහොතේ ගමන් කරන සම්බුදු පෙරහැරේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන්, වෙහෙස නිසාම තැන් තැන්වල හති දමනවා. උතුම් සේඛියා ධර්මයන් පොලීසියේ මහත්වරුන්ගේ දෑත්වල ඔංචිලි පදිනවා. ගිහි පිංවතුන්ලාගේ පංචශීලය, උපෝසථ ශීලයන්, සිතේ, කයේ වෙහෙස නිසාම සම්බුදු පෙරහැරින් මගහැරී යනවා. මාර පෙරහැර නම් හරිම ජයට යනවා. ද්වේශය, වෛරය, අසහනය, පළිගැනීම, විවේචන, චෝදනා යන මාර නැටුම් කණ්ඩායම් බඩ පිනුම් ගසන්නේ මහ පාරේ ලයිට් කණු උඩට නැගලා. රූපවාහිනී කැමරා, මයික්‍රෆෝන ඉදිරියේ නැගෙන මාර ජයමංගල ගාථා හඬ, අනේ අපොයි මාර පෙරහැර තව ලස්සන කරනවා. භික්ෂුවට බියක් දැනෙනවා, මෙහෙම ගියොත් අපි හැමෝටම සම්බුදු පෙරහැර මග හැරේවි ද කියලා. උතුම් තෙරුවන්ගේ ශක්තිය ගැන, උතුම් විනය ධර්මයන් ගැන සමාජය සිතනවා හුඟාක්ම අඩුයි. හැමෝගේම ඵස්සය අවිද්‍යාව විසින් ගිලගෙන. උතුම් තෙරුවන් අපි “ජීවත්වීමේ මාර්ගයක්” බවටයි පත්කොට ගන්න හදන්නේ. අපේ කෙලෙස් වඩන ජීවිත ආරක්ෂා කොටදෙන, “ආරක්ෂකයෙක්” බවටයි පත්කොට ගන්න හදන්නේ. උතුම් සංඝ සමාජයේ අපි බෙදිලා, අපි කැඩිලා, අපි බිඳිලා අපේම ලෝකවල අපි සංස්කාර සිරකරුවන් වෙලා, අපි අපේ ලෝක ගොඩ නගනවා මිස, අපි උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ ශක්තියෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරන්නේ බොහෝම අඩුවෙන්. අපේ සම්මා දිට්ඨිය පංච නීවරණ හොරු අරගෙන ගිහිල්ලා. ඒ අය මාර පෙරහැරේ ඔළුබක්කෝ නටනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අධම්මික සූත්‍රයේ දී පිංවත් රාජ්‍ය නායකතුමා සද්ධර්මයේ අර්ථයන්ගෙන් දුර්වල වුණොත්, උතුම් මහා සංඝරත්නයේ සද්ධර්මයේ අර්ථයන් දුර්වල වෙනවාය කියලා. මහා සංඝරත්නයේ අර්ථයන් දුර්වල වුණොත්, පිංවත් ජනතාවගේ සද්ධර්මයේ අර්ථයන් දුර්වල වෙනවාය කියලා. ඉහත ධර්මය නිසාමයි මෙය සටහන් තබන භික්ෂුව, මෙම ලිපි මාලාවෙන් පසුගිය ජනාධිපතිවරණයට පෙරාතුව පිංවත් ජනතාවට සටහන් තැබුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරු කරන, විනයගරුක නායකයෙක් රටට පත්කොට ගන්නය කියලා. ඒත් මේ මොහොතේ ඒ ගැන මෙනෙහි කිරීමේ දී භික්ෂුවට සටහන් තබන්න වෙලා තිබෙන්නේ, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා පමණක් මයි. පිංවත් ඔබ කලබල වෙන්න එපා, මේ මොහොතේ විපාකදෙන අපි කවුරුවත්ම අකමැති සංස්කාරයොත් ඉදිරියේ දී අනිත්‍ය වෙලා යාවි. අපි හැමෝම ද්වේශය, වෛරය, පළිගැනීම බැහැර කළ සිතින් ප්‍රාර්ථනා කරමු, යහපත් සංස්කාරයෝ විපාකයට පැමිණේවා කියලා.
