උතුම් සෝවාන් ඵලයට පත්වීම සදහා අත්‍යාවශ්‍ය භාවනාවක් ?

පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත් ජීවිතයට, කෘති‍්‍රම පොහොර අවිචාරයෙන් යෙදුවොත් ඔබට ලැබෙන්නේ වස විෂ සහිත ඵලයක්මයි. ඒ කියන්නෙ ලෝභ, ද්වේශ, මෝහ අකුසලයක්මයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, ලෝකය කියන්නෙ සිතාගන්න බැරි දේවල් සිද්ධ වෙන තැනටය කියලා. උදරාබාධයක් හැදිලා මහත්මයෙක් වෛද්‍යවරයෙක් ළඟට යනව. රෝගය පරීක්‍ෂා කරල, වෛද්‍යවරය කියනව ඔබේ උදරයේ පිළිකාවක් කියල. උදෑසන දෙමාපියන්ගේ දෙපා වැඳල දරුවා පාසලට යනව. මොහොතකින් ආරංචි වෙනව දරුවා අනතුරකින් මියගිහින්ය කියල. සිතාගන්න බැරි දේවල් සිදුවෙන අර්ථය ලෝකය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ නිරතුරුවම අනිත්‍ය භාවයට පත්වෙන නිසා සිතුණු දෙය මොහොතකින් නොසිතූ දෙයක් බවට පත්වෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය නිසාම අතිශය අවදානම් සහගත වූ ලෝකය, ලෝකයේ නිරෝධය උදෙසාම යොමු කොටගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ. ලෝකය මේසා අවදානම් සහගත වුණත් අපි ලෝකය සුරතල් කරනවා, නැළවෙනවා, හැඩ බලනවා, ආදරය කරනවා. ඒ විතරක් නොවේ, මෙවැනි අතිශය බියකරු ලෝකයට අපි ද්වේශ කරනවා. පළිගන්නවා, නපුරුකම් ද කරනවා. උදේ පටන් රාති‍්‍ර නින්දට යන තෙක්ම ඕන නැති දේවල් මොන තරම් සිතුවත් ආදරය කරන සිතෙන්ම, ද්වේශ කරන්න පෙලඹෙන්නෙ ඇයි කියලා. අපි නිකමටවත් සිතන්නෙ නැහැ. සිත පැටලෙන්නයි කැමැති, නිරවුල් වෙන්න කැමැති නැහැ. සිත ඇලෙන්නයි කැමැති, ගැලවිලා යන්න කැමැති නැහැ. තෘෂ්ණාවේ ලාටු ඵස්සයේ තැවරී තිබෙන තාක්කල්, විඳීමට විවේකයක් ලැබෙන්නෙ නැහැ. තෘෂ්ණාවේ මැහුම් කාරිය ‘‘සිප්පනි’’ ඵස්සය නමැති අධිවේගී මැෂිමෙ ඉදිකටුවත්, නූලත් සූදානම්ව තබාගෙන සිටින තාක්කල් විඳීමට නැවතීමක් ලැබෙන්නෙ නැහැ. ආදරයත් විඳිනවා. ද්වේශයත් විඳිනවා, මෝස්තර ඇඳුමත් විඳිනවා. සුදු සිල් ඇඳුමත් විඳිනවා. පාංශුකූල චීවරයත් විඳිනවා, දහස්කඩ සිවුරත් විඳිනවා. ඵස්සය ළඟ සැඟවී සිටින, තෘෂ්ණාව නමැති වධකයා, සැප, දුක්, උපේක්‍ෂා, විඳීම් ඉදිරියේ පිංවත් ඔබව නැවත නැවත වධයට පමුණුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව තෘෂ්ණාව නමැති ඔබව වධයට පමුණුවන වධකයා සැඟවී සිටින අවිද්‍යාව නමැති කඩතුරාව….. ඉරා දමන්නය කියල. අවිද්‍යාවේ කඩතුරාව ඉරා දැමීමයි, උතුම් සේවාන් ඵලය කියන්නෙ, අවිද්‍යාවේ කඩතුරාව සහමුලින්ම විනාශ කොටදැමීමයි උතුම් රහත් ඵල අවබෝධය කියන්නෙ.

