නෑ, අනිවාර්යයෙන් ම තියෙනවා. දිව්‍යතලවල මිථ්‍යාදෘෂ්ටික, සම්‍යක්දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ඨාශ 2ක් ඉන්නවා. දැන් මිථ්‍යාදෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙවෙයි. මිථ්‍යාදෘෂ්ටික කිව්වහම සමහරු ඒක වැරදි හැටියට තේරුම් ගන්නවා, අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා.
සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද?
1. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව
2. කර්මය, කර්මඵල කෙරෙහි විශ්වාසය
3. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවාය කියන විශ්වාසය
4. සිල් රැක්කොත්, දන් දුන්නොත් ආනිශංස තියෙනවාය කියන විශ්වාසය,
5. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවාය කියන විශ්වාසය
6. මේ ශාසනයේ සන්දිට්ඨික ගුණය තියෙන තාක්කල් ආර්යයන් වහන්සේලා ඉන්නවාය කියන විශ්වාසය
7. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය
යමෙකුට ඔය විශ්වාසයන් තියෙනවා නම් එයාට කියනවා, එයා සම්මාදිට්ඨිය තුළ පිහිටිච්ච කෙනෙක් කියලා.
එතකොට, යමෙක් තුළ මේ විශ්වාසය නැත්නම් එයා මිථ්‍යාදෘෂ්ටිය තුළ පිහිටපු කෙනෙක්. එහෙනම් මිථ්‍යාදෘෂ්ටිය කියන්නේ, කෙනෙකුට වරදක් කියනවා, චෝදනා කරනවා නෙවෙයි. සම්මා දිට්ඨියේ විරුද්ධ පැත්ත. මිථ්‍යාදෘෂ්ටික කෙනාට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. එයාට කර්මය, කර්මඵල විශ්වාසයක් නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවාය කියලා විශ්වාසයක් නැහැ. සිල් රැක්කොත්, දන් දුන්නොත් ඒවායේ ආනිශංස තියෙනවාය කියලා විශ්වාසයක් නැහැ. එතකොට, එතන තමයි මිථ්‍යාදෘෂ්ටිය කියන්නේ. තේරුණාද? මෙතන සම්මාදෘෂ්ටිය. මෙතන මිථ්‍යාදෘෂ්ටිය.
එතකොට සම්මාදෘෂ්ටියට පත්වෙච්ච මනුස්සයොත් මේ මනුස්ස ලෝකය තුළ ඉන්නවා. මිථ්‍යාදෘෂ්ටියට පත්වෙච්ච මනුස්සයොත් මේ මනුස්ස ලෝකයේ ඉන්නවා. ඒ වගේමයි, දිව්‍ය තලවල. සම්මාදිට්ඨියට පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා; මිථ්‍යාදෘෂ්ටියට පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. දැන් ලෝකයේ ඉන්න ලොකු ම සල්ලිකාරයො ඉන්නේ කොහෙද කියලා ඇහුවොත්, ලංකාවෙද ඉන්නේ? නැහැ. විදේශවල. එක්කො ක්‍රිස්තියානි ආගමේ. එක්කො මුස්ලිම් ආගමේ. එක්කො හින්දු ආගමේ. තේරුණාද?
එතකොට, කෙනෙක් අහන්න පුළුවන් වැඩියෙන් ම දන් දෙන්නේ ලංකාවෙ අය. කර්මය, කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ ලංකාවෙ අය. ඇයි ලංකාවේ මේ කෝටිපතියෝ නැත්තේ කියලා, අර වගේ ධනවත් අය නැත්තේ කියලා. දානය කියන කාරණය, බුදුදහමට විතරක් අයිති දෙයක් නෙවෙයි. දානයේ ආනිශංස මොකක්ද? ආයුෂය, වර්ණය, සැපය, බලය. තේරුණා ද?
දැන් අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්වයෝ හැටියට, සිදුහත් කුමාරයා වෙලා අර සා කෝටිපති පවුලක ඉපදෙන්නෙ. ධර්මයක් ලෝකයේ තිබ්බේ නැහැ. බුදුදහමක් ලෝකයේ තිබ්බේ නැහැනේ. එහෙනම් මේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන කාරණය දානයට අයිති ආනිශංස. ක්‍රිස්තියානි මහත්තයෙක් දන් දුන්නොත්, මුස්ලිම් මහත්තයෙක් දන් දුන්නොත්, හින්දු මහත්තයෙක් දන් දුන්නොත් ඒ දානයේ ප්‍රමාණය අනුව මැරෙන වෙලාවේ එයා දානය සිහිපත් වුණොත්, සශ්‍රීක දෙවියෙක්, සශ්‍රීක මනුස්සයෙක් වෙලා උත්පත්තිය ලබනවා.