මේ මොහොතේ භික්ෂුවට හොඳින්ම ඇසෙනවා, කර්මය කර්මඵල විශ්වාසය ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැති අපේ ඉල්ලීම් දියව්, වරෙව්, ගනිව්, එළවව් යැයි මාර භාෂාවෙන් හඬ නගන මාර කසකරුවන්ගේ පෙර ගමන් හඬ. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණ ධර්මතාවය කෙරෙහි හොඳින් ඔබ සතිය සිහිය ඇතිකොට ගන්න. අපිම අසිහියෙන් වැපුරූ මාර බීජයන්ගේම අස්වැන්නයි අපි මේ දෝතපුරා නෙලා ගන්නේ. තවදුරටත් අවිද්‍යාවේ ජලයෙන් හොඳින් තෙතබරිත වූ ඔබේ ඵස්සය මත අශ්‍රද්ධාවේ බීජයන් නම් නැවත වපුරන්න එපා. පිංවත් රාජ්‍ය නායකයිනුත් දක්ෂ වියයුතුයි, මුළු ලෝකයටම බලවත් අකුසලයක් විපාක දෙන මොහොතක ජනතාවගේ පංච උපාදානස්කන්ධයන් ඇලීම් සහ ගැටීම් වලින් ඇවිලෙන ප්‍රතිපත්තිමය තීන්දු වලට නොයන්න. එම දැක්ම පාලක පිංවතුන්ගේ සම්මා සතිය වෙනවා.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම ශාක්‍ය වංශය විනාශ වෙලා යනවා. ඊට එක හේතුවක් වුණේ ශාක්‍යයන් සතුව තිබූ මමත්වයේ දැඩිභාවයයි. සියලු සංස්කාරයෝ වෙනස් වී යන ලෝකයේ අපිට මෙත් සිතින් කියන්න ඉතිරි වෙලා තිබෙන්නේ, අපේම අකුසල් මාරාවේශයෙන් අපි පසුපස හඹාගෙන පැමිණීමේ දී ඇලීම් සහ ගැටීම් වැඩෙන අන්තයන්ට නොයා මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි පූර්වාදර්ශීව ගමන් කරන්නය කියලයි. සීමිත බලාපොරොත්තු වගේම, අසීමිත බලාපොරොත්තු අයිතිත් මාරයාටයි. සියලු බලාපොරොත්තු අවබෝධයෙන්ම හිස් කිරීමයි නිදහස්වීම කියලා කියන්නේ. ලෝකය ගැන පෙරළ, පෙරළා සංස්කාරයන්ම සොයන අපි, මේ මාර ප්‍රචණ්ඩත්වයෙන් මිදී ලෝකයෙන් නිදහස්වීම ගැනත් සිතන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් භික්ෂුවක් උතුම් පැවිදි ජීවිතයක් ගතකරලා, උන්වහන්සේ අපවත් වෙන්න සූදානම් වෙන අවසාන මොහොතේ උන්වහන්සේ අසල වැඩ සිටින යම් කල්‍යාණමිත්‍ර භික්ෂූන් වහන්සේ නමක් විමසීමක් කළොත්, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ගතකළ උතුම් පැවිදි ජීවිතය තුළ දී ඔබවහන්සේ ලැබූ යම් අධිගමයක් වේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අදාළ අපවත් වීමට සූදානම් වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේට තමන් ලැබූ අධිගමයන් ප්‍රකාශ කරන්නය කියලා. අපවත් වීමට පෙරාතුව අවසාන හෝරාවේ දී යම් භික්ෂුවක් ප්‍රකාශ කරන ඒ සත්‍යයේ අවබෝධයයි, මින් ඉදිරියට ජීවත්වෙන උතුම් සංඝ සමාජයට ශක්තියක්ම, ජවයක්ම, ආත්ම විශ්වාසයක්ම වෙන්නේ. ගෞරවනීය උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපි, සත්‍යයකින්ම සූදානම් ද, අපි අපවත්වෙන අවසාන හෝරාවේ දී බොරුවෙන්, අධිමාන්නයෙන්, ඇවතකට පත්නොවී අනාගත ගෞරවනීය සංඝ සමාජයට ශක්තියක්, ජවයක්, ආත්ම ශක්තියක් වෙන්න. භික්ෂුවගේ හෘද සාක්ෂිය පිළිතුරක් නොදී බලා සිටිනවා.
කුටියේ ජනෙල් කවුළුවෙන් අඳුර ගලාගෙන එනවා. පරිසරයේ සුළඟ හරිම වේගවත්. හරියට පංච නීවරණ වලින් බරවුණ සිතක් වගේ. ගෞරවනීය පිංවත, මේ ධර්ම සටහන කියවන ඔබේ සිත, මේ මොහොතේ ප්‍රභාෂ්වරයි නේද? දෑස් පියාගෙන ඔබේ සිත දෙස බලන්න. සිත ඵස්සය ළඟ නැවතිලා. ඒ නැවතුන සිත අවධි කොටගෙන, ඔබේ නාසයේ අග, ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙහි සිත පිහිටුවා ගන්න. ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ ඇතිවීම සහ නැතිවීම හොඳින් නුවණින් දකින්න. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කෙරෙහි සිත ඍජුව පිහිටුවා ගන්න. බාහිර අරමුණු වලට සිත දුවන්න දෙන්න එපා. භාවනා නිමිත්ත හොඳින් ශක්තිමත්කොට ගන්න. දැන් ඔබේ ලෝකය මොනතරම් නම් ප්‍රභාෂ්වර ද, නිදහස් ද, විනයගරුක ද, තැන්පත් ද? මෙවන් නිදහස් ලෝකයක් ඇයි පිංවත් ඔබ අනුනගේ කසළ ගොඩවල් නිසා පිස්සන් කොටුවක් කරගෙන ජීවත් වෙන්නේ කියලා ඔබ ඔබෙන්ම අසා දැනගන්න.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2021.07.18 වන දින දිවයින පුවත්පත.