ඔබ යොමුකොට තිබූ ප‍්‍රශ්නය වූයේ උතුම් සෝවාන් ඵලයට පත්වීම සඳහා අවශ්‍ය භාවනාවක් සඳහන් කරන්නය කියල. මෙය සටහන් තබන භික්‍ෂුව පෙර ලිපි දෙකෙන් උතුම් සෝවාන් ඵලය අවබෝධය කරා ගමන් කළ යුතු මාර්ගය, මුලින්ම තමා තමාට කල්‍යාණ මිත‍්‍රයෙක් වීම, දෙවැනිව සත්පුරුෂ භාවය ඇති කොටගැනීම, තෙවැනිව කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, සද්ධර්ම ශ‍්‍රවණය, ශ‍්‍රවණය කළා වූ සද්ධර්මය ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීම, හතරවැනුව තමා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුකොට දැකීම, ඉන් ඉක්බිති දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි පිංවත් ඔබ සිදු කොට ගත යුත්තේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. සෝවාන් ඵල අවබෝධය කරා ගමන් කරන පිංවතා, සෝවාන් ඵල අවබෝධය උදෙසා ඇති එකම මාර්ගය ආර්අෂ්ටාංගික මාර්ගය බව විචිකිච්ඡාවකින් තොරව පිළිගන්න ඕනේ. එම උතුම් සැකයෙන් තොර පිළිගැනීමයි තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව කියන්නේ, යම් පිංවතෙක්, මේ උතුම් ආර්යඅෂ්ටාංගික මාර්ගය බැහැර කරල, වෙනත් කෙටි, සරල, ඛිච්චා මාර්ග ඔස්සේ, උතුම් සෝවාන්ඵල අවබෝධය කරා යෑමට, උත්සාහ කරනවා නම්, එම පිංවතා තුළ අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවක් නැති බව තේරුම් ගැනීමට එම පිංවතා කැමැති විය යුතුය. මේ උතුම් ධර්ම මාර්ගයේ මුල්විය යුත්තේ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවයි. ශ‍්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිතීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයට අදාළව ගමන් කිරීමයි. ලොෟකික මාර්ගයේ දී අපි ඇතිකොට ගන්නා වූ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ලෝකෝත්තර මාර්ගයේද උතුම් අචල ශ‍්‍රද්ධාව බවට පත්කොටගත යුතුව තිබෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට උතුම් සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුළුවෙලා තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගන්න ඕනෙ, කර්මය කර්මඵල විශ්වාසය ඇතිකොට ගන්නට ඕනෙ, මැරිලා පටිච්ච සමුප්පන්නව නැවත උපදිනවාය කියන විශ්වාසය ඇතිකොට ගන්න ඕනෙ, දානයේ ශීලයේ ආනිශංස පිළිබඳව විශ්වාසය ඇති කොටගන්න ඕනෙ. අම්මා තාත්තාගේ ගුණයන් මේ පිළිබඳ විශ්වාසය ඇති කොටගන්න ඕනෙ. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය ඇති කොටගන්න ඕනෙ, අතීතයේ අධිගමලාභීන් සිටියාය කියන විශ්වාසය ඇති කොටගන්න ඕනෙ. සම්මා සංකප්පයන් තුළින් කේන්තිය හිංසනය, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නැතිකොටගන්න ඕනෙ, සම්මා වාචා තුළින් වචනය සංවරකොට ගන්න ඕනෙ. සම්මා කම්මන්තෝ තුළින් පංචශීලය ආරක්ෂා කොටගන්න බෞද්ධ පිංවතෙක් වෙන්න ඕනෙ. සම්මා ආජීවෝ තුළින් ආජීව අෂ්ටමක ශීලය ආරක්ෂා කොටගන්නා බෞද්ධ පිංවතෙක් වෙන්න ඕනෙ. සම්මා වායාමෝ තුළින් ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාව තුළ හිඳිමින්, අකුසල් බැහැර කරන කුසල් දහම් වඩන කෙනෙක් වෙන්න ඕනෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හත්වැනි මාර්ග අංගය වන සම්මා සතිය තුළින් කුසල්, අකුසල් නිවැරැදිව හඳුනන විනය, අවිනය නිවැරැදිව හඳුනන, ධර්මය අධර්මය නිවැරැදිව හඳුනන තමා තුළින් ධර්මය අධර්මය හඳුනාගෙන ධර්මය තුළ ස්ථානගත වීමේ ශක්තිය ඇති වෙන්නට ඕනෙ.