දැන් ලංකාවෙත් තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන කියලා. මේවට කෝටි ප්‍රකෝටි ගණන් ධනය එවන්නේ කවුද? පිට රටවල ඉන්න කෝටිපති මනුස්සයෝ. ඒගොල්ලෝ ඒක සමාජ සේවය උදෙසා, මනුස්සයාගේ යහපත උදෙසා තමයි වෙන් කරන්නේ. එතකොට, මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් සුගතියේ සශ්‍රීක උපතක් හිමිකර ගන්නවා.
දැන් එක මහත්තයෙක් මට මතකයි, සිංගප්පූරුවේ මහත්තයෙක් ඇවිල්ලා පන්සිය නමකට එකපාර දානයක් පූජා කළා. ඒකට මම හිතන්නේ ලක්ෂ 25ක් වත් යන්න ඇති. එක මොහොතක කරපු දෙයක්. එක දවසක කරපු දෙයක්. ලක්ෂ 25ක් වත් යන්න ඇති. එතකොට, මෙවැනි දාන සිහිපත් වුණොත්, එයාට බෞද්ධයෙක් කියලා වැඩක් නැහැ. බෞද්ධයෙක් වෙන්න ඕනෙ නෑ. එයා මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ වේවා එයා සශ්‍රීක දෙවියෙක් වෙලා, මනුස්සයෙක් වෙලා ඉපදෙනවා. හැබැයි මිථ්‍යාදෘෂ්ටික පවුලක. ඒ නිසා පින් කරන එකෙන් ඕනෑ ම කෙනෙකුට ඒ වාසිය ලැබෙනවා. බෞද්ධයාට කියලා නෙවෙයි. පින් කළොත්, කවුරු හරි දන් දුන්නොත්, ඒවා කළොත් අනිවාර්යයෙන් ම මැරෙන වෙලාවේ ඒක උපාදානය වුණොත් එයා කෝටිපති පවුලක, නැත්නම් සශ්‍රීක දෙවියෙක් වෙනවා. හැබැයි, ඒගොල්ලන් මිථ්‍යාදෘෂ්ඨික භාවයට පත්වෙලයි ඉපදෙන්නේ.
දැන් දිව්‍යතලවල මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු අපේ දෙවිවරු තරම් ප්‍රභාශ්වර නැහැ. දැන් අපේ දෙවිවරු ප්‍රභාශ්වරයි. ඒගොල්ලෝ ඔටුනු පැළඳගෙන, මැණික් ගල් ඔබ්බවපු ඔටුනු පැළඳගෙන මහා ආලෝකවත් දෙවිවරු. නමුත් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ එවැනි ආලෝකමත් භාවයක් නැහැ. ඒගොල්ලෝ හරියට… අපේ දෙවිවරු අර ගලිවර්ලා වගේ නම් ඒගොල්ලෝ ලිලිපුට්ලා වගේ පොඩියි. ඇයි ඒ? ඒගොල්ලෝ කර්මය, කර්මඵල විශ්වාසයෙන් දන් දීලා නැහැ. ඒගොල්ලෝ දන් දෙනවා. නමුත් කර්මය, කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ.
අතුරු ප්‍රශ්නය :
ඒ අයට නිවන සමීප නැද්ද ස්වාමීන් වහන්ස?
ඒගොල්ලන්ට කොහොමත් නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනයි, චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති කිසි ම කෙනෙකුට ඒ මාර්ගය තුළට යන්න බැහැ.
දැන් කොච්චර හිමාලයේ ඉන්නවාද මුළු ජීවිත කාලය ම භාවනා කරන අය. ඒගොල්ලෝ ආහාරයක් ගන්නේ නැහැ. සමාධිය ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. සමහරු මාසයක් ආහාර ගන්නේ නැතුව, සුමානයක් ආහාර ගන්නේ නැතුව ඉන්න අය ඉන්නවා. නමුත් කවදාක්වත් ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. මොකද, ඒගොල්ලෝ තුළ සම්මාදිට්ඨිය නැහැ.
සම්මාදිට්ඨිය නැත්නම් කවදාකවත් එයාට ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන ඵලයන්ට එන්න බැහැ. මේ මාර්ගයට වැටෙන්නේ සම්මාදිට්ඨියට පත්වුණු කෙනා විතරක්මයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.