දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක් ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක් වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්‌තියක්‌ය කියලා දුක් වුණා. විවේචනය කළා. මෙය දැනගත්ත බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අනුවනයා දන්දීම ගරහනවා, දන්දීමට අකමැතියි, අනුන් දුන් දානයන් නිසා අකුසල් රැස්‌කර ගන්නවා, නමුත් නුවනැත්තා අනුන් පූජා කළ දානයෙන් පිං අනුමෝදන් වෙනවා කියලා.
වේලාම කියන තරුණයා වෙලා බෝධිසත්වයෝ කෝටිපති පවුලක උපත ලබනවා. වේලාම තරුණයා කල්පනා කරනවා, ‘මේ කෝටි ගණන් දේපල, ඉඩකඩම්, සියල්ලම හම්බ කළේ මේ ආච්චි, සීයා. ඒ දෙදෙනා මහා දුක් විඳලා මේ දේපල හම්බ කරලා හිස් අතින් මැරිලා ගියා. ඊළඟට මේ දේපල තව ශක්‌තිමත් කළේ මගේ අම්මා, තාත්තා. ඒ දෙදෙනාත් දුක් විඳලා මේවා හම්බ කරලා හිස් අතින් මැරිලා ගියා. මෙම දේපල රැස්‌කරපු අය හිස් අතින් මියගියත්, මම මේ දේපල සියල්ල අරගෙන යනවා කියලා. එසේ සිතලා සියලුම වස්‌තුව දන් දුන්නා. සියලු වස්‌තුව දන් දුන්නට පස්‌සේ වේලාම තරුණයා සාදුකාර දුන්නා. ‘මම මේ සියල්ල අරගෙන ගියා’ කියලා. බෝධිසත්වයන් ඒ පිරුවාවූ දාන පාරමිතාවේ ශක්‌තියයි, වර්තමානයෙත් ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය ලබන්නේ. අපි අද දාන වස්‌තුවක් සකස්‌කර ගතහොත් එහි අග්‍ර කොටස පූජා කරන්නේ බුදුරජාණන්වහන්සේටයි. ඒ අග්‍රවූ ලැබීම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය වර්තමානයේ ලබන්නේ අතීත දාන පාරමිතාවේ ශක්‌තිය නිසාමයි. අනුනට, දානමය චේතනාවෙන් දුන් දෙයමයි අපි අරගෙන යන්නේ. රැස්‌කරපු දෙය අපේම දුකට හේතුවෙනවා. කුසට අහරක් නැතිව, ඉනට වස්‌ත්‍රයක් නැතිව දුක් විඳින මනුෂ්‍යයෙක් දකිනකොට, කුසට අහරක් නැතිව දුක් විඳින තිරිසන් සතෙක් දකිනකොට, එම මනුෂ්‍යයා තුළින්, තිරිසන් සතා තුළින්, අතීත සංසාරයේ දන් නොදුන් ලෝභී මනුෂ්‍යයෙක්‌වම දකින්න. දානයෙන් තොර ජීවිතය විසින් සකස්කර දෙන සංසාර බිය දකින්න.