maharahathun1ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය තුළින් පිංවත් ඔබ තුළ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාස ඇති කරනවා. එතැන් පටන් ක‍්‍රමානුකූලව කේන්තිය, හිංසනය, අඩු කරනවා, වචනය සංවර කරනවා, පංච ශීලය ආරක්ෂා කරනවා. ආජීව අට්ඨමක ශීලයේ ශක්තිය ඇති කරනවා. ආජීව අට්ඨමක ශීලය තුළ හිඳිමින් අකුසල් දුරු කරමින්, කුසල් දහම් ශක්තිමත් කරනව, තමා තුළින් ධර්මය, අධර්මය නිවැරැදිව හඳුනාගෙන ධර්මය තුළ ස්ථානගත වෙනව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් හත්වැනි මාර්ග අංගය වන සම්මා සතිය ශක්තිමත් වෙද්දී මාර්ගයේ අවසාන මාර්ග අංගය වන උතුම් සම්මා සමාධිය ඇති කොට ගන්නව.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය වඩන පිංවත් ඔබට, සම්මා දිට්ඨියේ අර්ථය තුළින් ආර්යඅෂ්ටාංගික මාර්ගයට යොමුකරලා, ආර්ය මාර්ගයේ අටවැනි මාර්ග අංගයේදී පංචනීවරණ යටපත්වූ සුන්දර සම්මා සමාධිමත් සිතක් ඔබට ඇති කෙට දෙනව. උතුම් සම්මා දිට්ඨියේ පටන් අදියරෙන් අදියර ඉන්ද්‍රිය සංවර භාවයෙන් යුත් විවේකී සිතක්, සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන සිතක්, ඔබ තුළ ඇතිකොට දෙනව. මේ උතුම් සම්මා සමාධිමත් සිත, ධ්‍යානගත සිතක් වීමට අවශ්‍ය නැහැ. පිංවත් ගිහි පිංවතුන්, පංච නීවරණ තුනී භාවයට පත්වූ සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන තත්ත්වයන් ඔබ තුළ ඇති කොටගත යුත්තේ. දැන් පිංවත් ඔබ නුවණින් දකින්න මේ සම්මා සමාධිමත් සිත ඇති කොටගන්න. ඒ කියන්නේ උතුම් සෝවාන් ඵල අවබෝධය උදෙසා විදර්ශනා නුවණ මතු කොටගන්න, පිංවත් ඔබට භාවනාවට පෙරාතුව ජීවිතය තුළින් පුහුණු කොට ගැනීමට සුන්දර මාර්ගයක් තිබෙනව. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගන්න ඕනෙ උතුම් ශ‍්‍රී සද්ධර්මයට අදාළව සිතන්න දක්ෂ වෙන්න ඕන. කේන්තිය, තරහව, නපුරුකම්, පළිගැනීම්, හිංසාවන් අඩු කරගන්න ඕනෙ. ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් සියුම් කොටගන්න ඕනෙ. ශීලයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ. අකුසල් බැහැර කරමින් කුසලය ශක්තිමත් කොටගන්න ඕනෙ. ඉහත ධර්මතාවන් එකක්වත් ජීවිතයට පුහුණු කරන්නේ නැතිව සෝවාන් ඵල අවබෝධය උදෙසා භාවනා කරනවාය කියන කාරණය, ධර්මයට නම් එකඟ නැහැ. දන් පූජා කිරීමෙන් පමණක් සෝවාන් ඵලය අවබෝධය ලබන්න බැහැ. සිල් සමාදන් වීමෙන් පමණක් මෛත‍්‍රී භාවනාවෙන් පමණක්, පිංකම් කිරීමෙන් පමණක්, ධර්මදානය පූජා කිරීමෙන් පමණක්, උතුම් සෝවාන් ඵල අවබෝධය උදෙසා අත්‍යවශ්‍ය සම්මා සමාධිය ඇති කොටගන්න බැහැ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ මාර්ග අංග හයක ඵලයයි, උතුම් සම්මා සමාධිය ඉහත දුකෙන් මිදීමේ මාර්ගය ක‍්‍රමානුකූලව ජීවිතයට මතුකොට දෙන්නේ උතුම් ශ‍්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින්මයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය තුළින් කර්මය කර්මඵල විශ්වාසය මතුකොට දීලයි. සම්මා සංකප්ප තුළින් කේන්තිය අඩු කරන්නෙ කේන්තිය අඩු කළාට පසුවයි. සම්මා වාචා තුළින් වචනය සංවර කරන්නේ, බලන්න මොන තරම් උපක‍්‍රමශීලී ධර්මයක්ද? කේන්තිය තිබෙන තාක්කල් වචනය සංවර කරගන්න බැහැ. සම්මා සංකප්ප ගැන දේශනා කරලයි, සම්මා වාචා ගැන දේශනා කරන්නෙ. සම්මා කම්මන්ත දක්වා, පංචශීලය පරිපූර්ණ භාවයට පත්කරලයි, සම්මා ආජීවෝ තුළින් ආජීව අට්ඨමක ශීලයේ පරිපූර්ණභාවයට ඔබව ගෙනෙන්නෙ.

