මේ දවස්වල කැලේ ගස්වල දැළඹු වසංගතයක් පැතිරිලා. දස දහස් ගණන් දැළඹුවෝ ගස්වල කොළ කන්නේ තරඟයට වගේ. වඳුරන්, රිළවුන් වේගයෙන් ගස්වල අතු මතට පනිද්දි, වැලි මළුව පුරාවටත් දැළඹුවන් වැටෙනවා. මේ දවස්වල භික්ෂුවට, අමතර රාජකාරියක් පැවරිලා තිබෙන්නේ. ඒ තමයි නිරතුරුවම කුටියට ඇදෙන, බිත්තිවල නගින, දැළඹුවන් ඉවත්කිරීම. අගෝස්තු මාසේ කිට්ටුවෙන කොට, කැලෑ පරිසරයේ දැළඹු ගහනය කොහොමත් වැඩිවෙනවා. මේ දැළඹු පළිබෝධය, මාසයකින් පමණ ස්වභාවිකවම පහව යනවා.
අතීතයේ වැඩ සිටිය අනුරුද්ධ මහ රහතන් වහන්සේ, තම තරුණ ගිහිකාළයේ දී සිටු මැදුරේ සිටු සැප විඳිමින්, ඇල්හාලේ බත් අනුභව කළත්, ඇල් සහල් ලැබෙන්නේ කොහොමද කියලා අනුරුද්ධ තරුණයා දැන සිටියේ නැහැ. ඇල් සහල් ගැන, ගොවිතැන් බත් කිරිම ගැන කිසිවක් නොදත් පිංවත් අනුරුද්ධ තරුණයා දැළඹුවන්, පණුවන් ගැන කෙසේ නම් දැනගන්නද. පෙර පිනේ මහිමයෙන්, පිංවත් අනුරුද්ධ තරුණයා, දුකට අදාළ දේවල් දැක්කේ නැහැ. නමුත් මෙය සටහන් තබන භික්ෂුවට, මෙවැනි දැළඹු පළිබෝධයන්ට මැදිවීමට සිද්ධවන්නේද, දැළඹුවන්ගේ වරදින් නම් නොවේ. පටිච්චසමුප්පන්නව භික්ෂුව සිදුකොටගත් අකුසල් නිසාමයි. සංසාරයේ දැළඹු ජීවිත ලබලා භික්ෂුව කොතෙක් නම්, වනවාසී භික්ෂුන්ට, පීඩාවන් කරන්නට ඇතිද. අනුරුද්ධ මහෝත්තමයානන් වහන්සේගේ ජීවිතය තුළ කැටිවෙලා තිබුණ පිනත්, මේ සටහන් තබන භික්ෂුවගේ පිනත් අතර පරතරය අහසයි පොළොවයි වගෙයි භික්ෂුවට පෙනෙන්නේ. නිහතමානීභාවය භික්ෂුවකට ආභරණයක්මයි.
මෙහෙම සටහන් තබත්දිම, භික්ෂුවගේ සමාධිමත් සිත, ධර්මයේ උපේක්ෂාවටමයි යොමුවෙන්නේ. භික්ෂුවගේ වැරදි අනුන්ට පවරන්නෙත් නැහැ. අනුන්ගේ වැරදි, භික්ෂුව භාරගන්නෙත් නැහැ. වර්තමාන ඵස්සය, හේතුඵල ධර්මයන් තුළ විසුරුවා දකිනවා. දැන් කැලෑ පරිසරයට අඳුර වැටිලා. රැහැයියන්ගේ තොරතෝංචියක් නැති හඬ, සමාධිමත් සිතට පළිබෝධයක් නම් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිරිසන් ලෝකය තරම් විචිත‍්‍ර ලෝකයක් තවත් නැහැය කියලා. දස දහස් ගණනින් මතුවන මේ දැළඹුවන්ගේ වර්ණයන් හරිම විචිත‍්‍රයි. කහ පාට, කළු පාට, සුදු පාට, තැඹිලි පාට එකට මුහුවෙලා එම දැළඹුවන්ගේ වර්ණය හරිම ලස්සනයි, විචිත‍්‍රයි.
