පිංවතුන්ලා කියනවානේ, නිරයට වැටුණහම කටුඉඹුලේ නග්ගනවා ය කියලා. නිරයේ තිබෙන්නේ එක කටුඉඹුලක් නො වේ. නිරිසතුන් කෝටිගණනින් අකුසලයේ දඬුවම් ලබන නිරයට එක කටුඉඹුලකින් කුමක් කරන්න ද? මේ කටුඉඹුල කියන්නේ, අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක් වගේ ගසක් නො වේ. නිරයේ ඉඹුල් වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්වාභාවික ශාක පද්ධතිය තමයි කටුඉඹුල් ගස් කියන්නේ. නිරයේ අධික උෂ්ණත්වය නිසා කටුඉඹුල් ගසේ කොළ නැහැ; කටු සහ තියුණු උල් පමණයි තිබෙන්නේ. අපේ රටවල උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන කටු සහ උල් අධික ශාක ගැන පිංවත් ඔබ මොහොතක් නුවණින් දකින්න.
නිරයේ අධික උෂ්ණත්වය නිසා ම එම උෂ්ණත්වයට ඔරොත්තු දීමට එම කටුඉඹුල් ගස්වල කටු සහ උල්, යකඩ සහ වානේ වගේ ම ශක්තිමත්. මෙම ශාකවල කටු මුල් නිරතුරුව ම අධික උෂ්ණත්වයෙන් යුත් පරිසරයට නිරාවරණය වීමෙන්, එම පරිසරයේ ඇති තද සුළං හේතුවෙන්, මෙම කටු, උල් එකිනෙක ගැටීම හේතුවෙනුත් ඉඹුල් වනයේ සෑම ගසකම කටු, උල් තියුණු ලෙස මුවහත් වෙලයි තිබෙන්නේ. නිරයේ කටුඉඹුල් වනයට වැටෙන නිරිසතුන්ගේ සම්, මස්, නහර මෙම කටුවලට, උල්වලට ඇනී ඉරී, කැපී, පැලී යනවා කියන්නේ නිරයේ ස්වාභාවික පරිසර පද්ධතියෙන් ම එම දුක නිරිසතාට උරුම වෙනවා.
පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: මනුෂ්‍ය ලෝකයේ විශාල කැලෑවක් තිබෙනවා. ඔබ ඔය කැලෑවට ඇතුළු වුණොත් එම කැලයේ ඇති ගස්වල මුලක, කඳක, උලක, කටුවක නො ගැටී ඔබට එක දශමයක්වත් ඉදිරියට යන්න පුළුවන් ද? නිරයේ හිඹුල් වනය නමැති කටුක, තියුණු මුවහත ඇති උල්, කටු සහිත කැලෑ ප්‍රදේශයට වැටුණ නිරිසතා සෑම තත්පරයකට ම උල්, කටුවලින් තම සිරුර ඉරී, කැපී වේදනාවට, මරණීය වේදනාවට පත්වෙනවා. හිඹුල් වනයේ මහපොළව ගිනියම් ව ඇති නිසා නිරිසතා ගිනියම් වූ පොළවේ දුවමින් තමයි සිටින්නේ. ගිනියම් වූ පොළවෙන් පිච්චෙන ශරීරය බේරාගන්න, තියුණු කටු, උල් සහිත පරිසරයක දිවයන විට ඇතිවන තත්වය ඔබ නුවණින් දකින්න උත්සාහ ගන්න.
නිරයේ අසිපත්‍ර වනය කියන්නේ ඉහත ආකාරයේ ම නිරයේ ස්වාභාවිකව ම වැඩෙන ශාක පද්ධතියක්. මේවා ගිනියම් වූ පොළවේ යොදුන් දසදහස් ගණන් පැතිර ගිය ශාකයන්. නිරයේ තද ගිනිරස්නයට ඔරොත්තු දෙන ආකාරයට ස්වාභාවිකව ම අසිපත්‍ර වනයේ ශාකවල කොළ, අතු, රිකිලි වානේ, යකඩ වාගේ තදභාවයෙන් යුක්ත යි. අසිපත්‍ර වනයේ අධික උෂ්ණත්වය නිසා රත්වී ඇති ශාකයන්ගේ කොළඅතු, පරිසරයේ ඇති සුළඟට එකිනෙක ගැටීම නිසා මෙම ශාකවල කොළඅතු දැලිපිහියක මුවහත සේ මුවහත් වෙලයි තිබෙන්නේ. අසිපත්‍ර වනයේ මහපොළව ගිනියම් ව ඇති නිසා, ගින්නෙන් බේරීමට දිවයන නිරිසතුන් තද සුළඟට සෙලවෙන අසිපත්‍ර වනයේ මුවහත ඇති කොළඅතුවල පැටලී ශරීරය ඉරී, පැළී මරණීය වේදනාවන්ට පත්වෙනවා. අසිපත්‍ර වනයේ තද සුළඟට අතුකොළ සෙලවෙන මොහොතක් පාසා නිරිසතුන්ගේ අත, පය, බෙල්ල, කන්, නාසය කැපී යනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිරයේ හිඹුල් වනයේ, අසිපත්‍ර වනයේ ඇති ශාකවල