මේ උතුම් අර්ය අෂ්ටාංගික මාර්ගය, අදියරෙන් අදියර ඉන්ද්‍රිය සංවරභාවය තුළින් විවේකී මනසක් කරා ඔබව පුහුණු කරන සුන්දර ධර්මයක්. මේ උතුම් ධර්මය පිංවත් ඔබ, ජීවිතයට එකතු කරන්න නම් අනිවාර්යයෙන්ම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය අවංකව පිළිගන්න කෙනෙක් වෙන්න ඕනෙ. පංචනීවරණ ඇති කොටදෙන හිත වීර්යයෙන්, මාන්නය, ආශ්වාදය, ක්ෂණික කෙටි මාර්ග සොයාගෙන යන අධි වීර්යයන් ජීවිතයෙන් බැහැර කළ කෙනෙක් වෙන්න ඕනේ. මේ උතුම් ආර්ය මාර්ගයේ දී බුදුරජාණන් වහන්සේ ශීලයට ලබාදී ඇති වටිනාකම පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. උතුම් සිල්පද දුර්වල කොටගෙන සෝවාන් ඵල අවබෝධය සොයන ගිහි පැවිදි පිංවතුන් සමාජයේ ගොඩක් සිටිනවා. උතුම් ශීලයේ අර්ථයෙන් තොරව සෝවාන්ඵල අවබෝධය යනු මිරිඟුවක් පමණක්මයි. උතුම් සෝවාන්ඵල අවබෝධය මේ ජීවිතයේදී බලාපොරොත්තු වන පිංවතුන්ලා, මෙය සටහන් තබන භික්ෂුව කියන දෙය අහන්නෙ නැතිව දුක තුළ ජීවත් වෙන, තවත් ගුරුවරයෙක් කියන දෙය අසන්නෙ නැතුව, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසන්න, ඊට අදාළව පුහුණු වෙන්න, මධ්‍යස්ථ වීර්යය, නිස්කලංකව, ධර්මයේ අර්ථයන් ඔබේ ජීවිතයට මෝදුකොට දේවි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවැරදිව වැඩෙන කොට තෘෂ්ණාවයි අඩු වෙන්න ඕනෙ. උතුම් සම්මා සතිය තමා තුළින් ස්වයං පරීක්ෂණ කරනවා. ඇති වෙන දුර්වලතාවන් නිවැරදි කොට දෙන්න. අවිචාරයෙන් විචාරය මතු කොට දෙන්න. තමා තුළින් තමා දකිමිනුයි. තමා මාර්ගය තුළ පෙරට යන්නෙ, උතුම් ශී‍්‍ර සද්ධර්මයේ ස්වක්කාත ගුණය, උතුම් සන්දිට්ඨික ගුණය සම්මා සතියෙන් පෝෂණය වූ සිතේ, ගලේ කෙටූ අකුරක් වගේ නොසැලී තිබෙනවා. ඔහු තුළ වැඩෙන්නෙ ධර්ම මාර්ගය කෙරෙහි විශ්වාසය පමණක්මය. සැකය ඔහු දන් දුන්න කෙනෙක්. නමුත් ඒ විශ්වාසය තවම අචල විශ්වාසයක් බවට පත්වෙලා නැහැ. ඔහු තවම ඊට අදාළ මාර්ගය තුළ පුහුණු වන්නෙක්. ඔහු කලබලකාරයෙක් නොවේ. ශීලයේ ශක්තිමත් භාවය, ඉන්ද්‍රිය සංවරය තුළ ජීවමානව බැසගෙන තිබෙනවා. ඔහුට අවශ්‍ය ලෝකය වෙනස් කිරීමට නොවේ. ලෝකයේ ස්වභාවයෙන් ඔහු වෙනස් වීමටයි. ඔහු ලෝකයට විවෘත නොවූ නමුත් තමා, තමාට විවෘත වූ සාරවත් ජීවිතයක පෙරගමන්කරුවෙක් වෙනවා. සුන්දර සම්මා සතිය පින්වත් ඔබව මෙහෙයවනවා. සම්මා සමාධියේ අසිරිමත් පංචනීවරණ තුනි වූ විවේකී සිතුවිලිවලට.

