දානය මහත්ඵල මහානිසංස වීමට…

ඔබව දන් දීමෙන් වළක්වන්න කවුරුන් හෝ සිටීනම් ඔහු මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන් වේවා, හිතවතෙක් වේවා ඔහු ඔබගේ ඥාතියෙක් නොවන බව තරයේ සිහිතබා ගන්න. එවැනි අය මග හරින්න. එවැනි අයගෙන් දුරස් වන්න. යමෙක් ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන, දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ලඟම ඥාතියා කර ගන්න. සිදු කරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්ඨීයට අනුව සිදුකර ගන්න. ඔබ නිරතුරුවට තැන්පත් කලදෙය නොව පරිත්‍යග කළ දෙය ගැන මෙනෙහි කරන්න.

විශාඛා උපාසිකාව වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලා සිටිනවා. එම වර අට තමයි මම දිවි ඇති තුරා සංඝයා හට වැසි සළු දෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඝනට දියසළු දෙන්නට කැමත්තෙමි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්. පින්වත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ ආදර්ශයට ගත යුත්තේ විශාඛා උපාසිකාව ගැන අනේපිඩු සිටුතුමා ගැන නකුල මාතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්ද කියලා. විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක් සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක් ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නොවෙයි මසකට වතාවක්, අවුරුද්දට වතාවක් ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්ද? වැසිසළුවක් පූජාකරන කෙනෙක්ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්ථානයන් සිදු කරන කෙනෙක්ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරල අහන්න පිළිතුර ‘ඔව්’ නම්, ඒත් සෑහීමකට පත් වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ‘මම’ ප්‍රමාදී බවම දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකු පොතේ ඔබ රැස් කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත් රැස් නොකොට දන් දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක් උදෙසාම බවත් දකින්න.

සශ්‍රීක දේවතානුස්සතිය වඩන්න. ඉහත පින්කම් නිතිපතා, සතිපතා, මාස්පතා ඔබගේ ආදායමට ගැලපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්ථාවක්ම අපතේ නොහරින්න. අනුන්ගේ සීලය, සමාධිය ගැන නොසොයන්න සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස වශයෙන්ම දකින්න. මේවා පින් උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස් පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක් පිපාසය සංසිඳුවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක් සිතන්න. ඔබගේ දුක් පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ඨින්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න.

මසකට එක වතාවක් එළඹෙන පසළොස්වක පෝය දිනය ඔබ ඔබගේත් ඔබගේ පවුලේත් පින්කම් දිනය බවට පත්කර ගන්න. පන්සල වේවා ඔබගේ නිවස වේවා එදින සතර අපායෙන් එතෙරවීම ම අරමුණු කොට දාන, සීල, භාවනා කටයුතු සිදුකර ගන්න. දරුවන් බිරිද දැසිදස්සන්වත් හවුල්කර ගන්න. ඒ අය අකමැතිනම් ඔබ තනිවම මේ ව්‍යයායාමයේ නිරත වන්න. සතර අපාය යනු කුමක්ද, එහි සත්ත්වයා විඳින දුක කුමක්ද, එහි ආයුෂ මොනතරම් දීර්ඝද, සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොන තරම් අපහසුද. මේවා සකච්ඡා කරන්න ඔබ ලැජ්ජා වෙන්න එපා. මාන්නයට පත්වෙන්න එපා, අනේ අපි ආයෙත් තිරිසනෙක්, ප්‍රේතයෙක්, නිරිසතෙක් වෙන්නේ නැහැ කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇද දමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැති නම් සක්කාය දිට්ඨිය ඉහවහා ගිය සතියෙන් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහි බුද්ධියෙන් හඳුනාගනිමින් මඟ හරින්න. හේතුඵල ධර්මයන් ගලපමින් ඔබ ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න.

අවබෝධය යනු අනුන් දෙන දෙයක් නොව තමා තමා තුළින්ම දැනුවත් භාවයෙන් ලබන්නක් බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්වක පොහොය දවසේ ඔබ පවුලේ සියළු දෙනාම එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියළු දෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ඡා කළොත් ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස් විසිනවයේම එම ශක්තිය තුළ මාර්ගය තුළ ජීවත් වෙන්න. මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සදහා ඔබට ත්‍යගානුස්සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලු කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‍ෂය කිරීම උදෙසාම දන් දෙන්න. දන් දීමට කාලසටහන් ඇති නොකර ගන්න. පාරේ ගමනක් යනවිට පිණ්ඩපාතේ වඩින භික්‍ෂුවක් දැක්කොත් ශ්‍රද්ධාවෙන් යමක් පුජා කරන්න. දුර ගමනක් ඔබ යන විට බසයේ දී මඟ තොටේ දී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්කට් එකක්, ගිලන්පස එකක් ගැන විමසීමට සිතක් ඇතිකර ගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්ථාවකින් උපරිම ත්‍යගානුස්සතිය වැඩීමේ අවස්ථාව ලබාගැනීමට දක්‍ෂ වෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව අනුනගේ කුස පිරවීම සඳහා නොව තමාගේම සැපය සඳහා යන්න සිතන්න.

ඔබ ප්‍රාර්ථනා කරන්න වීර්යයෙන් අවස්ථාව උදාකර ගන්න. කළ පින්කම්, දුන් දානයන් නැවත නැවත දෙන්න නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සදහා තව තව ස්වාමීන් වහන්සේලා මුණ ගැසේවා, උපාසක උපාසිකාවන් මුණ ගැසේවා, තව තව පන්සල් ආරණ්‍ය විහාරංග ඉදිවේවා, තව තව පින්කම් සිදුවේවා, කුමක් සදාහාද ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යගානුස්සතිය වඩන්න. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවතානුස්සතිය හැර වෙන කුමක්ද? දන් දීම තුළින් ඔබ ඇතිකර ගන්නා අතහැරීමේ ශක්තිය සක්කායදිට්ඨිය ක්‍ෂය කිරීමේ මාර්ගය මිස වෙන කුමක්ද? බිරිඳ ගෙන්, සැමියා ගෙන්, දූපුතුන් ගෙන්, වස්තුව දේපළවලින් ඔබ ලබන බැඳීම සක්කායදිට්ඨිය තව තව ඝනභාවයට පත්කිරීම සඳාහාම බව ඔබම දකින්න.