කටුවලින්, උල්වලින්, කොළඅතුවලින් ගිනිදැල් පිටවෙනවා ය කියලා. නිරයේ ගස්වලින් ගිනිදැල් පිටවෙනවා ය කියන කාරණය ස්වාභාවික පාරිසරික ඵලයන් ම යි. මනුෂ්‍ය ලෝකයේ හිම වැටෙන ප්‍රදේශවල හිම වැටෙන කාලයට සියලු ම ගස්කොළන්, අතු, කොළ හිම බැඳී අයිස් තට්ටුවක් වගෙයි පෙනෙන්නේ. නිරයේ ගිනිගත් පරිසරයේ හටගන්නා ශාකවල මුල, කඳ, අතු, කොළ, කටු, උල්වලින් ගිනිදලු පිටවීම අරුමයක් නො වන බව පිංවත් ඔබට වැටහෙනවා ඇති. ශීතල දේශගුණයේ ඇති ගස්වලින් ජලය බේරෙනවා වගේ ම ගින්නෙන් ගිනියම් වූ නිරයේ ශාකවලින් ගිනිදැල් විහිදෙනවා. මේ සෑම ක්‍රියාවක් ම ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම් මිස කවුරුන් හෝ කෘත්‍රිමව ඇතිකරන දේවල් නො වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිරයේ අසිපත්‍ර වනයට සමාන්තරව පිහිටි වේතරණී ක්ෂරෝධක නදිය පිළිබඳව. පිංවත් ඔබ ජීවත්වෙන මනුෂ්‍ය ලෝකයේ වැස්ස හේතුවෙන් ගංගා, ඇළ, දොළ, ජලයෙන් පිරීයන්නා සේ අධික ගිනියම් වූ උෂ්ණාධික පාරිසරික කලාපයක් වන නිරයේ ගංගා, ඇළ, දොළ පිරීයන්නේ ගිනිකඳුවලින් ගලා එන ලෝදියෙන්, ලාවාවලින්. මනුෂ්‍ය ලෝකයේ ගඟට ඔබ බැස්සොත් ඔබට වතුර බොන්න පුළුවන්. එය ඔබගේ කුසල් විපාකයක්. නමුත් නිරිසතුන් නිරයේ ගංගාවන්ට වැටුණොත් එම නිරිසතුන්ට බොන්න වෙන්නේ ලෝදිය, ලාවා ම යි. මේ ලෝදිය ගංගාවන් කවුරුත් කෘත්‍රිමව ඉදිකළා නො වේ. නිරයේ ගිනියම් වූ පරිසරය විසින් ඇතිකළා වූ හේතුඵල ධර්මයන් ම ය.
වර්තමානයේ තද ශීතලෙන් යුත් හිමාලයේ, එම දරුණු ශීතලට ඔරොත්තු දෙන හිමවලසුන්, හිමමුවන් ජීවත්වෙනවා වගේ ම, මැදපෙරදිග තද කාන්තාර ප්‍රදේශවල ඔටුවන් වැනි තිරිසන් සතුන් වගේ ම, කෘමිසතුන් අප්‍රමාණව ජීවත්වෙනවා.
පිංවත් ඔබට වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ, ජලය නටන තෙක් උණුකර පානය කරන්න කියලා. එම උපදේශයේ අර්ථය වෙන්නේ, නටන තෙක් ජලය උණු නො කළොත් එම ජලයේ ජීවීන් ජීවත් වෙනවා ය කියන එක යි. නමුත් වෙනත් පරිසරයක තත්වය මෙය නො වෙයි. ඒ ඒ පාරිසරික තත්වයන්ට අදාළව ඒවායේ ස්වාභාවික ජීවීන් ජීවත්වෙනවා වගේ ම, නිරයේ දැඩි ගිනි උෂ්ණත්වයට අදාළව එම උෂ්ණත්වයට ඔරොත්තු දෙන ජීවීන් සහ ශාක නිරයේ තිබෙනවා.
ගූථ නිරයේ ජීවත්වන, තියුණු තුඩ ඇති පණුවන් කවුරුන් හෝ නිරිසතුන්ට දඬුවම් දෙන්න නිර්මාණය කළ, පෝෂණය කළ පණුවන් නො වෙයි. අතීත බලවත් අකුසල් හේතුවෙන් නිරයේ ශුෂ්ක පරිසරයේ එම පණුවන් උපත ලබනවා. පිංවත් ඔබව මුහුදට වැටුණොත් මාළුන් ඔබව මරාගෙන කනවා වගේ, කිඹුලන් සිටින ගංගාවකට වැටුණොත් කිඹුලන් ඔබව මරාගෙන කනවා වගේ ඔබ ගුථ නිරයට වැටුණොත් ගුථ නිරයේ සිටින තියුණු තුඩ සහිත පණුවන් ඔබව මරාගෙන කනවා. මුහුදට කවුරුවත් මාළු ගෙනත් දැම්මා ද? ගංගාවන්ට කවුරුවත් කිඹුලන් ගෙනත් දැම්මා ද? මේ සියල්ල හේතුඵල ධර්මයන්; ස්වාභාවික පාරිසරික ක්‍රියාකාරකම්. ගුථ නිරයේ පණුවනුත් ඉහත පාරිසරික ක්‍රියාදාමයේ ම කොටසක් වෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි.
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.