සම්මා සමාධියේ විවේකය, පිංවත් ඔබට සුන්දර ධර්මයේ අර්ථයන් මතු කොට දෙනවා. දැන් ඔබේ සිත පර්යේෂණාගාරයක්. මෙතෙක් ඔබේ සිත, විතර්ක, නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් බවට පත් වෙලයි තිබුණේ. කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ විචිකිච්ඡා, ගොඩක් නිමි භාණ්ඩ වෙළෙඳපොළට අලෙවි කරපු වෙළෙන්දෙක් ඔබ. දැන්, දැන් ඔබේ වෙළෙඳ භාණ්ඩ, නිෂ්පාදන තත්ත්වයෙන් ගොඩක් දුර්වලයි. පිංවත් ඔබ අලූත් නිෂ්පාදන ක්ෂේත‍්‍රයකට යොමු වෙච්ච පිංවතෙක්. ඔබේ නව නිෂ්පාදන ක්ෂේත‍්‍රය තමයි සප්ත බොජ්ඣංග ධර්මයන්, උතුම් සම්මා සමාධිය තුළ වැඩෙන සප්ත බොජ්ඣංග ධර්මයන්, සම්මා සම්බුද්ධ ශාසනයක, සැබෑම අර්ථය වන, උතුම් විදර්ශනා නුවණ මතු කොට දීමට උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා. මේ උතුම් සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන සම්මා සමාධිය, උතුම් සෝවාන්ඵල අවබෝධය දෙසට යන ගමනේ තවත් අදියරක් වෙනවා. නැවතත් භික්ෂුව, පිංවත් ඔබට මතක් කොට දෙනවා. මාර්ගයේ පටන් ගැනීම තමා තමාට කල්‍යාණ මිත‍්‍රයෙක් වෙනවා. ඒ කියන්නෙ, තමා නිහතමානීකම ඇති කොට ගන්නවා. දෙවැනිව තමා කෘතවේදිත්වය, කළගුණ සැලකීමේ ගුණය ඇති කොට ගන්නවා. මීළඟට ඇති කොට ගන්නා වූ නිහතමානීකම, කෘතවේදී භාවය තුළ හිඳිමින්, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, උතුම් සද්ධර්ම ශ‍්‍රවණය, ශ‍්‍රවණය කළා වූ සද්ධර්මය, ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරනවා. උතුම් ශී‍්‍ර සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින්, පිංවත් ඔබ මීළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන්, තමා තුළින් දකිනවා. මීළඟට දුකින් මිදීමේ එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව හඳුනාගෙන මාර්ගයට ඇතුළු වීමේ නිවැරදි දොරටුව වන සම්මා දිට්ඨියේ දොරටුවෙන් ඇතුළු වී මාර්ගය නිවැරදිව වඩමින් ඉන්ද්‍රිය සංවරයෙන් යුත් පංච නිවරණ ධර්මයන් තුනී වූ සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන සම්මා සමාධිය ජීවිතයට එකතු කොට ගන්නවා.

