පිංවත් ඔබ භික්‍ෂුවගෙන් ප්‍රශ්ණයක් විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක් නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්‌කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ උපතත් මරණයත් තීරණය කරන්නේ සංස්‌කාර විසින්මයි.
බුදුරජාණන් වහන්සේ ආයුසංස්‌කාරය අතහැරීමට මොහොතකට පෙරාතුව ආනන්ද ස්‌වාමීන්වහන්සේ අමතා ප්‍රකාශ කරනවා ‘ආනන්ද සතර සෘද්ධිපාද ධර්මයන් යානාවක්‌සේ පුහුණුකොට ඇති බුදුරජාණන් වහන්සේට කල්පයක් ආයුෂ වැඩසිටින්නට පුළුවන්ය කියලා. මෙතැනදී ආයුෂ කල්පයක් කියන්නේ එම කාලයේ පරමායුෂ වන අවුරුදු 120යි. නමුත් ආනන්ද ස්‌වාමීන් වහන්සේ මාරයාගේ ග්‍රහණයට ඒ මොහොතේ යටවී සිටි නිසා ‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කල්පයක් ආයුෂ වැඩසිටීවා’ කියලා ඉල්ලීමක් නොකළ නිසාම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවී යන මොහොතේදී පිංවත් ඔබට ප්‍රශ්ණයක් මතුවෙන්න පුළුවන් සියල්ල සිද්ධවෙන්නේ සංස්‌කාරයන්ට අදාළවනම් අවු 120 වැඩසිටීමට හැකියාව තිබු බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දි පිරිනිවන් පෑවේ ඇයිද? කියලා. තව පිංවතෙක් ප්‍රශ්ණයක් කරන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේට සංස්‌කාර දෙකක් ක්‍රියාත්මකව තිබුණ ද කියල. සිදුහත් කුමාරය උපත ලබනවිටම අවුරුදු 120ක පරමායුෂයක් සහිතවයි උපත ලබන්නේ. බුදුරජාණන් වහන්සේට අවුරුදු 120 වැඩසිටීමේ අවස්‌ථාව හොඳටෝම තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එම සංස්‌කාරය නිෂේධකර දමනවා.
මේ ලෝකධාතුවේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටත්, මහරහතන් වහන්සේලාටත් පුළුවන්කම තිබෙනවා තමන්ට අවශ්‍යනම් තමන්ගේ පිරිනිවීම නියමිත කාලයට පෙරාතුව සිදුකරගන්න. මේ හැකියාව තිබෙන්නේ පංච උපාදනස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැක්‌ක උත්තමයන්ටම පමණයි. ලොව්තුරා බුදුරජාණන්සේට අතීත සංස්‌කාරවලට අදාලව අවුරුදු 120 ක් වැඩසිටින්නට හැකියාව ලැබී තිබුණත් උන්වහන්සේ අවුරුදු 80 වයසේදී තීරණය කරනවා දැන් බුදුරජාණන් වහන්සේ වැඩසිටියා ඇතිය කියල. බුදුරජාණන් වහන්සේලා මෙවැනි තීරණයක් ගන්න මුලිකම හේතුව වෙන්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස ධර්ම විනයෙන් පිරිහීමත්, තෙරුවන්ට අකීකරුවීමත් කියන කාරණාවන් නිසාමය.
බුදුරජාණන් වහන්සේ නමක් වේවා, රහතන් වහන්සේ නමක් වේවා තමන් තීරණය කළොත් නියමිත කාලයට පෙර පිරිනිවන් පානවා කියල, උන්වහන්සේලා අතීතයේ විපාක නොදුන් බලවත් අකුසලයක් ජීවිතය ඉදිරියට මතුකරගෙන එම අකුසලයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩකඩ විවරකර එම අකුසල් විපාකය තුළින් පිරිනිවීම සකස්‌කරගන්නවා. එම අකුසල් විපාකයෙන් මිදීමට උත්සහගන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර නැමති රන්කරුවාගේ නිවසේ දානයට වැඩමකර අපත්‍ය ආහාරයක් වැළඳීම නිසා උන්වහන්සේගේ උදරාබාධය උග්‍ර අතට හැරුණත් උන්වහන්සේ ඒ උදරාබාධයට කිසිදු ප්‍රතිකාරයක් නොකළේ මරණීය විපාකයන් කරා එම අකුසලය මතුකර ගැනීම සඳහායි. බුදුරජාණන් වහන්සේට අවශ්‍යනම් තිබුණා චුන්දකර්මාර්ගේ දානේ ගෙදරදී අප්‍රත්‍ය ආහාරයක් වළදන්නේ නැතිව සිටින්න. දානේ ගෙදරට වැඩිය අනෙක් සියලුම ස්‌වාමීන් වහනසේලාට එම අපත්‍ය ආහාරය වළඳන්න එපාය කියල, බුදුරජාණන් වහන්සේ එම ආහාරය අපත්‍ය බව දැනගෙනම වැළඳුවා. බුදුරජාණන් වහන්සේට අවශ්‍යනම් තිබුණා වැළඳුන උදරාබාධයට ප්‍රතිකාර ලබාගන්න. මෙම උදරාබාධය මීට පෙර වැළඳුන මොහොතේ උන්වහන්සේ අධිෂ්ඨාන ශක්‌තියෙන් තමයි රෝගය යටපත්කරගෙන සිටියේ. එසේ නැතිව ඖෂධවලින් නොවේ. මොකද උන්වහන්සේ මේවන විට තීරණය කර තිබුණා දැන් උන්වහන්සේ වැඩසිටිය ඇතිය කියලා.
ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ සතුටුනොවන ආකාරයෙන් ශාසන අර්ථයන් දුර්වලවන දිශාවටයි ගමන්කරමින් තිබුණේ. උන්වහන්සේ දැක්‌ක මේ උදරාබාධය අකුසල් විපාකයක්. එම අකුසල් විපාකය නිදහසේ පිරිනිවීම වෙනුවෙන් උන්වහන්සේ යොමුකරගත්තා. අතීත අකුසලයන් උවමනාවෙන්ම මතුකරගෙන එම අකුසල් විපාකයෙන් ශාරීරික අබාධයන් මතුවී පැමිණෙනවිට එම ආබාධයන්ට ප්‍රතිකාර නොකර ස්‌වයං පිරිනිවීමකට එම අකුසලය යොමුකරගන්නවා.
පිංවත් ඔබ ඉහත සටහන නුවණින් දකින්න. අකුසලයත් ආයුෂයත් අතර මොනතරම් සම්බන්ධයක් තිබෙනවාද කියලා. කල්ප දසදහස් ගණනකට පස්‌සේ ඔබත් මමත් අවුරුදු 70 වැනි අල්පායුෂයක් සහිත උපතක් ලැබුවේ අතීත දීර්ඝායුෂයන්ට අදාළව සංස්‌කාරයන්ගේ අඩුභාවය නිසාමය. ඔබ වර්තමානයේ අත්විඳින මේ අල්ප ආයුෂ සහිත මනුෂ්‍ය ජීවිතයේ ඉදිරියේ තිබෙන අනතුර මෙතැනින් නවතින අනතුරක් නොවේ. මනුෂ්‍යයා දිනෙන් දින ශීලයෙන් දුර්වලවනවිට මිච්ඡාආජීවය වැඩිවනවිට ක්‍රමානුකූලව තවතවත් ආයුෂ හීනභාවයට පත්වී අනාගතයේ වැඩි ඈතකට නොයාම මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු දහයක් වෙනවාමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා.
තෙරුවන් සරණයි!!!
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.