දුකින් මිදීම සඳහා එකම දෙයයි ඔබ නැතිකර ගත යුත්තේ…

තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, වීර්යයෙන් යුතුව දුකින් මිදීමට ඔබ නැගී සිටින්න. දුකින් මිදීම උදෙසා එකම දෙයයි ඔබ නැතිකරගත යුත්තේ. ඒ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි.

සියක්‌දහසක්‌ දේවල් නිරතුරුව සිතන පිංවත් ඔබ ඒ සියල්ල ගැන සිතීම මොහොතක්‌ නවතා, තෘෂ්ණාව නැමැති එකම කාරණය ගැන සිතන්න. එවිට ඔබට පෙනේවී සියක්‌දහසක්‌ දේවල් අපි සිතන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා. ඔබ තුළ ඇතිවන සිතිවිලි නිරතුරුවම ඔබේ පාලනයට ගන්න. සිතිවිලි අයාලේ යන්න ඉඩ දෙන්න එපා. අයාලේ යන සිත නිරතුරුවම කාමයේ ආශ්වාදය දෙසටමයි ඇදී යන්නේ. එම නිසා දුවන සිත, අරමුණ උදෙසා ඔබේ පාලනයට ගන්න. පාලනය කරගන්නා වූ සිතෙන් ඔබ වැඩීමට බලාපොරොත්තුවෙන් භාවනා අරමුණ මෙනෙහි කරන්න. සතිය, සිහියයි දැන් ඔබ තුළ පවතින්නේ. පිංවත් ඔබ වචනවල තේරුම සොයන්න යන්න එපා. වචන කියන්නේ විචාර, විතර්ක. විචාර විතර්ක තමයි ඔබව සමාධියෙන් ඈත් කරන්නේ. ඒකෙන් අදහස්‌ වෙන්නේ විචාර විතර්ක අයිති මාරයාට බවයි. ධර්ම මාර්ගය තුළ ගමන් කරන ඔබ කිසිවිටෙකවත් ප්‍රශ්න හෝ පිළිතුරු අතර සිරවෙන්න එපා. විවෘතවූ ධර්මයකුයි බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙන්නේ. එම නිසා නැති ප්‍රශ්නයක්‌ ඔබ ඇතිකරගතහොත් මිසක්‌, ප්‍රශ්න තිබෙන්න විදිහක්‌ නැහැ. ප්‍රශ්නයක්‌ නැති තැන පිළිතුරක්‌ කෙසේ පවතින්නද? නිවීම කියන්නේ ප්‍රශ්නයක්‌ හෝ පිළිතුරකට ලඝූ නොවන උතුම් අවබෝධයක්‌.

පංචඋපාදනස්‌කන්ධය කියන වචනයේ අර්ථයක්‌ තිබෙනවා. එම තේරුම් පසුපස අපි පැටලෙමින් සිට පලක්‌ නැහැ. මොකද පංච උපාදනස්‌කන්ධයේ සැබෑම අර්ථය අනිත්‍යය නිසා. මොනයම් හෝ වචනයක අර්ථයත් අනිත්‍යයි. මොකද වචනයක්‌ යනු පංචඋපාදනස්‌කන්ධයක්‌ම නිසා. මේ සටහන් තබන භික්‍ෂුව කිසිම අවස්‌ථාවක නිවීමේ මාර්ගයේදී කිසිම වචනයක අර්ථයක්‌ සොයන්න වෙහෙසුනේ නැහැ. වචනවල අර්ථය සොයන්න කියන සිත අනිත්‍ය වශයෙන් දැක්‌කා පමණයි. එතැනම සතියත්, සිහියත්, සමාධියත් සකස්‌ වුණා. ඒවයේ අර්ථය සොයන්න ගියානම් සතියත්, සිහියත්, සමාධියත් ගිලිහී යන්න තිබුණා.