මේ උතුම් සප්ත බෝජ්ඣංග ධර්මයන්ගෙන් පෝෂණය වුණාවූ සම්මා සමාධිමත් සිතයි, උතුම් සෝවාන් ඵල අවබෝධය උදෙසා අවශ්‍ය විදර්ශනා නුවණ ඇති කොට දීමේ තීරක ශක්තිය වෙන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන ඵලය වන උතුම් සම්මා සමාධිය උපයෝගි කොටගෙන පිංවත් ඔබ දක්ෂ විය යුතුයි භව නිරෝධය දෙසට අදාළ ලෝකෝත්තර මාර්ගය මතු කොට ගැනීමට.

විදර්ශනාව කියන්නෙ විනිවිද දැකීම, අපි යමක පොත්තයි දකින්නෙ. අභ්‍යන්තරය දකින්නෙ නැහැ. පොත්ත දකිද්දි, ආශ්වාදයට පත් වෙන සිත අභ්‍යන්තරයත් ආශ්වාදයේ මිහිරෙන් වසා දමනවා. සිතේ චංචල භාවය, ඉන්ද්‍රිය අසංවරය, සත්‍යය ඔබෙන් වසා දමනවා. නමුත් සම්මා සමාධිමත් සිත ශීලයේ ඉන්ද්‍රිය සංවරයේ ඵලයක්, ඇත්ත ඇති සැටියෙන් දකින්න විවේකී මනසක් තිබෙනවා.

ඔහු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව රූපය ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, දෙතිස් කුණපයත්, සතර මහා ධාතුවත්, අට්ඨික සංඥාවත්, අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයත්, මරණානුස්සතියක් වශයෙන් රූපයේ ඇත්ත රූපයේ යථා ස්වභාවය, කෙළෙස් නොවැඩෙන ආකාරයෙන්, රූපයේ ආශ්වාදයේ කෙටි භාවයත්, රූපයේ අධිගමයේ දීර්ඝ භාවයත් දකිමින් මෝහයෙන් බැහැරව රූපය දෙස බලමින් කායානුපස්සනාව තුළ සිහියෙන් ජීවත් වෙනවා.