තිරිසන් ලෝකයේ, තිරිසන් සතුනට මේ විචිත‍්‍රභාවයන් ලැබුණේ, පෙර ජීවිතවල ශීලයෙන් දුර්වලවුණත්, අකුසල් මූලයන් වැඩුවත් සිදුකොට ගත් ලස්සන පිංකම් නිසාමයි.
භික්ෂුව වැඩ සිටිය ගමක, මැදිවියේ මහත්මයෙක් වැඩිහිටි පාසල් දැරියකට ලස්සන විචිත‍්‍ර ඇඳුම් පැළඳුම් අරගෙන දීලා, ලස්සන ඉමිටේෂන් ආභරණ තෑගි වශයෙන් දීලා, මේ සියලු පරිත්‍යාගයන් ගැහැණු දරුවාට කරලා තිබෙන්නේ, අවංක චේතනාවෙන් නොවේ. ගැහැණු දරුවාව කාමයන්ට පොළඹවා ගන්න චේතනාවෙන්, ඔහු දරුවාව ඒ සඳහා පොළඹවාගෙන, මේ පවුකාර මහත්මයා ඊළඟ ජීවිතයේ දී විචිත‍්‍ර වර්ණවත් දැළඹුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ, විචිත‍්‍ර දේවල් තෑගි කළා පවිටු චේතනාවෙන්. අනාගත තිරිසන් ලෝකය, මනුෂ්‍ය අපේම වැරදි නිසා, තව මොනතරම් නම් විචිත‍්‍ර වේවිද?
පිංවත, පංච උපාදානස්කන්ධ ලෝකය හරිම බියකරුයි. කරුණාකර සංසාර බිය, සංසාර දුක දැකලා ලෝකයට ඉඩ දීලා, පිංවත් ඔබ නවතින්න. ප‍්‍රඥාවට දුක නුහුරු දෙයක් වුනාට, සමාධියට දුක යටපත් වුන දෙයක් වුනාට, පංච උපාදානස්කන්ධ ලෝකයට දුක හොඳට හුරුයි. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් නොදත් පිංවත් මනුෂ්‍යයාට, සැපය කියන්නේ දුකට මුලපුරන මාර්ගයක්මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කණුවක දම්වැලකින් බැඳ සිටින සුනඛයෙක් සිටිනවා. එම සුනඛයා තමන්ව බැඳ තිබෙන කණුව වටේම කැරකෙනවා. කණුව අසලම කනවා, බොනවා, නිදියනවා, ලගිනවා. එම සුනඛයා, තමන් බැඳුණු කණුවම ඇසුරු කොටගෙන ජීවත්වෙනවාය කියලා. සුනඛයාගේ බැඳීම යම් සේද, පංච උපාදානස්කන්ධය නැමැති කණුවේ තෘෂ්ණාවේ වරපටින් බැඳුණු මනුෂ්‍ය අපිද, අධ්‍යාත්මික සහ බාහිර රූපය තුළ මම දකිමින්, මගේ සැපය දකිමින්, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් තුළ බැසගෙන සිටිනවාය කියලා. ලැගගෙන සිටිනවා කියලා සතර ඉරියව්වේදීම පංච උපාදානස්කන්ධය ඇසුරු කොටම ජීවත් වෙනවාය කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත් මනුෂ්‍ය අපි, ආහාර අනුභව කරන වෙලාවෙත්, නිදන වෙලාවෙත්, සතුටුවෙන, දුක්වෙන වෙලාවෙත් පංච උපාදානස්කන්ධය තුළ ලැගගෙනයි සිටින්නේ. කාම සම්පත් කැමති පිංවතා කාම සම්පත් ගැනමයි කතාකරන්නේ, ඔහුගේ එකම මාතෘකාව වෙන්නේ, ඇසේ ආශ්වාදයයි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ආශ්වාදයයි. එම පිංවතා වර්ණනා කරන්නේ, ප‍්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ නිත්‍ය, සුභ, සැප, ආත්මිය යැයි තමන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ ලෝකයයි.
ඔහු කවදාකවත් කාමයන් යටපත්කොට දමන, සමාධියක් ගැන සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන කතා කරන්නේ නැහැ. එවැනි ධර්මයන්ගේ වැඞීම ගැන උත්සාහගන්නේ නැහැ. ඔහු කාමයේ ආශ්වාදයම වර්ණනා කරමිනුයි ජීවත්වෙන්නේ. කාමයන් තුළ බැසගෙනයි, කාමයන් තුළ ලැගගෙනයි ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවත් පිංවතෙක් සිටිනවා, එම පිංවතා ආමිසය ගැනම කතා කරනවා, ආමිසයම වර්ණනා කරනවා, ආමිසය තුළ බැස ගෙන ජීවත්වෙනවා. එම පිංවතා ආමිසය තුළින් රැස්වෙන පින, නිත්‍ය, සැප, සුභ, ආත්මිය දෙයක් හැටියටම දකිනවා. ආමිසය හේතුවෙන් ලැබෙන සශ්‍රීක දිව්‍ය සහ මනුෂ්‍ය ජීවිත, නිත්‍ය සහ ආත්මිය දෙයක් හැටියට දකිනවා.
රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් තුළ බැස ගනිමින් අනාගත ස්ථීර, නිත්‍ය යැයි දකින පංච උපාදානස්කන්ධයම ප‍්‍රාර්ථනා කරනවා. එම පිංවතා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. සමාධියට අදාල ධර්මතාවයන් ගැන, ප‍්‍රඥාවට අදාල ධර්මතාවයන් ගැන කතා කිරීමට, ආමිසයට ඇලුණු පිංවතා කැමති නැහැ. කාමභවය, නැවත ඉපදීම කැමැත්තෙන්ම, සතුටින්ම, දෝතින්ම පිළිගන්නවා.
බුදුරජාණන් වහන්සේ රූපය දුකක් යැයි දේශනාකොට තිබියදී, එක රූපයකින් මිදී, ඔහු තවත් රූපයක්මයි ප‍්‍රාර්ථනා කරන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපාවචර ධ්‍යානයන්ට ඇලුණු පිංවතෙක් සිටිනවා. එම පිංවතා කාමයන් ගැන, ආමිසය ගැන කතා කරන්නේ නැහැ. ඒවාට ප‍්‍රිය නැහැ. එම පිංවතා නිරතුරුවම කථාකරන්නේ, බැසගෙන සිටින්නේ තමන් නිත්‍ය, සුභ, ආත්මිය වශයෙන් දකින රූපාවචර ධ්‍යානයන් ගැන පමණක්මයි. ඔහුගේ එකම සිහිනය, බලාපොරොත්තුව තෘෂ්ණාවෙන් බැඳුණු උපාදානයේ රූපාවචර භවයේ උපතක්. ඔහු අරූපාවචර ධ්‍යානයන් කෙරෙහි ද කැමැත්තක් නැහැ. රූපාවචර ධ්‍යානයන්ටම ඇලුන පිංවතා, තාවකාලිකව මාරයාගේ දෑස් අන්ධකළ පිංවතෙක් වුවත්, ඔහුත් බැසගෙන සිටින්නේ වේදනාවේ ආශ්වාදය වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන, පංච උපාදානස්කන්ධය තුලමයි. එම පිංවතා සමාධි සුවයෙන්, පංච උපාදානස්කන්ධ කණුවේම ඔහුටත් හොරා දිගේලිවි සිටිනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවත් පිංවතෙක් සිටිනවා, ඔහු අරූපාවචර ධ්‍යානයන්ට ඇලුන පිංවතෙක්. ඔහු කාමයන් ගැන, ආමිසය ගැන, රූපාවචර ධ්‍යානයන් ගැන කතා නොකරන පිංවතෙක්. තමන් නිත්‍ය, සුභ, ආත්මිය වශයෙන් දකින අරූපාවචර