උතුම් සෝවාන් ඵල අවබෝධය දෙසට ගමන් කරන පින්වතා වේදනානුපස්සනාවට තම සමාධිමත් සිත යොමු කරනවා. තමා තුළ සකස් වෙන්නා වූ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාවන්ගේ වෙනස් වීම, අනිත්‍ය ස්වභාවය දකිනවා වගේම බාහිර රූපයන් අත්විඳින සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාවන්ගේ අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙනවා. වේදනානුපස්සනාවේදී පිංවත් ඔබ සප්ත බොජ්ඣංග ධර්මයන් තුළින් සප්ත බොජ්ඣංග ධර්මයන් මෝදුකොට ගන්නවා. නමුත් වේදනානුපස්සනාව ඉදිරියේ සප්ත බොජ්ඣංග ධර්මයන්ගේ ආශ්වාදය සැප වේ. තවත් නැවත නැවතත් ඔබ අනිත්‍ය වූ සැප වේදනාවක් හැටියටම දකිනවා. මෙතැනදී අවබෝධ කරනවා කියන වචනය, භික්ෂුව පාවිච්චි කරන්නේ නැහැ. මොකද සෝවාන් ඵල අවබෝධය කරා ගමන් කරන පින්වතා අනිත්‍යය දැකීම තුළයි, ස්ථානගත වෙන්නේ. අනිත්‍යය අවබෝධය කියන අර්ය අදාළ වන්නේ උතුම් රහතන් වහන්සේටයි.

සෝවාන් ඵල අවබෝධය දෙසට ගමන් කරන පිංවතා සම්මා සමාධිමත් සිතෙන් නිරතුරුවම විවේකීව චිත්තානුපස්සනාව මතු කොට දකිනවා. ඔහු කෙළෙස් සංසිඳෙන ආකාරයට විදර්ශනා නුවණ මතු වෙන ආකාරයෙන් සිත දෙස බලා සිටිනවා, ඔහු දකිනවා. සකස් වෙන සෑම හොඳ නරක, කුසල් අකුසල්, දුක සැප සිතුවිල්ලක්ම අනිත්‍ය භාවයට පත් වෙනවාය කියලා. ඔහු බාහිර රූපයන් තුළ සකස් වෙන්නා වූ සිතුවිලිවලද අනිත්‍ය භාවය නිරතුරුවම දකිමින් ජීවත් වෙනවා. ඔහු අකුසල් සිත් අනිත්‍ය වශයෙන් දකිමින් බැහැර කරමින්, කුසල් සිත් අනිත්‍ය වශයෙන් දකිමින්, ඒවා කි‍්‍රයාත්මක කරනවා.

සෝවාන් ඵල අවබෝධය දෙසට ගමන් කරන පිංවතා තම සම්මා සමාධිමත් සිතෙන්, ධම්මානුපස්සනාව මතු කොට දකිනවා. තමා තුළ මෝදු වුණා වූ නිහතමානී භාවය, කෘතවේදීභාවය, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, උතුම් ශී‍්‍ර සද්ධර්මය, නුවණින් මෙනෙහි කිරීම, අර්ය අෂ්ටාංගික මාර්ගය, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මේ සැට ධර්මාතාවන්ට අනිත්‍ය වූ ධර්මතාවන් වශයෙන්ම දකිනවා. තමා තුළ වැඩෙන සප්ත බොජ්ඣංග ධර්මයන් වේවා පංච නීවරණ ධර්මයන් වේවා අනිත්‍ය වූ ධර්මතාවන් බව නුවණින් දකිමින් ජීවත් වෙනවා. තමා තුළ වැඩෙන්නා වූ අනිත්‍ය වූ ධර්මතාවනුත් බාහිර රූපයන් තුළ ඇති වෙන්නා වූ අනිත්‍ය වූ ධර්මතාවනුත් ඔහු ධම්මානුපස්සනාවෙන් දකිනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සෝවාන් ඵල අවබෝධය උදෙසා මතු කොට පෙන්වූ මාර්ගයයි, භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ. භික්ෂුව ඉහතින් සටහන් තැබූ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සැම විටම පිංවත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය කොටගත යුතුයි. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය කොටගත යුතුයි. රැකියාව, ව්‍යාපාරය කරමින් පිංවත් ඔබට සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කොටගත හැකියි. ගිහි පිංවතුන්ලාට උතුම් සෝවාන් ඵල අවබෝධය ලබන්න රස්සාවෙන් ඉවත් වෙන්න, ව්‍යාපාර වසා දමන්න, විවාහ නොවෙන්න අවශ්‍ය නැහැ. පිංවත් ඔබේ බිරිඳගේ රූපය, නිදි ඇඳේ සිටිමින් මොහොතක් අනිත්‍ය වශයෙන් දැක්කොත් ඔබ තුළ වැඩෙන්නේ කායානුපස්සනාවයි, ඊයේ ඔබ බිරිඳ නිසා ලැබූ සැප වේදනාව, අනිත්‍ය බව, දකිද්දි ඔබ ඉන්නේ වේදානුපස්සනාව තුළයි. පිංවත් ඔබ කාර්යාලයේ පුටුවේ වාඩි වෙලා උදේ වරුවේ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම, අනති්‍ය වී ගියා යැයි දකින කොට ඔබ ඉන්නෙ චිත්තානුපස්සනාව තුළයි. බස් රථය තුළ වාඩි වී ගමනක් යන කොට මගේ ආයුෂ දවසින් දවස ගෙවී යනවා කියලා දකින කොට ඔබ ඉන්නෙ ධම්මානුපස්සනාව තුළයි. උතුම් සෝවාන් ඵල අවබෝධය කියන්නෙ විදර්ශනාත්මකව අනිත්‍ය දැක්මෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයන්ගෙන් විදර්ශනාත්මක පෝෂණය වන උතුම් ගිහි මනුෂ්‍ය ජීවිතයක්. උතුම් රට, ජාතිය, ආගමට යුතුකම් ඉටු කරන අම්මා, තාත්තාට, බිරිඳ, දරුවන්ට, ඥාතීන්ට යුතුකම් ඉටු කරන දුක, සැප ඉදිරියේ උපේක්ෂාව මතු කොට ගැනීමට දක්ෂභාවය ඇති කොට ගන්නා වූ ජීවිතයක්.

නිවැරදිව සෝවාන් ඵල අවබෝධය දෙසට ගමන් කරන්න දක්ෂයි. මඟුල් ගෙදරකදීත්, මළ ගෙදරකදීත්, සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කොට ගන්න. මේ ශක්තිය පින්වත් ඔබට ලබා දෙන්නේ උතුම් ශී‍්‍ර සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට ඇති දක්ෂතාවත්, ඒ නිසාම නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු වීමත්ය.

ලෝකය වටේ, රට වටේ, ධර්මය සොය සොයා ඇවිදින්නෙ නැතිව සැබෑ කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය තුළින් තමා තුළින් චතුර්යාය ධර්මයන් මතු කොටගෙන තමා තුළින් තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව පුහුණු වන්න. ඒවා නිවැරදි පුහුණුව තුළින් ඔබ ලබන සම්මා සමාධිමත් සිත තුළින් විවේකීව බුද්ධ වන්දනාවේදී සිල් සමාදන් වීමේදී නිවසේදී නිදි පැදුරේදී, කාර්යාලයේදී, ව්‍යාපාරික ස්ථානයේදී , වැසිකිළි කැසිකිළි කරන අවස්ථාවේදී පවා උතුම් සතර සතිපට්ඨානය තුළයි, ඔබ ජීවත් වෙන්නේ. පිංවත් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඇති ණයකාරිත්වය නුවණින් දකිමින් සෑම නිමේෂයකදීම තමා තුළ කි‍්‍රයාත්මක වන සතර සතිපට්ඨාන ධර්මයන් කෙළෙස් තුනී වන සේ දැකීමමත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අර්ථයන් ප‍්‍රකට වෙන ආකාරයෙන් දකිිමින් ජීවත් වීම, සෝවාන් ඵල අවබෝධය උදෙසා ඇති සුන්දරම භාවනා ධර්මයකි.

(මීට පෙර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත්, සතර සතිපට්ඨාන ධර්මයන් ගැනත්, දීර්ඝව කරුණු දක්වා ඇති නිසා ඉහත ලිපියේ තේරුම්ගත හැකි ආකාරයට කෙටියෙන් කරුණු සඳහන් කළ බව කාරුණිකව දැනුම් දෙමි.)

පූජනීය රාජගිරියේ අරියඤාණ හිමි