ධ්‍යාන සැපයම උපාදානය කොටගෙන සිටිනවා. උපාදානය ඇති තැන තෘෂ්ණාවන්, භවයන් ඇති බව දකින්නේ නැහැ. අරූපාවචර ධ්‍යානයන් යනු වේදනාවේ ආශ්වාදය බව දකින්නේ නැහැ. අරූපාවචර ධ්‍යානයන්ටම ලොල්වී, අරූපාවචර භවයේ උපතක් ප‍්‍රාර්ථනා කරනවා. ඔහු පටිච්චසමුප්පන්නව එහි උපදිනවා. එම පිංවතාත් මාරයාගේ ඇස් අන්ධකළ, එහෙත් පංච උපාදානස්කන්ධ කණුවේම තෘෂ්ණාවෙ වරපටින් බැඳී සප්ත බොජ්ඣංග ධර්මයන් තුල ජීවත්වෙන පිංවතෙක් වෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදකින නිසාම වේදනාවේ ආදීනවය නොදකින නිසාම ප‍්‍රඥාව ඔහුට තහනම් වචනයක් වෙනවා.
භික්ෂුව ඉහතින් කාමයන්ට ඇලුන පිංවතා, ආමිසයට ඇලුන පිංවතා, රූපාවචර ධ්‍යානයන්ට ඇලුන පිංවතා සහ අරූපාවචර ධ්‍යානයන්ට ඇලුන පිංවතා වශයෙන් පුද්ගලයන් හතර දෙනෙක් ගැන සටහන් තැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවත් පිංවතෙක් සිටිනවා, ඔහු ආර්යන් වහන්සේලා ඇසුරුකරන, ආර්ය ධර්මයන් ශ‍්‍රවණය කරන, චතුරාර්යසත්‍ය ධර්මයන්ට අදාලව, නිවන් මාර්ගය ගැන නිවැරදිව සිතන පිංවතෙක්. එම පිංවතා කාමයේ ආශ්වාදය, රූපයේ ආශ්වාදය, වේදනාවේ ආශ්වාදය වගේම ඒවායේ ආදීනවය ද නිස්සරණයට ඊට මාර්ගය ද හොඳින් නුවණින් තේරුම්ගත් පිංවතෙක්.
ඔහු සෑම නිමේෂයකදීම සිතන්නේ බුදුරජාණන් වහන්සේයි ශාස්තෘන්වහන්සේ, මම ශ‍්‍රාවකයෙක් පමණක්මයි. බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ, මම කිසිත් නොදන්නා ශ‍්‍රාවකයෙක්මයි කියලා. නිහතමානීභාවයෙන් උපන් අවබෝධය මෝරණ ආර්ය ශාසනයේ උණුසුම මොනවට ලැබූ පිංවතෙක්. ඔහු සියල්ල දන්නවා යැයි දකින මහදැනමුත්තෙක් නොවේ. සියල්ල දන්නවා යැයි කියන මහදැනමුත්තන් සොයා යන කෙනෙක් ද නොවේ. බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන්වහන්සේ යැයි දැක්ක පිංවතෙක්.
එම සත්පුරුෂ කෘතවේදී පිංවතා, කාමච්ඡන්දයන් වැඩීමෙන් සිදුවන ආදීනවයන් දැකලා, ආමිසයේ යෙදීමෙන් රැස්වෙන පිනේ අදිනවයන් දැකලා, වේදනාවේ ආශ්වාදය වශයෙන් හඳුන්වන රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සම්පත්වල ආදීනවයන් දැකලා, මේ සැම සංස්කාරයන්ගේම අනිත්‍යභාවය දැකලා, භවග‍්‍රයේ දුක දැකලා, එම පිංවතා භව නිරෝධය තුළ, නිවන් අවබෝධය තුළ සිත පිහිටනවා, සිත බැසගන්නවා. එම පිංවතා කතා කරන්නේ ආශ්වාදය ගැන නොවේ, ආදීනවය ගැනයි. ඔහුගේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔහුගේ එකම ඉලක්කය උතුම් ඥානදර්ශන සහ විමුක්තියයි.
මධ්‍යස්ථ වීර්යයෙන්, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය දුඛ්‍ය, අනාත්මභාවයන් නුවණින් දකින එම පිංවතා, තමන් පංච උපාදානස්කන්ධ කණුවේ දිගේලි කොට ඇති තෘෂ්ණාවේ, උපාදානයේ වරපට, පළමුවැනි අදියරේදී සක්කායදිට්ඨි, විචිකිච්චා, අන්‍යශීලවෘත බිඳිමින් නිරෝධය කරමින්, දෙවැනි වටයේදී ආර්ය ශීලයෙන් පෝෂණය වූ කාම, රාග, පටිඝයන් සිඳිමින් නිරෝධය කරමින්, අවසාන වටයේදී පංච උපාදානස්කන්ධයේම අනිත්‍යභාවය දකිමින් අවිද්‍යාව අනුශයකුදු නොතබා නිරෝධය කිරීමෙන්, තෘෂ්ණාව නිරෝධයවුන තැන උපාදානය ස්වයංක‍්‍රීයව නිරෝධයවීමෙන් දුකෙන් පිරි පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් එම වීර්යවන්ත සත්පුරුෂ පිංවතා නිදහස් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත් ඔබ මේ ධර්ම සටහන කියවන, ඔය ආසනයේම මොහොතක් දෑස්දෙක පියාගෙන නුවණින් දකින්නකෝ සමාජය තුළ ජීවත්වෙන ඉහත පුද්ගලයින් පස් දෙනාගෙන් ඔබ අයිති වෙන්නේ කුමන කණ්ඩායමට ද කියලා. මේ දක්වා පිංවත් ඔබේ ස්ථානගතවීම වැරදි නම්, අඩුපාඩු සහිත නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ඉහත ධර්මයන්ට අනුව ජීවිතය නිවැරදි කොට ගන්න.
දැන් නම් හොඳටෝම අඳුරු වැටිලා, රාත‍්‍රී නවයත් පසුවෙලා වගේ. කුටිය පසුපසින් ශබ්දයක් ඇසෙනවා. හොල්මනක්ද දන්නේ නැහැ. හැබැයි ඉතින්, එම ශබ්දය හොල්මනක් යැයි සිතුවොත්, එය හොල්මනක්මයි. ඒ මොකද දන්නවද? අපි පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ බැසගෙනමයි සිටින්නේ, ලැගගෙනමයි සිටින්නේ. ඇසුණ ශබ්දය “ඇසුණා” කියන තැන නවතින්නේ නැහැ. ඵස්සය හරිම අවිවේකියි, පෙරේතයි. ඇසුණු ශබ්දය රූපයක් කරනවාමයි. විඳීමක් සොයනවාමයි. හොල්මනක් යැයි හඳුනාගන්නවාමයි. හොල්මන කෙරෙහි බිය නිසා සංස්කාර රැුස්කොටගන්නවාමයි. චේතනාවන්ට සංස්කාරයන්ට අදාළව අපි නැවත නැවත බියට අදාලව දැනීම් සකස්කොට ගන්නවාමයි. නමුත් අවසානයේ අපි දැනීමක් සකස්කොට ගන්නවා. ඒ ශබ්දය හොල්මනක් නොවේ. වල් ඌරෙක් පොළව හාරන ශබ්දයක්ය කියලා. පිංවත් ඔබට පේනවා නේද, අනුන්ටවත් අයිති නැති, අනුන්ගේ ශබ්ද, අපිට සංස්කාර එකතු කොටදෙන අපූරුව.
උපුටා ගැනීම ~ 2020 ජූනි 28 වන ඉරු දින දිවයින පුවත් පතෙන්.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.